අනලතිව් (අග්නිදිවයින)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යාපනේ අර්ධද්වීපයට බටහිරින් කයිට්ස් තොටේ සිට සැතපුම් හයක් පමණ නිරිත දිගින් නැගෙනහිර දේශාන්තර 790 46´ සහ උත්තර අක්ෂභාග 90 40´ ආශ්‍රිතව පිහිටි දූපතෙකි. එහි දිග සැතපුම් 3½ ක් පමණ වේ. පළල සැතපුම් 1½ කි. තුන්දහසක් පමණ ද්‍රවිඩ හින්දු ජනයා මෙහි වෙසෙති. ප්‍රධාන වගාව දුම්කොළය. සුළු වශයෙන් වී ගොවිතැන ද කරනු ලැබේ. තල් ගස් බොහෝය. හිරිගල් තට්ටුවෙහි හෑරී පවතින දිය වළවල් ද තැනින් තැන වෙයි.

පෙර සිංහලයන්ට වාසභූමි වූ මේ කුඩා දූපත බෞද්ධ පූජනීය ස්ථානයකින් ද යුක්තව බෞද්ධ වන්දනාකරුවන්ගේ සැලකිල්ලට භාජනව පැවැත්තේය. එකල මෙම දූපත අග්නිදිවයින නම් විය. විහාර අස්න නම් වූ පුරාණ සිද්ධස්ථාන නාමාවලියට ද මෙය ඇතුළු විය. ලක්දිව බුද්ධාගම පැතිර ගොස් වැඩි කලක් යන්නට මත්තෙන් මෙහි බෝධියක් හා විහාරස්ථානයක් ද පිහිටුවන ලදැයි සලකනු ලැබේ. එක් කලෙක එහි භික්ෂුණීන් සත් නමක් වාසය කළ බව ද කියති. ඒ විහාර ස්ථානය පිහිටි තැන පසු කලෙක ගොඩ නඟන ලද හින්දු කෝවිලක් ඒනාච්චිනාර් කෝවිල නමින් දැනුදු දක්නා ලැබේ. යටකී භික්ෂුණීන් එහි වාසය කළ බැවින් ඊට ඒ නම වියැයි කියති. බෞද්ධ ලකුණු වශයෙන් මෙකල එහි ඇත්තේ පැරණි බෝධිය පමණෙකි. මෙය ද ද්‍රවිඩ හා පෘතුගීසි උපද්‍රව හේතුකොටගෙන විනාශ වී ගිය විහාරස්ථානයෙකි.

පෘතුගීසි සමයෙහි දී මෙම දිවයිනෙහි විසූ දෝන ක්ලේරා නමැති කාන්තාවක් විශේෂ ගෞරවයට පාත්‍රව සිටි හෙයින් එම දිවයින ද ඇගේ නමින් හඳුන්වනු ලැබිණ. තරබාරු ශරීරයකින් යුත් මෙම කාන්තාව ප්‍රයෝජනයට ගත් පුටුවක් ඒ කාලයේ අනලතිව්හි එක ම කෞතුක වස්තුව වශයෙන් ආරක්ෂා කරනු ලැබූ බව රිබේරෝ කියයි. මේ දිවයින ලන්දේසීනට අයත්වීමෙන් පසු ඊට රොටර්ඩෑම් යන නාමය ව්‍යවහාර කරන ලදි. ඕලන්ද සමයේ දී අනලතිව්හි ක්‍රිස්තු ලබ්ධිකයන් 800 ක් පමණ ද පාසල් සිසුන් 200 ක් පමණ ද විසූ බව බාල්දියස් සඳහන් කර ඇත.

මෙහි ගිනිකොනින් පුලියන්තිව් සහ ඊශානෙන් පරිතිතිව් යන කුඩා දූපත් පිහිටා තිබේ.

(සංස්කරණය:1963)