අන්තරාභව
බුදුරදුන් වදාළ අන්තරාපරිනිබ්බායී" යන සූත්‍රපදය අයෝනිසෝමනසිකාරය හේතුකොට වරදවා තේරුම්ගත් පූර්වශෛලීය, සම්මිතය යන දෙනිකායවාසීන් සත්ත්වයාගේ ච්‍යුතියත් ප්‍රතිසන්ධියත් අතර අන්තරාභවයෙක් ඇතැ යි ප්‍රකාශ කරන ලදැයි කථාවත්ථු අටුවාවෙහි සඳහන් වෙයි. මෙ ලොවින් ච්‍යුතව ගිය කිසි සත්ත්වයෙන් දිවැස් නැතිව දිවැස් ඇතියකු සෙයින් ද, සෘද්ධි නැතිවැ සෘද්ධිමතකු සෙයින් ද, මවුපියන්ගේ සමාගමයත් සෘතුසමයත් බලමින් සතියක් හෝ අතිරේක සතියක් පමණ කල් සිටුනේය" යනු ඔවුන් ප්‍රකාශ කළ අන්තරාභවයයි.
තුන්වැනි මහාධර්මසංගිති අවස්ථායෙහි කථා වස්තුප්‍රකරණය වදාළ මොග්ලීපුත්තතිස්ස මහ තෙරණුවන් විසින් අන්තරාභවකථායෙහි ලා සහේතුකව මේ දුර්ලබ්ධිය ප්‍රතික්ෂේප කරන ලදි. කාමභව රූපභව අරූපභව යයි භව තුනකි. සඤ්ඤාභව, අසඤ්ඤාභව, නේවසඤ්ඤානාසඤ්ඤාභව, යන භවයෝ ද මේ තුන්භවයට ම ඇතුළත් වෙති. පඤ්චවෝකාරභව, චතුවෝකාරභව, ඒකවෝකාරභව ද කාමාදිභවයන්ට ම අන්තර්ගත වෙයි. චතුයෝනි, පඤ්චගති, සත්තවිඤ්ඤාණට්ඨිති හා නව සත්තාවාස ද මේ තුන්භවයට ම ඇතුළත් වන්නේය. එබැවින් අන්තරාභවය නමින් භවයක් වෙයි නම් සඤ්ඤාභව, පඤ්චවෝකාරභවාදිය සෙයින් කාමාදි තුන් භවයෙහි එය සංග්‍රහ විය යුතු ය. කාමභවාදියෙහි ඉපැදීමට හේතු වන කර්මයෙක් ඇත. අන්තරාභවයකුදු වී නම් එහි උපදනා කර්මයෙක් ද දැක්විය යුතු ය. එහෙත් කාමභවාදියෙහි අන්තරාභවය සංග්‍රහ වීම හෝ අන්තරාභවෝතපත්තිය දෙන කර්මයක් හෝ බුද්ධදේශනාවෙහි සඳහන්ව නැත. මෙ කරුණෙන් ද අන්තරාභවය නැතැයි පිළිගත යුතුය. තවද කර්මානුරූපව හැම සත්ත්වයෙක් ම භව-යෝනි-ගති-විඤ්ඤාණට්ඨිති- සත්තාවාසයන්හි සැරිසරයි. එසෙයින් හැම සත්ත්වයාගේ අන්තරාභවයෙහි සැරි සැරීම අන්තරාභවයක් ඇතැයි කියන පරවාදීහු ද නොපිළිගනිති. ච්‍යුතිප්‍රතිසන්ධි අතුරෙහි අන්තරාභවය වී නම් හැම සත්ත්වයෙක් ම අන්තරාභවයෙහි විසිය යුතුය. එහෙත් අන්තරාභවය ඇතැයි කියන්නෝ පවා බලවත් අකුශලකර්මයෙන් නිරයෙහි උපදනා සත්ත්වයාගේ ද බලවත් කුශලකර්මයෙන් රූපභවාදියෙහි උපදනා සත්ත්වයාගේ ද අන්තරාභවය ප්‍රතික්ෂේප කෙරෙති. අන්තරාපරිනිබ්බායී" යන සූත්‍රපදය නිසා අන්තරාභවයක් ඇතැයි යම් කෙනෙක් තර්ක කෙරෙත් නම් ඔවුන් විසින් උපහච්චපරිනිබ්බායී" ආදි සූත්‍ර පදයන් නිසා උපභව්වභවාදිය ද ඇතැයි පිළිගත යුතු වෙයි. එහෙත් අන්තරාභවවාදීහු පවා උපහච්චවාදිය ඇතැයි නොපිළිගනිති. කථාවස්තු ප්‍රකරණයෙහි අන්තරාභවවාදය ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ නිසායි.
(සංස්කරණය:1963)