අන්දෝලි මඩුව (අන්දෝරු මඩුව)
පුරාණයෙහි විශේෂයෙන් ම මහනුවර යුගයෙහි රටේ පැවති මාර්ගවල තත්ත්වයට අනුව ගමන් යාම සඳහා පිළියෙල කරගෙන තිබුණු යානවාහන අතර දෝලා, පල්ලැක්කි, කූණම් සහ අන්දෝලි විශේෂ තැනක් ගත්තේය. මේ හැම යානයක් ම මිනිසුන් විසින් උසුලාගෙන යනු ලැබීය. මේ යාන වර්ග සතර භාවිතයෙහි ද කිසියම් විශේෂතාවක්ව විය. රදලවරුන්ගේත් ඔවුන්ගේ කුමාරිහාමිලාගේත් ගමන් යෑම සඳහා දෝලාව පාවිච්චි කරන ලදි. මඟුල් තාන්තුවාවල දී ද දෝලා ප්‍රයෝජනයට ගන්නා ලදි. ධර්මදේශනා ආදි ආගමික කටයුතු පිණිස භික්ෂූන් වැඩමවාගෙන යෑම පිණිස යොදා ගන්නා ලද්දේ පල්ලැක්කියයි. කූණම සහ ආන්දෝලිය රාජකීයයන්ගේ පරිහරණය පිණිස ම භාවිත කරන ලදි. ආරක්ෂිතව තිබුණු මේ යාන කීපයක් මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. ඒවා අතර අන්දෝලියක් දක්නට නොමැත. එහෙත් කුණ්ඩසාලේ රජමහාවිහාරයෙහි සහ හාරිස්පත්තුවේ පල්කුඹුරේ රජමහාවිහාරයෙහි ද අන්දෝලියක කොටස් පමණක් තිබේ. සාමාන්‍යයෙන් අන්දෝලියක හැඩහුරුකම බූරු ඇඳකට සමාන බව ඒ කොටස් සැලකිල්ලෙන් බලන විට පෙනී යයි. මෙය බෙහෙවින් ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ යුද්ධ කටයුතුවල දී බව ද කියති. කූණම් ආදි වෙන බර යානයකට වඩා සැහැල්ලු හෙයින් ද පහසුවෙන් ඔබමොබ ගෙන යා හැකි හෙයින් ද යුද්ධ කටයුතුවල දී මෙය බෙහෙවින් ප්‍රයෝජන වන්නට ඇත. ඇතමකු මෙයට "අන්දෝරු" යන නම ව්‍යවහාර කරතත් එය වැරදිය. "අන්දෝරු මඩුව" යන්න "අන්දෝලි මඩුව" කියා විය යුතුය.
අන්දෝලි මඩුව මහනුවර යුගයේ දී සිංහල රාජ්‍යයෙහි පැවති අධිකාරියකි. කූණම් මඩුව (බ.) යන්නෙන් හැඳින්වුණේ ද මේ අධිකාරියයි. මේ දෝලා දෙපාර්තමේන්තුව භාරව සිටි නිලධාරීන් හැඳින්වුණේ අන්දෝලි මඩුවේ නිලධාරීන් නොහොත් කූණම් මඩුවේ නිලධාරීන් හැටියටය. දෝලාව උසුලන්නන්ගේ ප්‍රධානියා හැඳින්වුණේ "අන්දෝලි පති" යනුවෙනි.
(සංස්කරණය:1963)