අනන්ත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යනු අටදිගින් මහපොළොව උසුළා ගෙන සිටිතැයි කියන නාගයන් අට දෙනාගෙන් එකෙකි. (අෂ්ටනාග බ.) අන්තයක්, සීමාවක් හෝ විනාශයක් නැත්තේ නුයි අනන්ත නම් වේ. ලෝක විනාශයෙන් පසු ද නොනැසී ශේෂවන බැවින් ශේෂ යන නම ද මොහුට ව්‍යවහාර වේ. අනන්ත (නත්) දේව ගණයෙහි ලා දක්වන සිංහල කවීහු හේ මුව දහසෙකින් හා සුදුපැහැයෙන් හා යුක්ත යයි කියති. එහෙත් ශාරදාතිලක ආදි ඇතැම් සංස්කෘත ග්‍රන්ථයෙකින් කියැවෙන්නේ අනන්ත ගිනි පැහැ ශරීරයක් ඇත්තකු බවය. අනන්තයාට මුව දහසක් බැවින් පෙණ දහසෙක් වෙයි. පෘථිවිය දරා සිටින්නේ ඒ පෙණ මඬලිනි. අනන්තනාගයා දීර්ඝායුෂ්කයෙකැයි කී පුරාතනයෝ මේ ලෝකයේ උත්පත්තියට පෙර පටන් යළිත් සිදුවන ලෝකෝත්පත්තියෙන් පසු වන තුරුත් අනන්තයා ජීවත්ව සිටිතැයි කීහු. කෘෂ්ණගේ සොහොයුරු වූ බලරාම ශේෂ නාගරාජයාගේ අවතාරයක් වශයෙන් සලකනු ලැබේ. අනන්ත නාගයා විෂ්ණුගේ අවතාරයකැයි අහිර්බුධ්න්‍ය සංහිතාවෙහි සඳහන් වේ. අනන්ත යන නාමය විෂ්ණුට හා ශිවට ද ව්‍යවහාර වේ.

අනන්ත සියලු දිව්‍යනාගයන්ගේ රාජාධිරාජයා වන්නේය යි ද සඳහන් වේ. උහුගේ උත්පත්තිය කාශ්‍යප සෘෂීන් නිසා කද්‍රැ නම් සෘෂිපත්නිය කුසින් සිදුවූ බව ද පෘථිවියෙන් යට පිහිටි සත් තලයන්ගෙන් අන්තිම තලය වූ පාතාලය නම් නාලොව භෝගවතී නගරය රාජධානිය කොට ගෙන උහු රාජ්‍යානුශාසනය කරන බව ද පැවැසේ. මිනිස් ලොව මෙන් ගම් නියම්ගම් රජ යුවරජ ඇමැති ආදීන් සිටින මේ නාගලෝකයෙහි වෙසෙන දිව්‍ය නාගයෝ හුදෙක් සර්පයෝ ම නොවෙත්. පැවැත්මෙන් ද මුහුණින් ද මිනිසුනට සමාන වන ඔව්හු පසුකයින් පමණක් සර්පාකාරය. අභිමත විටෙක අභිමත ශරීරයක් ගැනීමේ අපූර්ව බලයක් ද ඔවුනට ඇත්තේය. අනන්ත නා රජ නීලලෝහිතවර්ණ වස්ත්‍ර ඇඳ ශුභ්‍රවර්ණ මණි මාලාවක් ගෙල පැලඳ එක් අතකින් නගුලක් ද අනික් අතින් මුසලක් ද ගෙන සිටින්නේල. ඔහු තම පෙණ මඬල තමාගේ දරණ වැළ පිට (මේ ලෝකය නැසී අනෙක් ලෝකයක සම්භවය වනතෙක්) සැතැපී සිටිනා විෂ්ණුහට වියනක් කර විහිදාගෙන සිටින වගක් ද පළවෙයි. කල්පාන්තයෙහි මේ ලොව දැවී හළුවී යන්නේ අනන්ත නාරජු එකල නිකුත් කරන විෂ ධූමයෙන් හටගන්නා ගින්නෙනැයි ද පෘථිවිය කම්පාවන්නේ ඔහු ඈනුම් ඇරීමේ දී වන චලනයෙනැයි ද සඳහන්වෙයි. පාර්වතී දේවියගේ කුණ්ඩලාභරණ දෙකින් එකක් අනන්තයා යයි තන්ත්‍රශාස්ත්‍රයෙහි දැක්වේ.

ඉන්දියාවේ පැරණි දෙවොල් කීපයකින් අනන්ත නාගයාගේ ප්‍රතිමා ද අල්පෝන්නතව සිටින සේ කළ කැටයම් ද සොයා ගෙන තිබේ. භිතාර්ගෝන්හි පිහිටි ක්‍රිස්තු පස්වන ශතවර්ෂයට අයත් දෙවොලෙහි ද දියෝගර්හි පිහිටි සවන සියවසට අයත්, ගලින් නිම කළ දෙවොලෙහි ද අනන්තනාගයාගේ හෝගාවලිය මත ශයනය කරන ආකාරය දැක්වෙන විෂ්ණු ප්‍රතිමා නාගපෙණයෙන් ආවරණය කර තිබෙන හැටියට පිළිබිඹු කර තිබේ. ඊට නුදුරුව ලක්ෂ්මියගේ හා යකුන් කීප දෙනකුන්ගේ රූ සටහන් ඇත. දකුණු ඉන්දියාවේ වෛෂ්ණව දෙවොල් බොහොමයක ම මෙබඳු ප්‍රතිමා කැටයම් දක්නට ලැබේ.

අනන්තයාගේ ප්‍රතිමාව නිර්මාණය කරන අයුරු දක්වන විෂ්ණුධර්මෝත්තර පුරාණයෙහි, පෙණ බොහෝ ගණනකින් හා අත් සතරකින් යුත් ඔහුගේ දකුණු අත්වලින් නෙළුම් මලක් හා මුගුරක් ද වම් අත් දෙකින් සීවැලක් හා සක්ගෙඩියක් ද ගන්වා සියල්ලට ම මැද පිහිටි පෙණය යට මහීදෙවඟනගේ ප්‍රතිමාව තැබිය යුතු බව පැවසේ. මෙකී විස්තරයට බෙහෙවින් සමාන නාගරූපයක් භර්හූට් ථූපාංගණය හාත්පස තිබුණ ගල්වැටේ ඉදිරියට නෙරා තිබෙන සේ කළ කැටයම් අතර විය. ශරීරය මනුෂ්‍යාකාරයෙන් නිරූපණය කර ඇති මේ ප්‍රතිමාවේ විශේෂ අංගයක් හැටියට සැලකිය හැක්කේ පෙණපසකින් යුක්තවීම පමණකි. මැද පෙණය යට මහීදෙවඟනගේ ප්‍රතිමාවක් ද විය. ගන්ධාර, මථුරා, අමරාවතී ආදි ප්‍රදේශ වලින් ද නාගප්‍රතිමා බොහෝ ගණනක් පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ.

පෙණ දහසකින් ද, පිඟුවන් රැවුලකින් හා ඇස්වලින් ද යුත් අනන්තයා ස්වකීය අත් සතරෙන් සක්ගෙඩියක් ද, චක්‍රයක් ද, ගදායුධයක් හා පද්මයක් ද දරන බවත් කිරීටයක් පැලඳ පීත වර්ණ වස්ත්‍රයෙන් සැරසී සිටින බවත් භවිෂ්‍යත් පුරාණයේ සඳහන් වේ. වෙනත් පුරාණයන්හි ඔහුගේ ලක්ෂණ මීට මඳක් වෙනස්ව දැක්වේ.

නාග ශබ්දය ඇතුන්ට ද ව්‍යවහාර වේ. පෘථිවි හාරය උසුලන ඓරාවණාදි ඇතුන් අට දෙනකු ගැන ද සංස්කෘත සාහිත්‍යයෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනන්ත&oldid=1790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි