අනුත්තර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශීල, සමාධි ආදි ගුණයන්ගෙන් තම හට වඩා උත්තරීතරයෙක්-ශ්‍රේෂ්ඨ වූයෙක්-නැත්තේ යමක්හට ද හෙතෙමේ අනුත්තර නම් වෙයි. තථාගතයන්වහන්සේ යි. "එකපුග්ගලො භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො" (අංගුත්තර එකක) යනාදින් තථාගත වූ සම්මා සම්බුදුහු ලොවැ උපදනා අද්විතීය වූ අසහාය වූ පුද්ගලයා වූහ යි වදාරන ලද්දේ ය. "න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති" යනාදි නොයෙක් තැන්හි තථාගතයන්ගේ අනුත්තරභාවය දක්වන ලද්දේය. රහත්මඟ සමග සමෘද්ධ වන හෙවත් සම්පූර්ණත්වයට පත්වන සර්‍වඥතා ඥානය ද අනුත්තර නම් වෙයි. සර්‍වඥතා ඥානයට වඩා ශ්‍රෙෂ්ඨ වූ ඥානවිශේෂයක් නැති හෙයිනි. බුදුවරයන්ගේ රහත් මාර්ගය ම මෙහි අනුත්තර වෙයි. ශ්‍රාවකයන්ගේ රහත්මඟ අනුත්තර නම් නොවෙයි. එයින් සියලු ගුණ නූපදවන හෙයිනි. ශ්‍රාවකයන් අතුරෙන් කිසිවකුට රහත්මඟ රහත්ඵලය පමණක් ම ගෙන දෙයි. ඇතැම් ශ්‍රාවකයකුට ත්‍රිවිද්‍යාව ද රහත් මඟින් ලැබෙයි. සමහර කෙනකුන්හට ෂඩභිඥාව ද ලැබෙයි. කිසි ශ්‍රාවක කෙනකුන්ට සිවුපිළිසිඹියා රහත් මඟින් සම්පාදනය වෙයි. සාරිපුත්තාදි මහා ශ්‍රාවකයනට ශ්‍රාවක පාරමිඥානය ද රහත් මාර්ගයෙන් ම සමෘද්ධ වෙයි. පසේ බුදුවරයන්ට ද රහත් මාර්ගය ප්‍රත්‍යෙකබෝධිඥානය ම ගෙන දෙයි. බුදුවරයන්ගේ අර්හත් මාර්ගඥානය සියලු ගුණ සම්පත්තිය ගෙන දෙන හෙයින් "අනුත්තරසම්මාසම්බෝධි" යයි කියනු ලැබේ (මූලපරියාය අටුවා).

තවද "අනුත්තරං චිත්තං" යනාදියෙහි කාමාවචර සිතට වඩා රූපාවචර අරූපාවචර සිත් ශ්‍රෙෂ්ඨ වන බැවින් අනුත්තර නම් වෙයි. ඒ දෙවැදෑරුම් සිත් අතුරෙනුදු රූපාවචරය සඋත්තර වන කල්හි අරූපාවචර සිත ම අනුත්තර නම් වෙයි. එසේ ම කාමාදි තුන්බිමට අයිති සිත් සඋත්තර වෙයි. අටවැදෑරුම් ලෝකෝත්තර සිත ම අනුත්තර නම් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුත්තර&oldid=1827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි