අන්ධකවින්දය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය මගධ දේශයෙහි රජගහ (වර්තමාන රාජ්ගිර්) නුවරට ගවු තුනක් දුරින් පිහිටි ගමකි. බුද්ධකාලයෙහි රජගහනුවර නැගෙනහිර දොරටුවේ පටන් අන්ධකවින්දයට රථවාහන ගමනාගමනය කළ හැකි මාර්ගයක් තිබුණේය. ගිජ්ඣකූටයෙන් පටන් ගන්නා සප්පිනී නදිය රජගහනුවර හා අන්ධකවින්දය අතර විය.

බුදුරජාණන් වහන්සේ කලින් කල වැඩ විසූ ස්ථානවලින් මේ ගම ද එකෙකි. මෙහි දී උන් වහන්සේ අනඳ මහතෙරුන් අමතා නවක භික්ෂූන් පඤ්චධර්මයෙක්හි සමාදන් කරවීමට ද පිහිටුවීමට ද වදාළ බව අඞ්ගුත්තර නිකායේ අන්ධකවින්ද සූත්‍රයෙහි දැක්වේ. එක් අඳුරු රැයක සහම්පතී බ්‍රහ්මයා මෙහි පැමිණ ස්වකීය ශරීර ප්‍රභාවෙන් අන්ධකවින්ද ගම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිට ගාථා කීපයකින් භික්ෂූන්ට අවවාද කළ බව සංයුක්ත නිකායේ සඳහන් වේ.

වරක් බුදුන් මෙහි වසන කල වාතාබාධයකින් පෙළුණු බව ද එගම වැසි වෛද්‍යවරයකුගේ බිරිඳක් උන්වහන්සේට කැඳ පිසදී ඒ පිනින් තාවතිංසයෙහි උපන් බව ද එක් උවසුවකු බුදුරදුන් සඳහා අන්ධකවින්දයෙහි ගඳකිළි‍යක් තැනවූ බව ද විමානවත්ථුවෙහි දැක්වේ.

බිම්බිසාර රජුගේ වෛද්‍යවරයා වූ ජීවකගේ වාසභූමිය වූයේ ද අන්ධකවින්දය බව විනය පිටකයෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්ධකවින්දය&oldid=1947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි