අනිවාර්‍ය්‍ය යුද්ධ සේවය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පුද්ගලයාගේ කැමැත්ත නො විමසා ම රටක ආණ්ඩුව මගින් බලෙන් යුද්ධ හමුදාවට බඳවා ගනු ලැබූවන් විසින් ඒ ආණ්ඩුව උදෙසා ඉටුකරනු ලබන යුද්ධසේවයට අනිවාර්‍ය්‍ය යුද්ධ සේවය යයි කියනු ලැබේ.

අනිවාර්‍ය්‍ය යුද්ධසේවයේ ආරම්භය පාෂාණ යුගයේ සිට යයි කිව ද වරදක් නැත. තමා උපන් පවුල, කණ්ඩායම හෝ ගෝත්‍රය වෙනුවෙන් යමකුගේ ඇති වගකීම හා බැඳීම නිසා ඔහු තමාගේ ගෝත්‍රය, කණ්ඩායම හෝ පවුල සතුරන්ගෙන් ආරක්ෂා කළ යුතු විය. මෙය එකල පැවැති සමාජ චාරිත්‍රයකි. ප්‍රාග්-ඓතිහාසික යුගයේ මිනිසා දඩයමේ දී පවා තමාගේ සගයාට නැතහොත් ගෝත්‍ර නායකයාට සතුරු උවදුරුවල දී කැමැත්තෙන් ම උදව් දුන්නේය. ඒ යුගයේ දඩයම් බිමේ දී ගෝත්‍ර අතර ඇතිවූ සටන්වල දී තමාගේ ගෝත්‍රය රැක ගැනීම ඒ ගෝත්‍රයට අයත් වූවන්ට උත්පත්තියෙන් පැවරුණු යුතුකමක් විය. ඊට පසු යුගයේ දී, එනම් ගෝත්‍ර නායකයන් කුඩා රාජ්‍ය පිහිටුවාගෙන රජුන් හැටියට පාලනය ගෙනගිය සමයේ දී, සෑම පුරවැසියකු ම තමාගේ මව්රට සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂයෙන් ම සතුරු ආක්‍රමණ ඇතිවූ අවස්ථාවල දී යුද්ධසේවයට පැමිණිය යුතු යයි සිද්ධාන්තයක් වශයෙන් පිළිගෙන තිබූ බව පෙනේ. පැරණි ග්‍රීසිය හා රෝමය වැනි රටවල චිරාගත සිරිතක් වශයෙන් මිනිස්සු අනිවාර්‍ය්‍ය යුද්ධසේවයට බඳවා ගන්නා ලදහ. ඉන්දියාවේ පශ්චාත් වෛදික යුගයේ දී යුද්ධසේවය සෑම ක්ෂත්‍රිය වංශිකයකු ම හෙවත් රාජ්‍ය නායකයකු ම සතු යුතුකමක් හැටියට සම්මතව තුබූ බව කිව හැකිය. එහෙත් යුද්ධ සේවයට බලයෙන් බඳවා ගැනීමට ඒ ඒ රටවල නීති පැනවීම ආරම්භ වූයේ ඉතා මෑත දීය.

දහහත්වන හා දහඅටවන සියවස් හරියේ දී යුරෝපයේ ජාතිවාදය පැන නැඟ ජාතික රාජ්‍ය බිහිවීමට පටන් ගැනීමෙන් පසු වැටුප් පිට සේවය කළ යුද්ධ හමුදාවට අමතරව යම්කිසි ක්‍රමයක අනිවාර්‍ය්‍ය යුද්ධ හමුදාවක් ද පිහිටුවා ගැනීමට සිදුවිය. නීති පනවා මුලින් ම බලෙන් යුද්ධ සේවයට බඳවා ගන්නා ලද්දේ ප්‍රංසයේය. එක්දහස් හත්සිය අනූනවයේ දී ඇති වූ ප්‍රංස විප්ලවයේ දී ප්‍රංස ජාතිකයන් විසින් අනිවාර්‍ය්‍ය යුඞසේවය නීතිගත කරන ලද බව කියති. දහනවවන සියවසේ දී යුරෝපයේ සෑම රටක ම පාහේ අනිවාර්‍ය්‍ය යුද්ධසේවය ඇති කරන ලද බව පෙනේ. එංගලන්තයෙහි අනිවාර්‍ය්‍ය යුද්ධසේවය ආරම්භ කරන ලද්දේ ප්‍රථම ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසුවය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යෙයහි අනිවාර්‍ය්‍ය යුද්ධසේවය අරඹන ලද්දේ ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් පසුවය. දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී හිට්ලර් වයස 16ටත් 60ටත් අතර වූ සෑම රටවැසියකු ම බලෙන් යුද්ධ හමුදාවට බඳවා ගැනීමට නීති පැනෙව්වේය. එම කාලයේ දී රුසියාවෙහි අනිවාර්‍ය්‍ය යුද්ධ සේවයට කැඳවන ලද අයගේ වයස් සීමාව 16ටත් 50ටත් අතර විය. බ්‍රිතාන්‍යය ද එම යුද්ධ කාලයේ දී රටවැසියන් බලෙන් යුද්ධ සේවයට බඳවා ගනිමින් ඔවුන්ගේ වයස් සීමාව 18ත් 50ත් දක්වා අඩු වැඩි කළේය. ජපානය වයස 17ට වැඩි සියලු දෙනා ම යුද්ධසේවයට බලෙන් කැඳෙව්වේය. දෙවන ලෝක මහාසංග්‍රාම සමයේ දී දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් නම් ඉහත දැක්වූ වයස් සීමා අතර වූ ස්ත්‍රීන් ද බලෙන් යුද්ධ සේවයට කැඳවනු ලැබීමයි.

පුරාණ ඉන්දියාවේ මෙන් ම පුරාණ ලංකාවේ ද යුද්ධසේවයට මිනිසුන් බලෙන් බඳවා ගත් බවක් පෙන්වන සාක්ෂි ලැබී නැත. එහෙත් දහසය වන සියවසෙන් පසු ලංකාවේ අනිවාර්‍ය්‍ය යුද්ධ සේවයක් පැවති බවට ඉඟියක් රොබට් නොක්ස්ගේ කෘතියෙන් ලැබෙයි. ලන්දේසීන් මෙරට ජනයා බලෙන් යුද සේවයට බඳවාගත් බව පැවසෙන ජන කවියක් කව් සඟරාවෙහි අන්තර්ගත ව තිබේ. රටේ හදිසි තත්වයක් පැන නැඟුණු අවස්ථාවල දී බලෙන් යුද්ධ හමුදාවට බඳවා ගැනීම විශේෂයෙන් සිදුකොට ඇති බව සිතිය හැකිය.

(සංස්කරණය:1963)