අනුපූර්වකථා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දානකථා, ශීලකථා, ස්වර්ගකථා, මාර්ගකථා යයි මෙසේ අනුපිළිවෙළින් පැවැති කථාව අනුපූර්වකථා නමි. "අනුපුබ්බකථන්ති දානානන්තරං සීලං සීලානන්තරං සග්ගං සග්ගානන්තරං මග්ගන්ති එවං අනුපටිපාටිකථං" (පපඤ්චසූදනී උපාලි සූත්‍රවර්ණනා). මේ වනාහි වේනෙය්‍ය පුද්ගලයන් හික්මවනු සඳහා බුදුරදුන්ට ආවේණික වූ දේශනා මාර්ගයෙකි. තවද "ආනුපුබ්බීකථං කථෙසි" යනු සඳහා (ධම්පියා අටුවා ගැටපදයෙහි) "අනුපුබ්බෙන කයිරමානා කථා: වවට්ටජ්ඣාසයහට දාන, සීලකථා, සග්ගකථා, විවට්ටජ්ඣසයහට කාමාදීනව නෙක්ඛම්මානිසංස චතුසච්චකථා ආනුපුබ්බීකථා නම්"යී ආනුපූර්වීකථාව විස්තර කරන ලද්දේය. බුදුන් කරා පැමිණි නවීනයනට පිළිවෙළකථා වදාරනු බුදුනට ආවේණිකය. සත්ත්වයන් කෙරෙහි කිසිවෙක් වට්ටයෙහි (භවයෙහි) කළ අදහස් ඇතියහ. කිසිවෙක් විවට්ටයෙහි (නිවනෙහි) කළ අදහස් ඇතියහ. වට්ටජ්ඣාසය සත්නට සුව පිණිස දානකථා, සීලකථා හා සග්ගකථා ද විවට්ටජ්ඣාසය සත්නට සුව පිණිස කාමාදීනව හා නෙක්ඛම්මානිසංස ද වදාරති. අනුපූර්වකථාශ්‍රවණයෙන් කල්‍ය (කