අනාදරිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආදර නොකිරීම හෝ ආදර නැති බවයි. ආදර නොකිරීම පුද්ගලයා කෙරෙහි හෝ ධර්මය කෙරෙහි යයි දෙපරිද්දෙකින් පවතී. අවවාද අනුශාසනා කරන පුද්ගලයා කෙරෙහි යම් කිසි දොසක් සලකා අනාදර කිරීම "පුග්ගල අනාදරිය" නම් වෙයි. යම් ධර්මයකින් විනයකින් අවවාද කරනු ලැබේ නම් ඒ ධර්ම විනයෙහි නොහික්මෙනු කැමැත්තෙන් දහමට අනාදර කිරීම "ධම්මානාදරිය" නම් වේ.

අනාදරිය පාචිත්තිය: පාචිත්තියපාළි සුරාපාන වර්ගයෙහි සතරවැනි ශික්ෂාපදය ද "අනාදරිය" නම් වෙයි. ඡන්න තෙරුන් උදෙසා පනවන ලද මේ ශික්ෂාපදය ඉක්මවීම හේතු කොටගෙන උපසපන් පැවිද්දනට පචිති ඇවැත් වේ යයි වදාරන ලද්දේය. උපසපන් පැවිද්දකු ප්‍රඥප්ති ශික්ෂා පදයෙන් ම අවවාද කරන කල්හි එහි නොහික්මෙන රිසියෙන් අනාදරය කරන පැවිද්දාට මේ ඇවැත සිදු වෙයි. අනුපසපනක්හු අවවාද කරන කල්හි හෝ කවරකු හෝ අන් දහමකින් අවවාද කරන කල්හි අනාදරිය කරන පැවිද්දාට දුකුළා ඇවැත් වේ යයි ද පාචිත්තියපාළියෙහි හා සමන්තපාසාදිකාවෙහි දැක්වේ.

තවද මේ දෙවැදෑරුම් අනාදරියෙන් යුත් පුද්ගලයා අප්‍රතීක්ෂ්‍ය (අප්පටික්ඛ) හෙවත් නොබැලිය යුතු වෙයි. බොහෝදෙනාගේ සම්මතයෙන් අධිපති බවට-ප්‍රධාන පදවියට-පමුණුවා ගත යුතු නොවේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනාදරිය&oldid=1811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි