අනාත්මවාදය
මිනිසාට ආත්මයක් ඇතැයි අන් සෑම ආගමක ම කියා තිබෙන නමුත් බුදු සමයෙහි ආත්ම සංඛ්‍යාත කිසිවක් නැත්තේ ය යන අනාත්ම ධර්මය දේශනා කර තිබේ. නූතන මනා්විද්‍යාඥයෝ ද මිනිසාගේ චිත්ත සන්තානයේ යම්කිසි ඒකත්වයක් තිබෙන බව පිළිගන්නා නමුත් එහි නිත්‍ය ආත්මයක් නොමැති බව පවසත්. මනෝවිද්‍යාව අතීතයේ දී ආත්ම විද්‍යාව ලෙස හැඳින්වුණු නමුත් දැන් "ආත්ම" යන වචනය පවා මනෝවිද්‍යාවේ වචනමාලාවෙන් බැහැර කරනු ලැබේ.
උපනිෂද් ග්‍රන්ථයන්හි සඳහන් වන දර්ශන කීපයකුත් ජෛනාගමත් ආජීවික මත රාශියකුත් බුදුරදුන්ගේ සමයෙහි ප්‍රචලිතව පැවති බව පෙනේ. බුදුසමයෙහි අනාත්මවාදය බිහි වී තිබෙන්නේ එවක පැවති ආගමික දර්ශනයන්හි ගැබ් වූ ආත්මවාද විවේචනය කිරීමක් වශයෙන් යැයි සිතිය හැකිය.
උපනිෂද්වල නොයෙක් ආත්මවාද දක්නට තිබේ. ඇතැම් තන්හි පුද්ගලයාත් ලෝකයත් නැතහොත් පුද්ගලයාගේ හා ලෝකයේ කොටස් ආත්ම ලෙස සලකා තිබේ. ඇතැම් තන්හි පුද්ගලයා හා ලෝකය ආත්මයට අයිති බව උගන්වා තිබේ. ඇතැම් තන්හි පුද්ගලයා හා ලෝකය තුළ ආත්මය තිබෙන බව කියැවේ. තවත් සමහර තැනෙක ආත්මය තුළ පුද්ගලයා ද ලෝකය ද පවතින බව කියැවේ. ආත්ම ප්‍රතිබද්ධ මේ මතාන්තර සියල්ලට ම විරුද්ධ ව බුදු සමයෙහි තර්ක ඉදිරිපත් කරනු ලැබේ. බුද්ධ ධර්මයේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් ආත්මභාවය ස්කන්ධ පසකට බෙදා තිබේ. මේ ස්කන්ධ එකක්වත් ආත්මයක් ලෙසවත් ආත්මීය වස්තුවක් ලෙසවත් සැලකිය නොහැකි බව බුදුදහමෙහි ඉගැන්වේ. රූපය අත්මයක්ය කියාවත් (රූපං අත්තතො), ආත්මයට අයිති දෙයක්ය කියාවත් (රූපවන්තං වා අත්තානං), රූපය තුළ අත්මයක් තිබේය කියාවත් (රූපස්මිං අත්තා), ආත්මය තුළ රූපය තිබේය කියාවත් (අත්තනි රූපං) සිතීම බුදුදහමෙහි ප්‍රතික්ෂේප කොට ඇත.
උපනිෂද්වල ප්‍රධාන ආත්මවාදය වූයේ පුද්ගල ආත්මයත් ජගදාත්මයත් එකක් බව දෙසූ අද්වෛතවාදය (බ.) යි. ආත්මයත් ලෝකයත් එකක් ම ය යන මේ වාදයට බෞද්ධ ඉගැන්වීම් පටහැණි වූ බව පැහැදිලිය. (සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිනාම ධම්මො අලගද්දුපමසුත්ත-මජ්ඣිම නිකාය).
උපනිෂද්, ජෛන හා ආජීවික ආත්මවාදයන්හි තවත් වැදගත් ලක්ෂණයක් නම් ආත්මය විවිධ කර්ම කරන්නාවූ කාරකයකු වශයෙනුත් ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳින වේදකයෙකු වශයෙනුත් සැලකීමයි. මෙවැනි කාරක-වේදක ආත්මයක් දෘශ්‍යමාන නොවන බැවින් එබන්දක් නොමැති බව බුද්ධ ධර්මයේ ඉගැන්වේ (මහා තණ්හාසංඛය සුත්ත-මජ්ඣිම නිකාය). එහෙත් කාරක ආත්මයක් නොමැති නිසා කර්මයක් නොමැති බව කීම ධර්මය ඉක්මවා යෑමක් ලෙස දක්වනු ලැබේ (මහාපුණ්ණම සුත්ත-මජ්ඣිම නිකාය).
දාර්ශනික දෘෂ්ටිකෝණයකින් බලන විට බුදුසමයේ අනාත්මවාදය විභජ්ජවාදයේත් හේතුඵලවාදයේත් අනුභූතිවාදයේත් ප්‍රතිඵලයක් ලෙස පෙනේ. බුදුසමයෙහි අන්තර්ගත වන විභජ්ජවාදය නිසා බෞද්ධයන් විසින් පුද්ගලයා හා ලෝකය ඒ ඒ නියමිත කොටස්වලට බෙදනු ලැබීය. මේ බෙදීමේ දී ආත්මපදාර්ථයක් නො දක්නා ලදි. ප්‍රත්‍යක්ෂයෙන් හා අනුමානයෙන් ලබාගන්නා ඥානය අපේ අනුභූතිය මත ගොඩනඟන ලද්දක් බැවින් ද මෙවැනි අනුභූතියකින් අප ආත්මයක් වින්දනය නොකරන බැවින් ද බුදු සමයෙහි ගැබ් වූ අනුභූතිවාදයේ අනුසාරයෙනුත් අනාත්මධර්මයේ සත්‍යතාව හෙළි වේ. අනාත්මවාදය තහවුරු වීමට තවත් වැදගත් කාරණයක් ලෙස සැලකිය හැක්කේ ලොව සිදුවන දේ හේතු ඵල නියාමයන්ට අනුව තේරුම් කිරීමට බොදු සමයෙහි තැත් කර තිබීමයි. ආත්මවාදීහු පුනර්භවය තේරුම් ගැනීමට අවිච්ඡින්නව පවත්නා ආත්මයක් අවශ්‍ය බවත්, කර්මය තේරුම් කිරීමට කාරක-වේදක ආත්මයක් පිළිගැනීම අවශ්‍ය බවත් විශ්වාස කළහ. බුදුසමයෙහි පුනර්භවය හා කර්මය තේරුම් කරනු ලබන්නේ පුද්ගලයාගේ ප්‍රවෘත්තියට හේතුවන අන්‍යෝන්‍ය බලවේගයන්ගේ බලපෑම් විදහාපාන ප්‍රතීත්‍යසමුත්පාද ධර්මයෙනි.
උපනිෂද් ග්‍රන්ථයන්හි ආත්මපදාර්ථය නිත්‍ය සුඛ අන්තර්යාමී ලක්ෂණ ඇතියක් ලෙස සැලකූ බව පෙනේ. බුදුසමයෙහි අනාත්මධර්මය දේශනා කර තිබෙන්නේ මෙවැනි ලක්ෂණ ඇති කිසිවක් ලෝකයේවත් පුද්ගලයා තුළවත් නැති බව පෙන්වා දෙමිනි. නිර්වාණය ද නිත්‍ය සුඛ වන නමුත් ආත්මයක් ලෙස සැලකිය නොහැකි බව පෙනේ. සියලු සංස්කාර අනිත්‍ය හා දුඃඛ ලෙස සැලකෙන අතර සියලු ම ධර්ම අනාත්ම ලෙස (සබ්බෙ ධම්මා අනත්තා) සලකා තිබේ. මෙහි දී ආකාශ හා නිර්වාණ යන දෙක ද ධර්මවල අන්තර්ගත යැයි තර්ක කළ හැකිය. කෙසේ වෙතත් නිර්වාණයෙහි වේදයිත වූ මම වෙමි යන "අස්මි මඤ්ඤනාවක්" නොමැති හෙයින් එය ආත්මයක් වශයෙන් සැලකිය නොහැකිය (තත්‍රානන්ද යො සො එවමාහ: නහෙව ඛො මෙ වෙදනා අත්තා, අප්පටිසංවෙදනා මෙ අත්තා’ති, සො එවමස්ස වචනීයො ‘යත්ථ පනා වුසො සබ්බසො වෙදයිතං නත්ථි, අපි නු ඛො තත්ථ "අස්මී"ති සියා'ති; මහානිදාන සුත්ත-දීඝනිකාය).
