අනවතප්ත විල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හිමාලය පර්වතයෙහි පිහිටා ඇතැයි සඳහන් වන සප්තමහාතටාකයන් අතුරෙන් ප්‍රධාන විල අනවතප්ත (පා. අනොතත්ත) නම් වෙයි. සුමඞ්ගලවිලාසිනී ආදි අට්ඨකථාවල ද බුත්සරණ ආදි සිංහල පොත්වල ද සඳහන් වන විස්තරවලට අනුව සූර්‍ය්‍ය රශ්මියෙන් නොතැවෙන ජලය ඇති හෙයින් මේ විල අනවතප්ත නම් විය. එය යොදුන් 150 ක් දිගය. පනස් යොදුනක් පළල හා ගැඹුර ද ඇත්තේය. සුදර්ශන, චිත්‍ර, කාල ගන්ධමාදන, කෛලාස යන පර්‍වතකූට පසින් වට කරන ලද්දේ වේ. මොවුනතුරෙන් සුදර්‍ශන කූටය කවුඩු තුඩු සටහනින් අහසට නැගී විල වසා සිටිනේය. අනිකුත් පර්‍වත ශිඛරයන්ගෙන් ද විල ආවරණය වේ. එහි මස් කැසුබු ආදිහු නැත. දෑරඟ මිණි සෙයින් පිරිසිදු ජලය වෙයි. පිරිසිදු තොටුපළ ද වෙයි. විල සතරදිග සිංහමුඛ, හස්තිමුඛ, අශ්වමුඛ, වෘෂභ මුඛ යයි දියබස්නා සතර මුඛයක් වෙයි. ඒ සතර මුඛයෙන් ගඞ්ගා සතරක් ගලයි. උතුරු නැගෙනහිර, බටහිර යන තුන් දිගින් බට ජල ප්‍රවාහයෝ විල සිසාරා ගොස් තුන් ගඟක්වැ මුහුදට ගලා බසිති. දකුණු දිගින් නික්මුණ ජල ප්‍රවාහය පිළිවෙළින් ආකාශගංගා, උම්මග්ගගඞ්ගා ආදි අවස්ථාවන් ඉක්මවමින් ගලා ගොස් ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන පඤ්ච මහා ගඞ්ගා බවට පැමිණ මුහුදට ගලා බස්නේය. හිමාලයෙහි පිහිටි කර්ණමුණ්ඩ, රථකාර, ඡද්දන්ත, කුණාල, මන්දාකිනී, සිංහප්‍රපාත යන විල් සය ද ප්‍රමාණයෙන් අනවතප්තයට සමානය.

ලෝක විනාශයේ දී අන්තිමට වියැළී යතැයි යෙන විල් අතුරෙන් අනවතප්ත විල ද එකකි. ස්නාන ශුද්ධික බ්‍රාහ්මණයෝ මේ විලේ දිය නෑමෙන් සියලු පව් නැසේ යයි කියති. බෝසතුන් මව්කුස පිළිසිඳ ගන්නා දවසේ සතර වරම් දෙවිවරුන්ගේ අඹුවන් සතර දෙන සපිරිවරින් අවුත් මහාමායා බිසොවුන් ඔසවාගෙන පනස්යොදුන් අනවතප්ත විලෙහි දෙව්දූන් දිය කෙළිනා පැන්තොට දී මිනිස්ගඳ හැර දේවීන් නහවනු සීනයෙන් දුටු බවක් පූජාවලියේ ද, අශෝක රජතුමාට අනවතප්ත විලින් සොළොස් කළයක් පැන් දවස දවස දෙවියන් ගෙනැවිත් දුන් බව මහාවංසාදියෙහි ද සඳහන් වේ. අනවතප්ත විලින් පැන් ගැනීම වළක්වනු පිණිස විලට අරක්ගත් පණ්ණක නම් දිව්‍ය නාග රාජයකු ගැන ධම්මපදට්ඨකථාවෙහි හා ථෙරගාථාඅට්ඨකථාවෙහි ද කියැවේ. බුදුරදුන්ගේ සිරිපතුලෙහි වූ අටතුරාසියක් මඟුල් ලකුණින් අනවතප්ත විලේ ලාඤ්ඡනය ද එකකි.

දෙවියන්ගේ හා යකුන්ගේ සමාගම් අනවතප්ත විල් ඉවුරෙහි නිතර පැවැත්වූ බව විමානවත්ථු අට්ඨකථාවෙහි පැවසේ. සමහර අවස්ථාවල දී බුදුන්වහන්සේ ද සඟුන් කැටුව අනවතප්ත විල් තෙරට දහම් දෙසීම පිණිස වැඩම කළ බව ද භික්ෂූන්වහන්සේලා සමාධි සුවය විඳිමින් අනවතප්ත විල් තෙර කාලය ගෙවූ බව ද ග්‍රන්ථාරූඪ වී තිබේ. ටිබැට් රාජ්‍යයේ බටහිර දිග කෛලාස, ගුර්ලා මන්දත්ත ආදි පර්‍වතවලින් වට වූ භූමියෙහි පිහිටි ලඞ්ගක්-ට්සෝ (රබස්-තාල්) හෝ මාන සරෝවර් යන විල්වලින් එකක් අනවතප්තය විය හැකි යයි චීන ග්‍රන්ථයක අනුමාන වශයෙන් කර තිබෙන ප්‍රකාශයක් ආචාර්‍ය්‍ය ස්වෙන් හෙඩින්ගේ "ට්‍රාන්ස් හිමාලයා" නමැති ග්‍රන්ථයෙහි ඇතුළත් කර තිබේ. තව ද එම ග්‍රන්ථයෙහි පහත දැක්වෙන තොරතුරු ද ඇතුළත්ය. ලඞ්ගක්-ට්සෝ විලේ දිග ලී 170 ක් ද පළල ලී 100 ක් ද මානසරෝවර් විලේ දිග ලී 150 ක් ද පළල ලී 80 ක් හෝ 100 ක් ද වේ. මේ විල්වලින් සට්ලෙජ් (ශතද්‍රැ), බ්‍රහ්මපුත්‍ර, සින්ධු, කර්නල් යන ගංගා සතර පටන්ගනී. අනවතප්ත විලේ සිවුදිග සිංහමුඛ, හස්තිමුඛ, අශ්වමුඛ, වෘෂභමුඛ යයි සතර මුඛයක් ඇති බව ද ඒවායින් ගඞ්ගා සතරක් ගලන බව ද ඉහත සඳහන් කොට ඇත. මේ විල්වලින් පටන් ගන්නා ගඞ්ගා සතරෙන් තුනක් ම යථෝක්ත නම්වලින් මේ දක්වා හැඳින්වේ. සිංහ ගඟ නිකුත්වන මුඛය යන අර්ථයෙන් සින්ධු ගඟට සින්ගි කබබ් යන නම ද, හස්ති ගඟ නිකුත්වන මුඛය යනාර්ථයෙන් සට්ලෙජ් නදියට ලඞ්ග්චෙන් කබබ් යන නම ද, අශ්වනදිය නිකුත්වන මුඛය යනාර්ථයෙන් බ්‍රහ්මපුත්‍ර ගඟට තම්චොක් කබබ් යන නම ද ටිබැට් ජාතිකයන් අතර මේ දක්වා ව්‍යවහාරයෙහි පවතී. මප්චු කම්බ හෙවත් මයූර නදිය නමින් හැඳින්වෙන සිවුවන ගඟට කර්නල් යන නම ව්‍යවහාර කරති.

මහපැරකුම්බා රජතුමා විසින් කරවන ලද වැවක් ද අනෝතත්ත යන නමින් හැඳින්වෙයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනවතප්ත_විල&oldid=1802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි