අන්තිමවත්ථු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුදුසසුන්හි පැවිදිව උපසම්පන්න වූ මහණෙක් යම් වස්තුවක් හෙවත් කාරණයක් හේතුකොටගෙන පාරාජිකාවකට-ශ්‍රමණ භාවයාගේ විනාශයට-පැමිණේ නම්, එය "අන්තිම වත්ථු" නම් වෙයි. අන්තිමවස්තු හෙවත් පාරාජිකා සතරෙකි : 1. මෙථුනධම්ම (යටත් පිරිසෙයින් තිරිසන්ගිය මාගමක හා ද මෙවුන්දම් සෙවීම) 2. අදින්නාදාන (අන් සතු පාදයක් හෙවත් කහවණු ¼ක් හෝපාදයක් අගනා දැයක් සොර සිතින් ගැනීම) 3. මනුස්සවිග්ගහ (පටිසන්ධියෙහි පටන් මිනිස්සතක්හු දිවි තොරකිරීම) 4. උත්තරිමනුස්ස ධම්මාරොචන (තමා කෙරෙහි නැති උතුරු මිනිස් ධම් බුහුමන් කැමැති සිතින් අනෙක් මිනිස්සතක් හට ඉඳුරා කීම) යනුවෙනි.

මේ වස්තු සතරින් එකකට හෝ පැමිණි මහණ කෙලෙස් සතුරන් විසින් පරදවන ලද හෙයින් "පරිජි" නමුදු වෙයි. මහණකමින් ගිළිහෙන හෙයින් අන්තිමවත්ථු නම් ද වෙයි. මීට පැමිණි මහණ මේ අත්බැව්හි උපසපන් බවට අභව්‍ය වූයේ වෙයි. සෙසු භික්ෂූන් හා ධර්මාමිෂසම්භෝග රහිත වූයේ ද වේ. (පාරාජිකා බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්තිමවත්ථු&oldid=1927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි