අන්තර්ධාන

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නොපෙනී යෑම හෝ වැනසීම අන්තර්ධාන නමි. "දෙවෙසු අන්තරහිතා භගවතො පුරතො පාතුරහංසු" (දෙව්ලොවැ අතුරුදහන් වැ බුදුන් පෙරට පහළ වූහු) යනාදි තන්හි නොපෙනී යෑම අන්තර්ධානයයි. "රජං අන්තරධාපෙය්‍ය චික්ඛල්ලං පාතුකරෙය්‍ය" (දූලි අතුරුදහන් කරන්නේය, මඩ නඟන්නේය) යනාදි තන්හි වැනසීම අන්තර්ධානයයි. බෞද්ධ සාහිත්‍යයෙහි එන අන්තර්ධාන පසෙකි : අධිගම අන්තර්ධානයැ, ප්‍රතිපත්ති අන්තර්ධානයැ, පර්‍ය්‍යාප්ති අන්තර්ධානයැ, ලිංග අන්තර්ධානයැ හා ධාතු අන්තර්ධානයැයි.

මෙහි "අධිගම" නම් සතරමාර්ගයැ සතර ඵලයැ සතර පටිසම්භිදායැ ෂඩභිඥායැ ත්‍රිවිද්‍යායි යනුයි. පිරිහෙනුයේ සිව්පිළිසැඹියා පටන්ගෙන පිරිහෙයි. බුදුන් පිරිනිවනින් දහසක් හවුරුදු මැ පිළිසැඹියා නිපදවන්නට සමර්ථ වෙති. එයින් පසු ෂඩභිඥා නිපදවති. එයින් පසු ත්‍රිවිද්‍යා නිපදවති. කල් යත් යත් එ ද නොහැකිව ශුෂ්කවිදර්ශක වෙති. මෙසේ අනුක්‍රමයෙන් අනගැමි සෙදගැමි සෝවාන් වෙති. ඔවුන් ඇති කල්හි අධිගම අන්තර්ධාන නම් නොවේ. පශ්චිම සෝවාන්හුගේ මරණින් අධිගම අතුරුදහන් වූයේ වේ. මේ අධිගම අන්තර්ධානයැ.

ප්‍රතිපත්ති අන්තර්ධාන නම් ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල උපදවන්නට අසමර්ථ වූවාහු ප්‍රාතිමෝක්ෂසංවරාදි චතුපාරිසුද්ධි සීලය ම රකිති. කල් යත් යත් "සිල් පිරිසිදු කොට රකුම්හ. වීර්‍ය්‍ය ද කරම්හ, මගපල පසක් කරන්නට අසමර්ථයම්හ, දැන් ආර්‍ය්‍යධර්‍මප්‍රතිවේධයෙක් නැතැ" යි වීර්‍ය්‍ය හැරපියා කුසීතකමින් යුක්තවැ ඔවුනොවුන්ට චෝදනාවක්, සිහිකරවීමක් නැතිව කුකුස් නැතිවැ වෙසෙති. කුදුමහත් ශික්ෂාපද මඩිති. යළි පචිති ථුලැසි ඇවැත් ද ගරුකාපත්ති ද අවදිති. පරිජි මැ රක්ෂා කොට සිටිති. සතරපරිජි පමණක් රක්නා භික්ෂූන් ඇති කල්හි ප්‍රතිපත්ති අතුරුදහන් වූවා නොවෙයි. පශ්චිම භික්ෂුහුගේ ශීලභේදයෙන් හෝ ජීවිතක්ෂයෙන් හෝ අන්තර්ධාන වූවා වෙයි. මේ ප්‍රතිපත්ති අන්තර්ධානයැ.

පර්‍ය්‍යාප්ති නම් පෙළ හා අටුවා සහිත තෙවළා බුදුවදනි. ඒ පවත්නා තාක් කල් පර්‍ය්‍යාප්ති පරිපූර්ණ නම් වෙයි. කල් යත් යත් කලියුගයෙහි රජවැරු අධාර්මික වෙති. ඔවුන් අධාර්මික කල්හි රජඇමති ආදීහු අධාර්මික වෙති. ඊට පසු රටදනවුවැස්සෝ ද අධාර්මික වෙති. ඔවුන්ගේ අධාර්මිකතායෙන් මනා වැසි නැති වෙයි. මනා වැසි නැති කල්හි සස්‍ය සමෘද්ධිය නොවෙයි. සස්‍ය සමෘද්ධිය නැති කල්හි ප්‍රත්‍යයදායකයෝ භික්ෂුසංඝයාට ප්‍රත්‍යය දෙන්නට අසමර්ථ වෙති. භික්ෂූහු ප්‍රත්‍යයෙන් ක්ලාන්ත වන්නාහු පර්‍ය්‍යාප්ති දරන්නට අසමර්ථ වෙති. අර්ථ විසින් දරන්නට නොහැකි වූවාහු පෙළ විසින් මැ දරති. කල් යත් යත් හෙ ද අසමර්ථ වෙති. පළමු අභිධර්මපිටකය අග පටන් පිරිහෙයි. පට්ඨානප්පකරණයෙහි පටන් දම්සඟුණු දක්වා අනුක්‍රමයෙන් සප්තප්‍රකරණ පිරිහෙයි. ඊට පසු සූත්‍ර පිටකය පිරිහෙයි. හෙ ද අ‍ඞ්ගෝත්තරනිකායෙහි ඒකාදශනිපාතයෙහි පටන් ඒකක නිපාතය දක්වා අනුක්‍රමයෙන් පිරිහෙයි. යළි සංයුක්තනිකාය චක්‍රපෙය්‍යාලයෙහි පටන් ඕඝතරණ සූත්‍රය දක්වා අනුක්‍රමයෙන් පිරිහෙයි. ඉක්බිති මධ්‍යමනිකාය පිරිහෙයි. එහි ද පළමු උපරිපන්නාසකය පිරිහෙයි. යළි මධ්‍යමමූලපන්නාසකය පිරිහෙයි. අනතුරුව දීඝනිකාය දශෝත්තර සූත්‍රයෙහි පටන් බ්‍රහ්මජාල සූත්‍රය දක්වා ප්‍රතිලෝම ක්‍රමයෙන් පිරිහෙයි. මෙසේ සූත්‍රපිටකය පිරිහී ගිය කල්හි විනය පිටකය හා ජාතක ම දරති. එහි දු ලජ්ජීහු විනය පිටකය ද ලාභ කැමැත්තාහු ජාතක ද දරති. කල් යත් යත් වෙස්සන්තර ජාතකයෙහි පටන් අපණ්ණක ජාතකය දක්වා ප්‍රතිලෝමයෙන් පිරිහී යෙයි. අනතුරුව විනය පිටකය පරිවාරයෙහි පටන් භික්ෂුවිභඞ්ග දක්වා පිරිහෙයි. අනුක්‍රමයෙන් උපෝසථකාණ්ඩය මතු සිටියේ වෙයි. එකල්හි දු පර්‍ය්‍යාප්ති අන්තර්ධාන වූවා නොවෙයි. යම් තාක් කල් පිරිහුණු මිනිසුන් කෙරෙහි චතුෂ්පදිකගාථාවක් සිටී නම් පර්‍ය්‍යාප්තිය සිටියා නම් වෙයි. යම් කලෙක සැදැහැති රජෙක් ඇත් කඳ පිට දහසින් බැඳි පියැලි තබා "බුදුන් වදාළ සිවුපැදිගයක් දන්නා කෙනෙක් මේ ගනිත්වා" යි නුවර තුන් විටෙක බෙරහසුරුවාත් දහම් දතුවකු නැතිව දහම් පියැල්ල පෙරළා රජගෙට ම පමුණුවා ලයි නම් එකල්හි පර්‍ය්‍යාප්තිය අන්තර්‍ධාන වූවා නම් වේ. මේ පර්‍ය්‍යාප්ති අන්තර්ධානයැ.

ලිඞ්ගාන්තර්ධාන නම් කල් යත් යත් භික්ෂුන්ගේ පාසිවුරු ගැනීම් ඉරියවු පැවැත්වීම් ආදිය නොසරුප් වෙයි. භික්ෂූහු පාත්‍රය අතින් එල්වාගෙන ඇවිදිති. සිවුරු ද නොසරුප් සේ රඳාගෙන ඇවිදිති. කල් යත් යත් මින් කවර වැඩෙක් දැයි කුඩා කහකඩක් අත හෝ කර හෝ කෙහෙයෙහි හෝ බැඳගෙන අඹුදරුවන් රක්මින් ගොවිතැන් වෙළඳාම් කෙරෙමින් ජීවත් වෙති. "කාසාවකණ්ඨයෝ මතු වන්නාහ" යි වදාළේ මොවුන් සඳහායැ. කල් යෑමෙන් "මෙයින් අපට කිමැ" යි ඒ කහකඩ ද ඉවත ලා පියති. එකල්හි ලිංගය අතුරුදහන් වූයේ වේ. මේ ලිඞ්ගාන්තර්ධානයැ.

ධාතු අන්තර්ධාන නම් ඒ ඒ තැන්හි සත්කාර සම්මාන නොලබන ධාතුහු බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනට වඩිති. කල් යත් යත් හැම තැන්හි සත්කාර සම්මාන නොවේ. එකල්හි ලක්දිව හැම ධාතුහු රැස්ව රුවන්වැලිදාගැබට වඩිති. එයින් නාගදිව රාජායතන චෛත්‍යයට වඩිති. එයින් මහබෝමැඩට වඩිති. නාලොවිනුදු දෙව්ලොවිනුදු ධාතුහු මහ බෝමැඩට වඩිති. අබැටක් පමණ ධාතයෙකුදු නොතැන්හි නොනසී. සියලු ධාතූහු මහාබෝධි පර්‍ය්‍යාඞ්කයෙහි රැස්වූවාහු බුදුවෙස් ගෙන දෙතිස් මහපුරිස්ලකුණෙන් අසූඅනුව්‍යඤ්ජනයෙන් ව්‍යාම ප්‍රභායෙන් සම්පූර්ණවැ බෝමැඬ පලක් බැඳ වැඩහුන් බුදුන්ගේ ශරීරශෝභා දක්වා යමාමහ පෙළහර දවස්හි සෙයින් ප්‍රාතිහාර්‍ය්‍ය කොට සවනක් රස් විහිද දසසහස්‍රීලෝකධාතුයෙහි පතුරුවති. එතැනට යන මිනිස් කෙනෙක් නැති. දසදහසක් සක්වළ දෙව්බඹහු රැස්ව අද බුදුහු පිරිනිවෙති. මේ අපගේ පශ්චිම දර්ශනයැ. මෙතැන පටන් ගෙන මුළු ලොව ඒකාන්ධකාර වේයැ"යි වැලැපෙති. අනාගාමීන් හා රහත්වූවන් හැර අන්‍යයෝ පියවින් සිටිනට අසමර්ථ වෙත්. ධාතු ශරීරයෙන් තේජස් නැඟී බඹලොව දක්වා නැ‍ඟෙයි. අබ පමණ ධාතුයෙකුදු ඇති කල්හි ඒකාකාරයෙන් දිලියෙමින් සිට සෑම ධාතූන් අවසන් වූ සඳ ගිනි දැල් සිඳීයෙයි. මෙසේ මහත් අනුභාව දක්වා ධාතූහු අන්තර්ධාන වෙත්. එකල්හි සියලු දෙව් බඹහු පිරිනිවි දවස් සෙයින් දිවගඳමලින් තූර්‍ය්‍ය ඝෝෂයෙන් පුදා තුන්යලක් පැදකුණු කොට මතු උපදනා බුදුන් දක්මෝව"යි කියා තමන් තමන් වාසස්ථානයට යෙත්. මේ ධාතුඅන්තර්ධානයැ. මෙසේ අන්තර්ධානය පස්වැදෑරුම් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්තර්ධාන&oldid=1923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි