අනුපලබ්ධිය (බෞද්ධ)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අසවල් දේ අසවල් තැන හෝ අසවල් වේලායෙහි තිබේ යයි අප දැන ගන්නේ ප්‍රත්‍යක්ෂ ආදි භාවසාධක ප්‍රමාණ මඟිනි. එසේ ම ඒ ඒ දේ එතැන හෝ ඒ වේලාවෙහි නැතැයි දැනගනු පිණිස අභාවසාධක ප්‍රමාණය ද ඉවහල් වේ. න්‍යාය හා සංඛ්‍යාමය මත අනුව අභාවය ප්‍රත්‍යක්ෂ වෙයි; ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයට ම විෂය වෙයි. භාට්ටමීමාංසකයන්ට හා වේදාන්තීන්ට අභාවය අවබෝධ වන්නේ අනුපලබ්ධි නම් අමුතු ම ප්‍රමාණයක් මඟිනි. අභාවය වටහා ගනු සඳහා වේදාන්ත හා මීමාංසකභාට්ට සාම්ප්‍රදායිකයෝ අනුපලබ්ධි නම් ප්‍රමාණයක් අමුතුවෙන් පිළිගනිති. එසේ ද වුවත් අභාවය අනුමාන ප්‍රමාණයෙන් දැනෙයි යනු බෞද්ධ මතයයි.

බෞද්ධයෝ 1. ස්වභාව 2. කාර්‍ය්‍ය 3. අනුපලබ්ධි යයි අනුමානයට හේතු තුනක් දක්වති. එයින් (1) ස්වභාව හේතු (2) කාර්‍ය්‍ය හේතු යන මේ දෙක භාවාත්මක වස්තු වටහා ගැනීමට උපයෝගී වන බැවින් භාවසාධකයෝය. අනුපලබ්ධි හේතුව අභාවය වටහා ගැනීමට උපයෝගී වන බැවින් අභාව සාධකයි. බෞද්ධයන් අනුමාන ප්‍රමාණය ම භාව අභාව වස්තු වටහා ගැනීම සඳහා උපයෝගී කරගන්නා හෙයින් අමුතුවෙන් අනුපලබ්ධිය නම් ප්‍රමාණයක් ඔවුන්ට අවශ්‍ය නොවෙයි. බෞද්ධ මතය අනුව අනුපලබ්ධිය අනුමාන ප්‍රමාණයේ ම අංගයකි.

පෙනෙන දෙයක් නොපෙනෙයි නම් එය අනුපලබ්ධියයි. පෙනීමට ගොදුරු නොවන හෙවත් අතීන්ද්‍රිය කිසිවක් (ඉන්ද්‍රියට විෂය නොවන යමක්) නුදුටු පමණින් නැතැයි නිශ්චය කළ නොහැකිය. එහෙයින් අනුපලබ්ධියේ ගෝචරය (සීමාව) සේන්ද්‍රිය වස්තූන්ට හෙවත් ඉන්ද්‍රිය ගෝචරවන වස්තූන්ට පමණක් සීමා වේ. එය සනිදර්ශන රූපය කෙරෙහි පමණයි. එ ද දේශයෙන් හා කාලයෙන් ඉවත් නොවූ කල්හි පමණයි. එ ද අධිපති, සහකාරි ආදි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට ඉවහල් වූ අවශේෂ කාරණ සාමග්‍රිය ඇති කල්හි පමණයි. "මේසය මත අනිකුත් පොත් තිබේ. ශබ්දකෝෂය නැත. ශබ්දකෝෂය ඇති නම් අනිකුත් පොත් මෙන් එය ද පෙනිය යුතුයි. එහෙත් එය නො පෙනේ". එසේ ශබ්දකෝෂය නොපෙනීම ම හෙවත් අනුපලම්භය ම අභාවයයි. කෝෂයාගේ අභාවය එතැනට කිසියම් ප්‍රමාණයක් මඟින් ගෙනැවිත් තැන්පත් කළ දෙයක් නොවේ. ඉබේ ම පහළ වූවකි. අනුපලබ්ධිය මඟින් එතැන කෙරෙන්නේ එම අභාවය පිළිබඳ ව්‍යවහාරය ඇතිකිරීමයි. ව්‍යවහාරය වනාහි (1) "ශබ්දකෝෂය එහි නැත" යන ඥානාත්මක ව්‍යවහාරයයි, (2) "ශබ්ද කෝෂය එහි නැත" යන වචනාත්මක ව්‍යවහාරය යි, (3) ශබ්ද කෝෂය නැති බැව් නිශ්චිත නිසා ඒ ගැනීමට ශරීරය නොවෙහෙසීම නමැති කායික ව්‍යවහාරය යි ත්‍රිවිධය. මේ ත්‍රිවිධ ව්‍යවහාරය ඇති කෙරෙන්නේ අනුපලබ්ධිය මඟිනි (ප්‍රමාණ වාර්තික 4. 264-65).

වර්‍තමාන කාලයට හා අතීත කාලයට අයත් අනුපලබ්ධිය නිශ්චයාත්මකය. අනාගතය පිළිබඳ අනුපලබ්ධිය නිශ්චයාත්මක නොවේ. අනාගතයෙහිත් ඒ දෙය එහි නොවෙයි යයි නිශ්චය කළ නොහැකියි. අතීතය පිළිබඳව ඒ දේ එහි නොතිබිණැයි නිශ්චය වන්නේ ද ඒ නොතිබීම ගැන අමතක නොවූ කල්හි පමණි.

බෞද්ධයන් අනුමාන ප්‍රමාණයෙහි ලා සලකන අනුපලබ්ධිය එකොළොස් ආකාර වෙයි. එනම්: 1. ස්වභාවානුපලබ්ධි 2. කාර්‍ය්‍යානුලබ්ධි 3. ව්‍යාපකානුපලබ්ධි 4. ස්වභාවවිරුද්ධෝපලබ්ධි 5. විරුද්ධකාර්යෝපලබ්ධි 6. විරුද්ධව්‍යාප්තෝපලබ්ධි 7. කාර්‍ය්‍යවිරුද්ධෝපලබ්ධි 8. ව්‍යාපකවිරුද්ධෝපලබ්ධි 9. කාරණානුපලබ්ධි 10. කාරණවිරුද්ධෝපලබ්ධි 11. කාරණවිරුද්ධකාර්‍යෝපලබ්ධි යනුවෙනි.

1. ස්වභාවානුපලබ්ධිය.- මෙහි දුමක් නැත. පෙනීම ඇතිකරවන සියලු හේතු තිබිය දීත් (පෙනෙන වස්තුවක් වූ දුම) නොපෙනෙන හෙයිනි.

2. කාර්‍ය්‍යානුපලබ්ධිය.- දුම් ගැසීමට තරම් වූ ධූමකාරණ (ගින්නක්) මෙහි නැත. දුම් නැති හෙයිනි.

3. ව්‍යාපකානුපලබ්ධිය.- මෙහි ශිංශපා (නම් ගස්වර්ගය) නැත. ගස් නැති හෙයිනි.

4. ස්වභාවවිරුද්ධෝපලබ්ධිය.- මෙහි ශීත ස්පර්ශය නැත. ගිනි ඇති හෙයිනි.

5. විරුද්ධ කාර්යෝපලබ්ධිය.- මෙහි ශීත ස්පර්ශයක් නැත. දුම ඇති හෙයිනි.

6. විරුද්ධව්‍යාප්තෝපලබ්ධිය.- අනිත්‍ය වූ වස්තුවක පවා විනාශය ඒකාන්තයෙන් සිදු නොවෙයි. බාහිර හේතු අපේක්ෂා කරන හෙයිනි.

7. කාර්‍ය්‍යවිරුද්ධෝපලබ්ධිය.- ශීතයක් ඇති කිරීමට තරම් වූ ශීතකාරණ මෙහි නැත. ගිනි ඇති හෙයිනි.

8. ව්‍යාපකවිරුද්ධෝපලබ්ධිය.- මෙහි හිම ස්පර්ශයක් නැත. ගිනි ඇති හෙයිනි.

9. කාරණානුපලබ්ධිය.- මෙහි දුමක් නැත. ගිනි නැති හෙයිනි.

10. කාරණවිරුද්ධෝපලබ්ධිය.- මොහුට ශීත නිසා වූ ලොමුදහගැනීම් ආදියක් නැත. අසල විශේෂ ගින්නක් ඇති හෙයිනි.

11. කාරණවිරුද්ධකාර්යෝපලබ්ධිය.- මේ ප්‍රදේශයෙහි විශේෂ ලොමුදහගැනීම් ආදිය සහිත වූ පුරුෂයෙක් නැත. දුමක් ඇති හෙයිනි.

කාර්‍ය්‍යානුපලබ්ධිය ආදි වූ අනුපලබ්ධි ප්‍රයෝග දහය ම (2-11) ස්වභාවානුපලබ්ධියට ම ඇතුළත් වන බව ධර්මකීර්ති ස්වාමීන්ද්‍රයෝ පවසති (ඉමෙ සර්‍වෙ කාර්‍ය්‍යානුපලබ්ධ්‍යාදයො දශානුපලබ්ධි ප්‍රයො'ගාඃ ස්වභාවානුපලබ්ධෞ සංග්‍රහමුපයාන්තින්‍යායබින්දු II පරිච්ඡේදය). මෙහි කාර්‍ය්‍ය-අනුපලබ්ධි, ව්‍යාපක-අනුපලබ්ධි, කාරණ-අනුපලබ්ධි යන හේතූහු (ගිනි ආදි) එක වස්තුවක් නැතිවීම හේතුකොටගෙන (දුම ආදි) තව වස්තුවක් නැතැයි දක්වත්. ස්වභාව විරුද්ධ උපලබ්ධි, විරුද්ධකාර්‍ය්‍ය - උපලබ්ධි, විරුද්ධව්‍යාප්ති-උපලබ්ධි, කාර්‍ය්‍යවිරුද්ධ - උපලබ්ධි, ව්‍යාපකවිරුද්ධ-උපලබ්ධි, කාරණවිරුද්ධ - උපලබ්ධි, කාරණවිරුද්ධ කාර්‍ය්‍ය-උපලබ්ධි යන හේතූහු එක් වස්තුවක් ඇතිවීම නිසා තවත් වස්තුවක් නැති බව කියත්. අවශ්‍ය වූ වස්තුවකගේ අනුපලබ්ධිය (නැති වීම) මෙන් ම අනවශ්‍ය වස්තුවකගේ උපලබ්ධිය (ඇති වීම) ද අනුපලබ්ධියක් (නැතිවීමක්) ම හඟවයි. එබැවින් මෙහි උපලබ්ධි අනුපලබ්ධි යන වචන දෙක යොදා දෙඅයුරින් ම අනුපලබ්ධියක් ම හෙවත් අභාවයක් ම සිද්ධ කරන්නේ වෙයි.

වේදාන්ත: ශංකරාචාර්‍ය්‍යමතය අනුව ප්‍රත්‍යක්ෂ, අනුමාන, ශාබ්ද යයි ප්‍රමාණ තුනක් වෙයි. පසුව සිටි වේදාන්තාචාර්‍ය්‍යවරු උපමාන, අර්ථාපත්ති, අනුපලබ්ධි යයි තවත් ප්‍රමාණ තුනක් ගැන සඳහන් කළහ. මේ ප්‍රමාණ අතර අනුපලබ්ධි ප්‍රමාණය උපයෝග කරගන්නේ ප්‍රත්‍යක්ෂයට විෂය වන හෙවත් යෝග්‍ය වන වස්තුවක අභාවය වටහා ගැනීමටය. යෝග්‍යානුපලබ්ධිය යනු ද අනුපලබ්ධියට පර්‍ය්‍යාය නාමයකි. මේ යෝග්‍ය අනුපලබ්ධිය බෞද්ධයන් අනුමාන විෂයෙහි ලා සැලකූ දෘශ්‍යඅනුපලම්භය මය.

"මනා සේ ආලෝකවත් වූ මේ බිමෙහි කළයක් ඇත්නම් අනිකුත් දේ මෙන් ම පෙනිය යුතුය" යන මේ තර්කයෙන් පැහැදිලි වන්නේ එවැනි බිමක කළයක් නැත යනුයි. එම අවබෝධය ඇති වන්නේ අනුපලබ්ධි ප්‍රමාණය මගිනි. මේ අවබෝධය ඉන්ද්‍රියප්‍රත්‍යක්ෂයක්-චක්ෂුරාදි ඉන්ද්‍රියයකින් ලැබෙන ප්‍රත්‍යක්ෂඥානයක්-නොවෙයි. මෙය හුදෙක් අභාවය පිළිබඳ ඥානයකි. අභාවය ඉන්ද්‍රිය ගෝචර නොවන්නක් හෙයින් එය අවබෝධ කළ හැක්කේ අනුපලබ්ධි ප්‍රමාණයෙනැයි භාට්ටමීමාංසකයන් මෙන් ම වේදාන්තීහු ද පවසති. අභාවඥානය පිළිබඳ ව්‍යාප්ති සම්බන්ධයක් නො පෙනෙන හෙයින් අනුපලබ්ධිය අනුමාන ප්‍රමාණයෙහි ලා සලකන බෞද්ධ දාර්ශනිකයන්ගේ මතයට වේදාන්තීහු ද භාට්ටමීමාංසකයන් මෙන් ම පටහැණි වෙති. අභාවය පිළිබඳ ඥානයට අසාධාරණ කාරණය වන්නේ අනුපලබ්ධි ප්‍රමාණය ම යයි ද ඔවුහු පවසන්නාහ.

පූර්වමීමාංසා: කුමාරිලභට්ට හා ප්‍රභාකර යන ආචාර්‍ය්‍යවරයන්ගේ නාමයෙන් පූර්වමීමාංසා දර්ශන සම්ප්‍රදාය දෙකකි. එයින් කුමාරිලභට්ට සම්ප්‍රදාය පිළිගන්නවුන්ට භාට්ට යයි ද ප්‍රභාකර සම්ප්‍රදාය පිළිගන්නවුන්ට ප්‍රභාකර යයි ද ව්‍යවහාර කරනු ලැබෙයි. මීමාංසා ජෛමිනීසූත්‍ර අනුව ප්‍රත්‍යක්ෂ, අනුමාන, ශාබ්ද යනුවෙන් ප්‍රමාණ තුනකි. ප්‍රභාකරාචාර්‍ය්‍යවරයා උපමාන, අර්ථාපත්ති යන දෙක ද ප්‍රමාණ ලෙස පිළිගත්තේය. කුමාරිලභට්ටාචාර්‍ය්‍යවරයා අනුපලබ්ධිය සවන ප්‍රමාණය ලෙස පිළිගනියි. එහෙයින් ම අනුපලබ්ධිය ප්‍රමාණයක් ලෙස භාට්ට මීමාංසකයන් විසින් සලකනු ලැබෙයි. දෘශ්‍යා දර්ශන, යෝග්‍යානුපලම්භ අභාව යනු ද අනුපලබ්ධි ප්‍රමාණයට යෙදෙන පර්යාය නාමයි. ප්‍රත්‍යක්ෂ, අනුමාන, උපමාන, ශාබ්ද, අර්ථාපත්ති යන ප්‍රමාණ පහ ම උපයෝග නොවන තැන අනුපලබ්ධි ප්‍රමාණය උපයෝග කරනු ලැබෙයි. "යම් තැනෙක ප්‍රත්‍යක්ෂාදි ප්‍රමාණයන්ට ආලම්බනයක් නොලැබෙයි නම් එතැන අනුපලබ්ධි ප්‍රමාණයට ඉඩ සැලසෙයි" යනු භාට්ට මතයයි. එබැවින් ප්‍රත්‍යක්ෂාදි ප්‍රමාණ පහ නොපවත්නා තැන යමක් වටහා ගතයුත්තේ අනුපලබ්ධි හෙවත් අනුපලම්භ ප්‍රමාණයෙනි. අනුපලබ්ධි ප්‍රමාණයට විෂය වන ප්‍රමේය හෙවත් ආලම්බනය නම් නාස්තිත්වයයි-නැති බවයි; එනම් අභාවයයි. අනුපලබ්ධි විෂයෙහි ප්‍රමාණාභාවය ඇත්තේ යෝග්‍යානුපලම්භයට හෙවත් දෘශ්‍යාදර්ශනයටයි (අනුපලබ්ධිය-වේදාන්ත බ.)

හැම දෙයක් ම සද් හෝ අසද් වශයෙන් දෙවැදෑරුම් වෙයි. පොතක් ගැන සිතමු. පොත මේසය මත තිබෙයි. පොත එහි තිබෙන්නේ සද් (විද්‍යමාන) භාවයෙන්ය. එම පොත එකෙණෙහි ම මේසයෙන් බැහැර තැන්වල අසද් (අවිද්‍යමාන) ය; ඒ තැන්වල පොත නැති හෙයිනි. මේසයෙන් බැහැර තැන්වල ඇත්තේ පොතේ අසද්භාවයයි; හෙවත් අභාවයයි. "මේසය මත පොත තිබෙයි" නම් ඒ බව ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයෙන් ම අවබෝධ වෙයි. ප්‍රත්‍යක්ෂයෙන් මෙන් ම අනුමාන, ශාබ්ද, උපමාන, අර්ථාපත්ති යන ප්‍රමාණයන්ගෙන් ද වස්තුවක සද් අංශය ගැන විතරක් ම අවබෝධය ලද හැකිය යනු භාට්ටමීමාංසක මතයයි. එහෙත් යමක අසද් අංශය ගැන වටහා ගත හැක්කේ අනුපලබ්ධි ප්‍රමාණයෙනැයි භාට්ටයෝ පවසත්. "යමක අභාවය ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ වේ" යනු න්‍යාය හා සාංඛ්‍ය මතයයි. භාට්ටමීමාංසකයෝ අනුපලබ්ධි ප්‍රමාණයෙන් මිස සෙසු ප්‍රමාණයකින් එය අවබෝධ නොවේ යයි න්‍යාය සාංඛ්‍ය මතයට විරුද්ධව මෙසේ තර්ක කරත්: චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට හැම විට ම ගෝචර වන්නේ-අරමුණු වන්නේ-සද්වස්තු හෙවත් භාවාත්මක දේ පමණයි; වර්තමාන කාලයට අයත් දේ විතරයි. එහෙත් අසද් දෙයක්-නැති දෙයක්-ඉන්ද්‍රියයන්ට ගෝචර වන්නේ නැත. 'සුදු ඇඳගත් උස් වූ රතුපැහැ ඇති කිසිවෙක් මේ ගෙදරට මථුරාපුරයෙන් පැමිණ සිටියේ දැ'යි යමකු උදය වරුවේ ගෙයි සිටිය කෙනකුගෙන් ප්‍රශ්න කළහොත් එයට 'නැත, එවැන්නෙක් පැමිණ නොසිටියේය'යි ගෙහි වැසියා ඔහුට පිළිතුරු දෙන්නේය. මෙසේ ඔහු කෙරෙහි ඇති වූ මෙහි එවැන්නෙක් නොසිටියේය යන අභාවාත්මක ඥානය ඉඳුරන් නිසා ඇති වූ දැනීමක්, වැටහීමක් නොවෙයි. "යමක අභාවය පිළිබඳ ඥානය ප්‍රත්‍යක්ෂයෙන් නොලැබෙතැ"යි භාට්ට මීමාංසකයන් සලකන බව මෙයින් පැහැදිලියි. එසේ ම "මෙහි එවැන්නෙක් නොසිටියේය" යන ඥානය ස්මරණයෙන් කළ ප්‍රකාශයක් බව ද ඔවුහු නොඅදහති. එහි ස්මරණයට මුල් වූ ඥානයක්-අවබෝධයක්-ඇති නොවූ හෙයිනි. මෙසේ අභාවය පිළිබඳ අවබෝධය න්‍යාය සාංඛ්‍යවාදීන්ට මෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයෙන් සැලසෙතැයි නොපිළිගන්නා භාට්ටමීමාංසකයෝ එය බෞද්ධයන් මෙන් අනුමානයෙන් සැලසෙතැයි ද නොපිළිගනිති. අනුමාන ප්‍රමාණයට අවශ්‍ය වූ ව්‍යාප්ති ඥානයක් එහි දී නොලැබෙන හෙයිනි.

කුමාරිලභට්ට පඬිතුමා අභාවය වටහා ගැනීමට අනුපලබ්ධිය නමින් අමුතු ප්‍රමාණයක් අවශ්‍ය යයි පිළිගත් නමුත් ප්‍රභාකරාචාර්‍ය්‍යවරයා එබඳු ප්‍රමාණයක් අවශ්‍ය සේ නොසිතයි. "බිම මත කළයක් නැත" යනාදි තැන්වල "බිම පිළිබඳ දැනුම මිස අභාව ඥානයක් නැතැ"යි ද "නැති අභාවයක් අවබෝධකර ගැනීම සඳහා අනුපලබ්ධි නම් ප්‍රමාණයක් අවශ්‍ය නැතැ"යි ද එතුමා පවසයි.

කර්තෘ:ඇස්. අබේසිංහ

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුපලබ්ධිය_(බෞද්ධ)&oldid=1832" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි