අන්තරාභිජනනය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Inbreeding). නෑකමින් ඉතා ළංවූ සතුන් අතර හෝ ශාක අතර හෝ සංසර්ගය මගින් ජනිතයන් (offspring) ඇති කිරීම අන්තරාභිනනයයි. ඉතා ම ළං වූ අන්තරාභිජනනය සිදු වන්නේ ස්වකීය ඡායා ජන්මාණු (female gametes) ස්වකීය ම වූ පුංජන්මාණු ( male gametes) මගින් ස්වසංසේචනය (self fertilization) වී ජනිතයන් බිහි කරන විටය. යුගල වශයෙන් පවතින ප්‍රවේණ්‍යාණු (genus) දෙකක් සාමාන්‍යයෙන් එක සමාන නොවන නමුත්, සම ප්‍රවේණ්‍යණු සහිත වූ ප්‍රවේණ්‍යණු යුගල ප්‍රමාණය අන්තරාභිජනනය හේතු කොට ගෙන වැඩි වන අතර අසම ප්‍රවේණ්‍යණු යුගල ප්‍රමාණය අඩු වේ. පරම්පරා ගණනාවක් තුළ ස්වසංසේචනය සිදුවීමේ හේතුවෙන් විෂමයෝගී ( heterozygous) ප්‍රවේණ්‍යණු වෙනුවට අන් කොටසක් සමයෝගී (homozygous) වෙයි. ක්‍රමයෙන් පරම්පරා ගණනාවකට පසුව ලැබෙන පරම්පරාව බොහෝ දුරට නුමුහුන් පෙළක (pure line) එකක් වන්නේය. නෑකම එතරම් ළං නොවූ විට මෙතරම් වේගවත් නොවූව ද ඒ සමාන වෙනසක් වන්නේය.

අන්තරාභිජනනය නිසා මිනාසගෙනුත් වෙනත් සතුන්ගෙනුත් ශාකවලිනුත් ඇඅතිවන පරිම්පරා කෙරෙහි අහිතකර ලක්ෂණ බලපාන බව විශ්වාසයයි. එහෙත් හැම විටම එවැන්නක් සිදු නොවේ.

කිසියම් ජීවියකු සතු ලක්ෂණ පාලනය කරනු ලබන්නේ ප්‍රවේණ්‍යණු මගින්ය. ජීවියාට අහිතකර ලක්ෂණ දරන ප්‍රවේණ්‍යණු වේ නම් ඒවා සාමාන්‍යයෙන් නිලීන (recessive) ව සිටී. මෙවැනි නිලීන ප්‍රවේණ්‍යණු සාමාන්‍යයෙන් විෂමයෝගී යුගලයක පවතින බැවින් ඉන් ඇතිවන ලක්ෂණ මැඩ පැවැත්වී සැඟවී තිබේ. මෙවැනි ප්‍රවේණ්‍යණු ජීවීන් තුළ බහුලය.

අන්තරාභිජනනය නිසා සමයෝගී ප්‍රවේණ්‍යණු යුගල ද ඇති වන්නේය. මේ අනුව අහිතකර නිලීනයෝ ද ඉස්මතු වෙත්. මෙවැනි නිලීන ලක්ෂණ ඇති අහිතරක ගුණ පෙන්වන ඒවා ප්‍රතික්ෂේප කරමින් ප්‍රයෝජනවත් ලක්ෂණ ඇති ඒවා තෝරා නැවත නැවතත් අන්තරාභිජනනයට පාත්‍ර කිරීමෙන් ඒ පෙළෙහි වූ අහිතකර ලක්ෂණ සියල්ල ම පාහේ ඉවත් කළ හැකිය. මෙසේ කිරීමෙන් නුමුහුන් පෙළක් ලැබෙයි.

නියම නුමුහුන් පෙළක ජීවීහු නම් ප්‍රවේණ්‍යණු යුගල සියල්ල ම සමයෝගී වූ සත්වයෝ හෝ ශාකයෝ හෝ වෙති. මෙසේ වූ ජීවින්ගේ අන්තරාභිජනනයෙන් ඇති වන්නේ ජනකයන් (parents) ඉඳුරා ම සමාන වූ ජනිතයන් පෙළකි. මේ ජනිතයන් අතර යම් වෙනසක් දක්නට ලැබේ නම් එය පරිසරය නිසා ඇති වූවක් විය යුතුය. එවැනි ලක්ෂණ ආවේණික වන්නේ නැත. මොවුනතුරෙන් අසතුටුදායක ලක්ෂණ තෝරා ඉවත ලෑමෙන් කිසි දියුණුවක් ඒ පෙළෙහි ඇති නොවේ. නුමුහුන් පෙළකට ඒ හැටියට ම සඳහට පවතින්නට ඉඩනැත. ඊට හේතුව විකෘතිය (mutation)යි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්තරාභිජනනය&oldid=1916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි