අනීශ්වරවාදය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනීශ්වරවාදය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරනු ලබන්නේ දෙවියන් සිටිතැයි විශ්වාස නොකිරීමයි. ලෝක ඉතිහාසය දෙස බලන කල යම් කිසි සමාජයක සමහරුන් පිළිගත් දේවවාදය නොඅදහන කෙනකු අනීශ්වරවාදියකු ලෙස සලකන බව පෙනේ. මේ නිසා දර්ශනික අර්ථයකින් ඊශ්වරයකුගේ විද්‍යමානත්වය පිළිගත් ස්පිනෝසා නම් දර්ශනවාදියා ඔහුගේ සමකාලීනයන්ට අනීශ්වරවාදියකු සේ පෙනිණි. එහෙත් විශේෂ වශයෙන් අනීශ්වරවාදයක් වන්නේ සර්වඥ, සර්වබලධාරී, සර්වතෝභද්‍ර මැවුම්කාර පුද්ගල ඊශ්වරයෙක් නැතැයි පවසන වාදයකි. මේ නයින් බුදුසමයත් මාක්ස්වාදයත් අනීශ්වරවාද වන අතර ක්‍රිස්තියානි ආගම ඊශ්වරවාදයකි. හින්දු ආගමේ රාමානුජාචාර්‍ය්‍යයන් වැනි අය ඊශ්වරවාදීන් වන නමුත් පූර්වමිමාංසාවෙහි හා අද්වෛත වේදාන්තයෙහි ඊශ්වරයකු ඇතැයි යන්න පිළිගෙන නැත.

ආදී කාලයේ සිට ම මනුෂ්‍ය සමාජයේ දෙවියන් නොඅදහන අය සිටි බව ඉතිහාසගත කරුණකි. සෘග්වේදයේ ඇතැම් තන්හි, ප්‍රධාන දෙවියා වන ඉන්ද්‍රට පරිභව කර තිබේ (4. 24. 10; 10. 119). ඇතැම් තන්හි එවැනි දෙවියෙක් නැතැයි කියා තිබේ (2. 12. 5; 8. 100. 3). බුදුසමයට පෙර පහළ වූ ප්‍රත්‍යක්ෂය පමණක් පිළිගත් ලෝකායතික චාර්වාකයන් දෘශ්‍යමාන ලෝකය පමණක් සත්‍ය ලෙස පිළිගත් බැවින්, ඔව්හු අනීශ්වරවාදීහු වෙති. මුලක් හා අගක් නැති ලෝකයේ අනාදිමත් බව දේශනා කළ ජෛනාගම අනීශ්වරවාදී ආගමක් ලෙස සැලකිය හැකිය. ඊශ්වරවාදය ලෝකය පිළිබඳව ඇතිකරගත හැකි එක්තරා වාදයක් ලෙස බුදුසමයෙහි සඳහන් කර තිබේ. එම වාදය දික්සඟියේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කර තිබෙන දෙසැට දෘෂ්ටීන් අතුරෙන් එකකි. ඊශ්වරවාදය මුළාව නිසා හටගන්නා වාදයක් ලෙස එහි දැක්වේ. සර්වඥය (අඤ්ඤදත්ථුදසො), සර්වබලධාරීය (අභිභූඅනභිභූතො), සර්වතෝභද්‍රය (සෙට්ඨො), නිර්මාපකය (නිම්මාතා) යැයි සිතන පුද්ගල මහාබ්‍රහ්මයකු ලොව සිටින නමුත් මොහුට මේ කියන ගුණ නොමැතිබව උගන්වනු ලැබේ. මොහුට ඇත්තේ සීමිත අතීතඥානයක් හා විශ්වය පිළිබඳ සීමිත ඥානයක් බැවින් මොහු සර්වඥ නොවේ. ලෝකයේ ධර්මතාවක් වන අනිත්‍ය ධර්මයට යටත් වන බැවිනුත්, ලොව පවත්නා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක වළක්වන්නට නොහැකි බැවිනුත් මොහු සර්‍වබලධාරී නොවේ. පරිග්‍රහ රහිත බ්‍රහ්මයාට අවෛර අව්‍යාපද්‍ය අසංක්ලිෂ්ට සිතක් හා වශවර්තිත්වයක් තිබෙන බව පිළිගනු ලබන නමුත් ඔහු නිර්මාපක දෙවියකු ලෙස සලකනු නොලැබේ. ජාතක පොතේ ඊශ්වරවාදයට විරුද්ධව ප්‍රධාන තර්ක දෙකක් එල්ල කර ඇත. පළමුකොට, ඊශ්වරයා විසින් සියලු ලෝකයාගේ ජීවිතය සංවිධානය කරන ලද්දේ නම් මිනිසා ඔහුගේ අණ අනුව ක්‍රියා කරන්නකු වන බැවින් මිනිස් ක්‍රියාවල හොඳ නරක සියල්ලට ම වග කිව යුත්තේ ඊශ්වරයාය. එවිට මිනිසාගේ නිදහස නැතිවන බැවිනුත් ඊශ්වරයා පාපක්‍රියාවලට සහභාගීවන බැවිනුත් ඊශ්වරවාදයේ අසත්‍යතාව ඔප්පු වෙයි (මහාබෝධි ජාතකය). අනික් අතින් සර්වතෝභද්‍ර ඊශ්වරයෙක් දුකින් පෙළෙන ලෝකයක් හා මායාමුසාවාදාදි අධර්මය පවත්නා ලෝකයක් මවයි ද දුක හා අධර්මය ලොව පවතින බැවින් පෙනෙන්නේ ලෝකය සර්වතෝභද්‍ර දෙවිකෙනකුන් විසින් මවන ලද්දක් නොවන බවය (භූරිදත්ත ජාතකය).

