අනුකූලනය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අලුත් දේශගුණයකට මූණපෑම පිණිස යම් ජීවියකුගේ හැඩගැසීමක් වෙයි නම් එයට අනුකූලනය යි කියති. ඇති කරන සතුන් ද වගා කරන ශාක ද රටින් රටට ගෙන යෑම නිසා ඒ ඒ රටවල ජීවත්වීම පිණිස ඒවා අනුකූලනය වී ඇත. ඉන්දු-මලයා ප්‍රදේශයේ නිවර්තන කැළෑවල වසන වලිකුකුළාගෙන් බෝ කරන ලද කුකුළෝ, අද නිවර්තන ප්‍රදේශවල පමණක් නොව සෞම්‍ය ප්‍රෙද්ශවල ද හැම රටක ම සිටිති. එළු, බැටළු, ගව, ආදී සත්තු ද වී, ඉරිඟු, තිරිඟු, තේ, රබර් ආදී පැළැටි ද අනුකූලනය නිසා බොහෝ රටවල දක්නට ලැබෙත්.

ලෝකය පුරා මිනිසාගේ ව්‍යාප්තිය ද අනුකූලනය මත රඳා තිබේ. එක් සීමාන්තික දේශගුණයක සිට අනිකකට මිනිසකු හදිසියේ ගෙන යනු ලැබුව හොත්, ඔහුට පීඩා ඇති විය හැකිය. එහෙත් ඔහු ක්‍රමයෙන් ගෙන යනු ලැබුවහොත්, ඒ අලුත් තත්වයට අනුව සාර්ථකව ජීවත්වීමට හැකිවන පරිදි ශාරීරික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හැඩගැසෙයි. පහත් බිමක සිට උස් කන්දකට නැඟීමෙන් හෝ ගුවන් යානයක ගමන් කිරීමෙන් හෝ ඉතා උසකට හදිසියේ ගියහොත්, හිස රුදාව, මානසික ආබාධ සහ හුස්ම ගැනීමේ කරදර හටගනී. මෙයට හේතුව ඉහළ අහසෙහි වාත පීඩනය ද, ඔක්සිජන් අඩු හෙයින් පෙණහැලි තුළ ලේවල ඔක්සිජනීකරණය ද අඩුවීමයි. එහෙත් ඉහළ යෑම හෙමින් කරන ලද්දේ නම් ලේවල ඇති හීමෝග්ලෝබීන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම නිසා කරදරයක් ඇති නොවේ. ඒ වනාහි ඉහළ ජීවත්වීම සඳහා අනුකූලනය වීමයි. එසේම එක් උෂ්ණත්වයක සිට අනෙක් උෂ්ණත්වයකට ද, වාතයෙහි ඔක්සිජන්වල හා කාබන්ඩයොක්සයිඩ් වල එක් සාන්ද්‍රණයක් ඇති තැනක සිට අනෙක් සාන්ද්‍රණයක් ඇති තැනක සිට අනෙක් සාන්ද්‍රණයක් ඇති තැනකට ද, එසේත් නැතහොත් වාතයෙහි නුපුරුදු ජල වාෂ්ප ප්‍රමාණයක් ඇති තැනකට ද ගොස් විසීමට තැත් කළහොත් මුල් දින කිහිපය තුළ නොයෙක් අමාරුකම් දැනේ. එහෙත් මඳ කලක් යෑමේ දී සිදුවන ශාරීරික විපර්යාස හේතුවෙන් අනුකූලනය වීම කරණ කොටගෙන ජීවත්වීම පහසු වෙයි.

සාමාන්‍යයෙන් අනුකූලනය සාර්ථක වන්නේ එක පරිසරයක සිට ඊට අතිශයින් ම වෙනස් පරිසරයකට හදිසියේ ගෙන යෑමෙන් නොව ක්‍රමයෙන් ගෙනයෑමෙනි. යුරෝපයෙන් ගෙනන ලද සිපෙරුස් පපිරුස් (Cyperus papyrus) පැළෑටියේ ඇට ලංකාවෙහි බෝකරන්නට නුපුළුවන් වී යයි ද ඉන්දියාවෙහි අනුකූලනය වූ ඒ පැළෑටියේ ම ඇට මෙහි පහසුවෙන් ම පැළ වී යයි ද වාර්තා වී ඇත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුකූලනය&oldid=1825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි