අන්තඃපුරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රජකුගේ බිසෝවරුන්ගේ හා සෙසු භාර්‍ය්‍යාවන්ගේ වාසය සඳහා කරන ලද මන්දිරය අන්තඃපුර නමින් හැඳින්වේ. අන්තඃපුර යනු අභ්‍යන්තර ගෘහය යනාර්ථයි. එහි වසන්නන් බාහිර ලෝකයාගේ දර්ශනයට පාත්‍ර නොවන සේ ද අන්‍යයන් එහි ඇතුළුවීම වළක්වන පරිදි ද හාත්පසින් රක්ෂාවරණ කොට තබන බැවින් ඊට අවරෝධ යන නම ද ව්‍යවහාර වේ.

මහාභාරත, කෞටිල්‍ය අර්ථශාස්ත්‍ර, මාන සොල්ලාස, රඝුවංශ, අග්නිපුරාණ, මත්ස්‍ය පුරාණ ආදී ග්‍රන්ථයන්හි අන්තඃපුර ගැන විස්තර තොරතුරු සඳහන් වේ. ජාතක කථාවල පවා සඳහන් වන මේ අන්තඃපුර කවර කලෙක ඇතිවී දැයි නිශ්චය කළ නොහැක. මෙසපොතේමියාවේ තෙල්ලෝ ප්‍රදේශයෙහි කරන ලද පුරාවිද්‍යා පරීක්ෂණවලින් ක්‍රිස්තු පූර්ව 3000 පමණේ දී පවා අන්තඃපුර පැවති බව හෙළි වී තිබේ. වේද සමයෙහි රජකෙනකුට මහීෂි, වවාතා, පරිවෘක්තා, පාලාගලී යයි බිසෝවරුන් සිව් දෙනෙකු සිටි බව සෘග්වේදාදී ග්‍රන්ථවලින් පෙනේ.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණේදී ජීවත් වූ චාණක්‍ය (කෞටිල්‍ය) අන්තඃපුරයක් ගොඩනැංවිය යුතු ආකාරය හා ඒ පිළිබඳ වෙනත් කරුණු ස්වකීය අර්ථශාස්ත්‍රයෙහි සඳහන් කරයි. වාස්තු විද්‍යාවට අනුව තෝරාගත් ප්‍රශස්ත භූමියක ප්‍රාකාර, පරිඛා (දිය අගල්) හා ද්වාර සහිතව එකක් අනික ඇතුළත පිහිටන ආකාරයට ආගාර බොහෝ ගණනකින් යුක්තව අන්තඃපුරය තැනිය යුතු විය.

ජෛන සාහිත්‍යයෙන් ද රජුන්ගේ අන්තඃපුර පිළිබඳ කරුණු රාශියක් හෙළි වේ. අන්තඃපුරවල සේවයෙහි යෙදුණුවුන් අතර කුදු වූ ද, මිටි වූ ද, විකල ශරීරාංග ඇත්තා වූ ද ස්ත්‍රීන් ඇතුළු දාසියන් නපුංසකයන් පණිවුඩකරුවන් හා කඤ්චුකීන් ද සිටි බව එහි පැවසේ.

නවවන ශතවර්ෂාරම්භයේ දී බැග්ඩෑඩ් නුවර විසූ හරූන් අල් රෂීද් සුල්තාන්ගේ අන්තඃපුරයෙහි වරඟනන් 400ක් සිටි බවත් ඔවුන් සංගීතය, ලේඛනය හා චිත්‍ර කර්මාදි කිසියම් කලාවක් ඉගෙන එහි නිරතව කාලය ගතකළ බවත් සඳහන් වේ.