ඊශ්වරවාදයට විරුද්ධ ව එල්ල කරන ලද තර්ක පළමුවන වරට දක්නට ලැබෙන්නේ බෞද්ධ පොත්වල වුව ද නිරීශ්වර සාංඛ්‍යයත් මූලික වෛශේෂිකයත් අනීශ්වරවාද බව අමතක නොකළ යුතුයි. මෙසේ නාස්තිකවාද ලෙස හින්දූන් සැලකූ චාර්වාක දර්ශනයත් ජෛනධර්මයත් බුදු සමයත් පමණක් නොව ආස්තික ගණයට අයත් ඇතැම් දර්ශන ද අනීශ්වරවාදී වෙයි. මේ අනීශ්වර දර්ශනවල ඊශ්වරවාදයට විරුද්ධ ව නොයෙක් තර්ක ඉදිරිපත් කර තිබේ. හින්දුන්ගේ අසහාය ආචාර්‍ය්‍යවරයා වූ ශංකර ද ඊශ්වරවාදීන්ගේ තර්කවල නිසරුකම දක්වමින් ඊශ්වරයා පරම සත්තාව ලෙස ගැනීමේ සාවද්‍යතාව පෙන්වා දෙයි. වාචස්පති මිශ්‍රතෙමෙ සංඛ්‍යතත්ත්ව කෞමුදියෙහි ඊශ්වරවාදයට විරුද්ධ ව මෙසේ තර්ක කරයි: "ඊශ්වරයෙක් ලෝකය මැවී නම් ඒ මැවීම ස්වසංවේදී ක්‍රියාවක් විය යුතුයි. සෑම ස්වසංවේදී ක්‍රියාවක් ම එක්කෝ ආත්මාර්ථකාමිත්වයකින් නැතහොත් දයාවකින් කළ දෙයක් විය යුතුයි. ඊශ්වරයාට ආත්මාර්ථකාමිත්වයක් නොමැති නිසා ලෝක නිර්මාපණය එබඳු අභිප්‍රායකින් සිදු කරන ලද්දක් නොවේ. එසේ ම ලොව පවත්නා දුක හා අසාධාරණතාව නිසා එය දයාවකින් සිදුකරන ලද්දක් ද නොවිය හැක. දුක ඇතිවන්නේ කර්මය නිසා නම් ඊශ්වරයා අනවශ්‍යයි."

ආදී කාලයේ සිට ම වෙනත් ජාතීන් අතර ද අනීශ්වරවාදීන් සිටි බව පෙනේ. යුදෙව් බයිබලයේ ශාස්තෘවරයෝ කලින් කල අනීශ්වරවාදීන්ට විරුද්ධව චෝදනා නැඟූහ. එහෙත් ජෙහෝවා නම් යුදෙව්වන්ගේ ජාතික දෙවියා කිපෙනසුලු, ඊර්ෂ්‍යාසම්පන්න කෙනකුන් බැවින් නියම ඊශ්වරයකු ලෙස සැලකිය නොහැකිය. නිර්මාතෘ වූ පුද්ගලරූපි දෙවියකු ගැන මුළු චීන හා ජපන් චින්තනයේ කිසිදු සඳහනක් නැත. ඉස්ලාම් ධර්මය අදහන අරාබි චින්තකයන් බෙහෙවින් ඊශ්වරවාදීන් වන නමුත් ඔවුන් අතර ද ඊශ්වරයකු ඇතැයි යන්න නොපිළිගත් අය සිටි බව පෙනේ. අපරදිග, පැරණි ග්‍රීකයන් හා රෝමවරුන් අතර එවකට සමාජයේ පිළිගත් දෙවිවරුන් විශ්වාස නොකළ අය අනීශ්වරවාදීන් ලෙස සලකනු ලැබූහ. එහෙත් ලෝක නිර්මාපක ඊශ්වරයකු ගැන විශ්වාසයක් ග්‍රීකයන් අතර ද නොවීය. ඇරිස්ටෝටල්ගේ "ආචාල්‍ය චාලකයා" ඊශ්වරයකු බව ඔප්පු කිරීමට තැත් කළේ මධ්‍ය යුගයේ වැජඹුණු ඇක්වයිනාස් නම් කතෝලික දර්ශනවාදියාය.

ඊශ්වරවාදය බටහිරදිග පැතිර ගියේ ක්‍රිස්තියානි ධර්මය පිළිගැනීම හේතුකොටගෙනය. කතෝලික පල්ලිය බල පෑ මධ්‍යතන යුගයේ වැජඹුණු මේ වාදය නවීන යුගය උදාවත් ම ක්‍රමයෙන් දුබල වී ගොස් තිබේ. භෞතිකවාදය, ඉන්ද්‍රියානුභූතිවාදය, පරිණාමවාදය හා අඥෙයවාදය යන වාද නවීන ලෝකයේ චින්තකයන්ගේ සිත් ගැනීම ඊශ්වර වාදයේ පසුබැස්මටත් අනීශ්වරවාදය පැතිරී යෑමටත් ප්‍රධාන හේතුව ලෙස ගිණිය හැකිය.

භෞතිකවාදය පැරණි ග්‍රීසියේ හා ඉන්දියාවේ පැනනැඟුණු වාදයකි. ක්‍රි.ව.15 වැනි ශත වර්ෂයේ දී භෞතිකවාදය යුරෝපයේ උද්ගත වී 18, 19 වැනි ශතවර්ෂවල දී උසස් චින්තකයන් පිළිගත් වාදයක් බවට පෙරළිණි. 19 වැනි ශත වර්ෂයේ විසූ ලුඩ්විග් ෆොයියර්බාහ් නමැති දාර්ශනිකයා මෙබඳු භෞතිකවාදියෙකි. ඔහුගේ ප්‍රධාන කෘතියක් වූ "ක්‍රිස්තියානියේ සාරය" (Essence of Christianity) නම් පොතෙන් ක්‍රිස්තියානි ආගම මිනිස් සිතේ උපන් ආභාසයක් ලෙස පෙන්වා දෙන්ට ඔහු විසින් තැත් කරන ලදි. භෞතික ද්‍රව්‍යයේ ප්‍රධානත්වය පිළිගත් අනීශ්වරවාදී මාක්ස්ගේ හා නවීන මාක්ස්වාදීන්ගේ ආගමික අදහස්වලින් බොහොමයක් ෆොයියර්බාහ්ගෙන් උපුටා ගත් ඒවාය. මාක්ස්වාදය අනුව ඊශ්වර විකල්පනය වූකලී බියසුලු දුබල මිනිස් සිතේ පහළ වූ මායාවකි. ඊශ්වරවාදය දුප්පත් මහජනයා මර්දනය කිරීම පිණිස රදල පන්තිය හෝ ධනපති පන්තිය පාවිච්චි කරන අවියකි. ඊශ්වරවාදීන් දුප්පත්කම දේවමෙහෙයකැයි පසසන්නේ මේ නිසාය යනු මෙහි තර්ක කරනු ලැබේ.

ඉන්ද්‍රියානුභූතිවාදය විද්‍යාත්මක දියුණුව නිසා ඇතිවූවකි. විද්‍යාවන්හි අන්තර්ගත ඥානය ලබාගෙන තිබෙන්නේ නිරීක්ෂණයෙන් හා පරීක්ෂණයෙන්ය. ඊට උපයෝගී කොට ගෙන ඇත්තේ ප්‍රත්‍යක්ෂය හා අනුමානයයි. මේ ඥානෝපාය දෙක පසිඳුරන්ට විෂය වන දේ උඩ රඳා පවතී. එහෙයින් විද්‍යාවන්හි දී ඥානය ලබාගන්නේ ඉඳුරන් මඟින්ය. එම නිසා ඊශ්වරයා වැනි ඉන්ද්‍රියාතික්‍රාන්ත විෂයයන් පිළිබඳ ඥානයක් ලබාගත නොහැකිය. එබැවින් ඊශ්වරයකු ඇති බව විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකිය. මෙය අඥෙයවාදයයි. මෙසේ ඉන්ද්‍රියානුභූතිවාදය පදනම් කොටගෙන අඥෙයවාදය (බ.) හටගනී. මේ වාද දෙකෙන් ම කියැවෙන්නේ ඊශ්වරයකු ඇතැයි යනු පිළිගත නොහැකි බවයි.

විද්‍යාවන්ගේ දියුණුව නිසා ඇතිවුණු ලෝක දර්ශනය මධ්‍ය යුගයේ අපරදිග පැවතුණු ඊශ්වරවාදී ලෝකදර්ශනයට වඩා හාත්පසින් වෙනස් එකක් විය. ඊශ්වරවාදයට අනුව ලොව සිදුවන සෑම දෙයක් ම දේවාධිෂ්ඨානය නිසා හටගන්නකි. එහෙත් විද්‍යාවන්හි උගන්වන පරිදි ලෝකයේ බලපාන්නේ හේතුඵල නියාමය නැතහොත් ස්වාභාවික රීතියයි.

ඇතැම් විද්‍යාත්මක වාද ආගමික අදහස්වලට පටහැණි විය. ජීවවිද්‍යාවේ පරිණාමවාදය එවැනි වාදයකි. පරිණාමවාදය අනුව මනුෂ්‍යෝත්පත්තිය ඇති වී තිබෙන්නේ ක්‍රිස්තියානි ශ්‍රැතියේ හෙවත් බයිබලයේ කියා තිබෙන අන්දමට වඩා හාත්පසින් වෙනස් වූ අන්දමකටය. එබැවින් බයිබලයේ පුරාවෘත්ත හෙවත් ඊශ්වරවාදයේ ඉගැන්වීම් අසත්‍ය ලෙස පෙනිණි. පරිණාමවාදය බිහි වී පැතිරෙත් ම ක්‍රිස්තියානි පූජකවරු ද කතෝලික සභාව ද ඊට විරුද්ධව තර්ක කළහ. එහෙත් අන්තිමේ දී සත්‍ය ලෙස ඔප්පු වී විද්වද් ජනයා පිළිගත්තේ නිරීක්ෂණයෙන් හා පරීක්ෂණයෙන් තහවුරු වුණු පරිණාමවාදයයි. අනීශ්වරවාදය පැතිරීමට එය බලවත් රුකුලක් විය.

කර්තෘ:කේ.ඇන්. ජයතිලක

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනීශ්වරවාදය&oldid=1824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි