අනිමිෂලෝචන චෛත්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
F-6.jpg
බුදු රජුන් අනිමිෂලෝචන පූජාව (බ.) කළ ස්ථානයෙහි ඉදි කොට තුබූ චෛත්‍යයකි. ෆාහියන්, හියුං සාං යන චීන දේශාටකයෝ මෙතන්හි වූ විහාර ගොඩනැගිලි ගැන සිය ගමන් විස්තරවල සඳහන් කරති. "රුවන් සක්මනින් උතුරෙහි වූ මාර්ගයාගේ වම්පසැ විශාල ගලක් මත ඇස් දල්වා බලා සිටින බුද්ධප්‍රතිමාවක් සහිත විහාරය" අනිමිෂලෝචන චෛත්‍යය බව හියුං සාං පවසයි. ජාතක නිදාන කථාව අනුව අනිමිෂලෝචන චෛත්‍යය පිහිටියේ ශ්‍රී මහාබෝධිය අසල ඊට වයඹ දිගින්ය.

බුද්ධගයාවෙහි පුරාවිද්‍යා පරීක්ෂණ පැවැත්වූ කනිංහැම් මහතා රුවන්සක්මනට උතුරෙන් පිහිටි නටබුන්වලින් වැසුණු භූමියක් අනිමිෂලෝචන චෛත්‍යය විය හැකි බව සැලකීය. රාජේන්ද්‍රලාල් මිත්‍ර මහතා බුද්ධගයා විහාරයට උතුරින් පිහිටි කුඩා විහාරයක් අනිමිෂලෝචන චෛත්‍යය වශයෙන් හඳුන්වා ඇත. දැනට බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල පිහිටා ඇති, ප්‍රතිමා කීපයක් සහිත විහාරය මෙකී විහාරය විය හැකි බව කල්පනා කරනු ලැබේ. කෙසේ වුව ද මෙය මෙතෙක් නිශ්චය වශයෙන් හඳුනාගෙන නැත.

(සංස්කරණය:1963)