නිත්‍ය සුඛ, ස්වසංවේදී ආත්ම පදාර්ථයක් නොමැති නමුත් ආත්ම ශබ්දය වැරදි හැඟීම් ඇති නොවන පරිද්දෙන් ලෝකප්‍රඥප්තියක් වශයෙන් ව්‍යවහාරික පුද්ගල ආත්මභාවය හැඟවීමට භාවිත කිරීමෙහි වරදක් නැති බව කියා තිබේ. පංචස්කන්ධභාරය ගෙන යන්නාවූ අනිත්‍ය භාරහාරක පුද්ගලයාගේ විද්‍යමානත්වය පිළිගනු ලැබේ. මම වර්තමානයෙහි පුද්ගලිකත්වයක් ඇති ව සත්‍ය ලෙස ජීවත්වෙමි (අත්ථාහං එතරහි නාහං නත්ථිති; පොට්ඨපාද සුත්ත-දීඝනිකාය). මෙය වාත්සී පුත්‍රීයයන්ගේ පුද්ගල වාදයට නොවැටී ගත යුතු මතයකි.
මේ නිසා අනාත්මවාදය පවා වරදවා ග්‍රහණය කළ හැකි දෘෂ්ටියක් ලෙස ඇතැම් තන්හි පෙන්වා ඇත. වර්තමානය, අතීතය හා අනාගතය ගැන අයෝනිසෝමනසිකාරයෙන් වැරදි ලෙස සිතීමෙන් අධිභෞතික අනාත්මදෘෂ්ටියකට ද වැටිය හැකි බව "අත්තනාව අත්තානං සංජානාමි, අනත්තනාව අනත්තානං සංජානාමි"යි මැඳුම් සඟියේ සබ්බාසව සූත්‍රයෙහි කියා තිබේ. එම නිසා ආත්මදෘෂ්ටිය මෙන් අනාත්මදෘෂ්ටිය ද දෘෂ්ටි වශයෙන් වර්ජනය කර තිබෙන බව ඇතැම් අය කියති. මෙයින් පෙනෙන්නේ අනාත්මවාදය අවබෝධයෙන් වටහාගත හැකි සත්‍යයක් මිස දෘෂ්ටියක් සේ ගැනීම වැරදි බවයි.
ආචාර්‍ය්‍ය රාධාකෘෂ්ණන්, රීස් ඩේවිඩ්ස් මැතිනිය, අයි. බී. හෝනර් මහත්මිය වැනි ඇතැම් උගත්තු බුදුසමයේ ආදි ම යුගයෙහි ගූඪ ආත්මවාදයක් දක්නා බවත් මේ ආත්මවාදය අවශ්‍යයෙන් ම උපනිෂද් ආත්මවාදයෙන් නොවෙනස් බවත් කියති. මීට හේතුව වනුයේ ව්‍යවහාරික පුද්ගලයාට බුද්ධ ධර්මයෙහි ආත්ම ශබ්දය යෙදීම උපනිෂද් අර්ථයෙන් වරදවා තේරුම් ගැනීමයි. "අත්තාහි අත්තනො නාථො" යන කියමනෙහි "අත්තා" යන්න යට කී උගතුන් තේරුම් කරන්නේ උපනිෂද් ජගදාත්මය ලෙසයි. එහෙත් මෙසේ කිරීමට ඓතිහාසික හේතු යුක්තියක් නැත. "අත්තනාව කතං පාපං" කී තැන "අත්තා' යනු ජගදාත්මය යැයි තේරුම් කළොත් පාපක්‍රියාවට හේතුව ජගදාත්මය යැයි සන්න ලිවිය යුතුයි. මෙය සිනහවට කරුණකි.
කර්තෘ:කේ.ඇන්. ජයතිලක
(සංස්කරණය:1963)