අනුදැනුම් ලිපි (ණයවර ලිපි) (Letters of Credit)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

තම ගනුදෙනුකාර වෙළඳ ව්‍යාපාරිකයන්ට හෝ විදේශ සංචාරයෙහි යෙදෙනවුන්ට හෝ අවශ්‍ය විදේශීය ව්‍යවහාර මුදල් ලබාදීම සඳහා බැංකු මගින් ඒ ඒ රටවල සිටින තම නියෝජිතයන් හෝ වෙනත් බැංකු වෙත නිකුත් කරනු ලබන ලිපි අනුදැනුම් (ණයවර) ලිපි නමි. එකකු නමින් ගත් අනුදැනුම් ලිපියක අයිතිය අනෙකකුට පැවරිය නොහැකියි. අනුදැනුම් ලිපි මාර්ගයෙන් බැංකු විසින් කරනු ලබන්නේ තම බැංකු නියෝජිතයන්ගේ මාර්ගයෙන් ජාත්‍යන්තර වාණිජ්‍ය බැංකුවල සේවය තම ගනුදෙනුකරුවන්ට ලබාදීමයි. තම ගනුදෙනුකාර වෙළඳ ව්‍යාපාරිකයන් විසින් විදේශික රටවලින් සියරටට ගෙන්වනු ලබන බඩු විදේශීය ව්‍යවහාර මුදල් ගෙවා ගත යුතුය. විදේශ සංචාරකයන් වැය කළ යුත්තේ ද විදේශීය ව්‍යවහාර මුදල්ය. මේ කටයුතු සඳහා විදේශීය ව්‍යවහාර මුදල් ලබාගැනීම අවශ්‍ය වන්නේ, යම් රටක ව්‍යවහාර මුදල් විදේශීය ගනුදෙනුවල දී භාර නොගන්නා බැවිනි. එමනිසා තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යකම් සඳහා විදේශීය ව්‍යවහාර මුදල් ලබාදීම වර්තමාන බැංකු ක්‍රමයෙන් ඉටුවන කාර්‍ය්‍යයකි. මෙම කාර්‍ය්‍යය ඉටු කරන ප්‍රධාන මාර්ගය අනුදැනුම් ලිපියයි.

ඇතිවිය හැකි වංචාවලින් තම ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා බැංකුවෙන් සහතික කරන ලද ගනුදෙනුකරුගේ අත්සන සහිත හැඳින්වීමේ ලිපියක් ද අනුදැනුම් ලිපිය සමඟ නිකුත් කරනු ලැබේ. මුදල් ලබාගැනීම අවශ්‍ය වූ විට මේ ලිපි දෙක ම එකවර ඉදිරිපත් කළයුතුය.

(සංස්කරණය:1963)