අරාබිවරුන් අතර අන්තඃපුරය හරීම් යන නමින් හැඳින්විණ. හරාම් හෙවත් හරීම් යනු කිසි යම් තහනම් කළ හෝ ළඟාවිය නොහැකි හෝ කෙලෙසිය නොහැකි හෝ දූෂණය කළ නොහැකි වස්තුවකට අරාබි භාෂාවේ ව්‍යවහාර වන නාමයකි. එය අන්තඃපුරයට පමණක් නොව එහි වසන ස්ත්‍රීන්ට ද ව්‍යවහාර වේ. අයිතිකාරයා හැර අන්කිසිවකුට එහි ඇතුළුවීමට ඉඩ නැති බැවින් මේ නාමය යොදන්ට ඇතැයි සිතිය හැක. රජුගේ අන්තඃපුරය විශේෂ ආරක්ෂා සහිත ස්ථානයකි. එහි මුරකරුවන් ස්වල්ප දෙනකුන් දොරටුවේ නවතාලීම ප්‍රමාණවත් නොවීය. සේවයෙහි නියුක්ත පිරිස රජු එහි පැමිණ කල ඔහුට නියම ප්‍රීතිය භුක්ති විදීමට හැකිවන සේ ඇඳුම් පැලඳුම් හා වෙනත් උපභෝග පරිභෝග වස්තු ආදි සියල්ල සම්පාදනය කර තැබිය යුතු විය.

අන්තඃපුර මුරකිරීම සඳහා නපුංසකයන් හෝ පණ්ඩකයන් යොදවා සිටි බව පැවසේ. ඉස්තාන්බුල් (කොන්ස්තන්තිනෝපල්) සුල්තාන්වරුන්ගේ අන්තඃපුර මුරකිරීමට ද යොදවන ලද්දෝ නපුංසකයෝය. එහි සියලු ස්ත්‍රීන්න්ගේ කාමර භාරව සිටි අධ්‍යක්ෂකවරයා ද නපුංසකයෙකි. අන්තඃපුරයේ යතුරු තිබුණේ ඔහු භාරයේය. යම්කිසි සැකයක් ඇති වූ විට කෙළින් ම රජු ළඟට යාමට ඔහුට අවසර තිබුණේය.

බැබිලෝනියාව, සිරියාව, ඊජිප්තුව (මිසරය), පර්සියාව, ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව ආදි රටවල ඉතා පුරාණ කාලයේ පටන් අන්තඃපුර පැවැත්තේය. මෝගල් රජවරුන්ගේ මාළිගාවල පැවති අන්තඃපුර හෙවත් සෙනාන බොහෝ ගණනක ද රාජගෘහ, තක්ෂිලා, පටලීපුත්‍ර ආදි නගරවල පැවති පැරණි අන්තඃපුරවල ද නෂ්ටාවශේෂ රාශියක් පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබේ.

ඊජිප්තුවේ ඵාරාවෝ රජවරුන්ට ද අන්තඃපුර තිබුණ බවත් යම්කිසි දාසයකු අන්තඃපුර ස්ත්‍රියක සමග අනාචාරයෙහි හැසුරුණහොත් එහි දී ම ඔහුගේ ගෙල සිඳ දමන බවත් සඳහන් වේ. අන්දරුන් නමින් හැඳින්වෙන පර්සියන්වරුන්ගේ අන්තඃපුර මහමදාගම්කාර්යගේ පැමිණීමට පෙර ද එහි පැවති බව කියති.

ලංකාවේ අන්තඃපුර. පුරාණ කාලයේ පටන් ලක්දිව රජුන්ගේ අන්තඃපුර පැවති බව දේවානම්පියතිස්ස, විජයබාහු I. විජයබාහු IV, මානාභරණ ආදි රජුන් පිළිබඳව මහාවංසයෙහි සඳහන් වන විස්තරවලින් හෙළි වේ.

කුරුණෑගල, දඹදෙණිය, ගම්පොළ, සීතාවක ආදි රාජධානි කාලවල දී තිබුණු අන්තඃපුරයන් ගැන වැඩි තොරතුරු සඳහන් නොවේ. එහෙත් දඹදෙණියෙ රාජ්‍යශ්‍රියට පැමිණි දෙවන පරාක්‍රමබාහු නරේන්ද්‍රයාගේ දිනචරියාවෙහි හෙවත් කදවුරු සිරිතෙහි එතුමාට ද අන්තඃපුරයක් තිබුණු බව සඳහන් වේ.

මහනුවර අවධියට සමීප කාල පරිච්ඡේදයේ දී අන්තඃපුරවාසීනීන් වූ අනියම් භාර්‍ය්‍යාවන්ට යකඩ දෝළි යයි ද ඔවුනතුරෙන් රජුගේ සිත මැනවින් වසඟ කරගත් බිරියන්ට දුග්ගන්නා උන්නාන්සේලා යයි ද ව්‍යවහාර විය. දෙවැනි රාජසිංහ රජතුමාගේ සිත දිනා ගත් අලුත්ගම දුග්ගන්නා උන්නාන්සේට දුන් ගම්වරක් ගැන ද සඳහන් වේ. ඇයට මහවාසලින් දෙවා වදාරන ලද තුඩපතක් ද වෙයි. දුග්ගන්නා උන්නාන්සේලාගෙන් රජුට දාව උපන් අනියම් පුත්‍රයෝ රජකම නොලත් නමුදු රදල පෙළේ ප්‍රමුඛ ස්ථානයට පත්වූහ.

මහනුවර අවදියෙහි රජුගේ අනියම් භාර්‍ය්‍යාවෝ ද වඩුග මෙහෙසියන්ගේ සහෝදරියන් හා නායක්කර් රජුන්ගේ කිට්ටුවර ඥාතීන් වූ ස්ත්‍රීහු ද අන්තඃපුරයෙහි හෙවත් පල්ලේවාහල පදිංචි කරවනු ලැබූහ. මහනුවර අන්තිම නරේන්ද්‍රයා දක්වා රාජමහිෂිය හා පරිවාර ස්ත්‍රීන් ද වාසය කළේ දැනට කෞතුකාගාරයව තිබෙන පැරණි ගොඩනැගිල්ලෙහි ය. රාජාධිරාජසිංහ රජුසමයෙහි පල්ලේවාහල හෙවත් අන්තඃපුරය තිබුණේ වර්තමාන මල්වතු විහාරයට නුදුරු වූ තැනකය. වැව කණින්ට පෙර එය ටි‍ඟොලවෙල නම් වූ විශාල වෙලකි. රාජාධිරාජසිංහ නරපතීන් සමයෙහි පල්ලේවාහල බාර ප්‍රධාන නිලධාරියා වූයේ මහ ඇති ධූරය දැරූ පිළිම තලව්වේ මහනිලමේය. සිංහල රජුන්ගේ අන්තඃපුරයෙහි නඩත්තුව සඳහා විශාල ගම්වරක් දී තිබුණේය. පල්ලේවාහලට හිමි කරන ලද ගම්වලින් අවුරුදු පතා දැකුම්කත් හා අලුත්සාල් ද පෙරහැරින් ගෙන වුත් පල්ලේවාහල බණ්ඩාර අටුව පාලනය කළ නිලධාරීන්ට බාර දෙන ලදි. එහි නියම් අනියම් බිසෝවරුන්ගේ සියලු ම සුවපහසුකම් සලස්වන ලද්දේ මහ අදිකාරම් තුමාගේ සංවිධානයෙන්ය. මුලුතැන්ගෙයි රාජකාරියේ පටන් හැම සේවයක් ම නිලමක්කාරවරුන්ගේ නියමයන් රක්නා නිලකාරයන් විසින් කරන ලදි. නිලකාරයන්ගේ රාජකාරිය හෙවත් සේවය සඳහා වෙන වෙන ඉඩම් හෙවත් නිලපංගු දී තිබුණේය. රාජකාරිය මැනිවින් ඉටු නොකරන නිලකාරයන්ට දඬුවම් පමුණුවන ලද්දේ මහ නිලමේගේ පාලක මණ්ඩලයේ සිටි ඒ ඒ තරාතිරමේ නිලමක්කාරවරුන් මගිනි.

19 වන ශතවර්ෂය මැද භාගයේ දී යුරෝපීය සිරිත් විරිත් පැතිරයාම නිසා, පෙරදිග රටවල අන්තඃපුර පැවැත්වීම නොයෙක් අයුරින් වෙනස් විය. ඉන්දියාවේ සෙනානවල වසන ස්ත්‍රීන්ගේ තත්ත්වය දියුණු කිරීම සඳහා සමිති සමාගම්, ධර්මදූත සේවාදිය මගින් ප්‍රයත්න දරන ලදි. සෙනාන පාසැල් හා ආරෝග්‍යාශාලා ද පිහිටුවීමෙන් ස්ත්‍රීන්ට වෛද්‍ය සේවාදිය පුහුණු කරවන ලද්දේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්තඃපුරය&oldid=1906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි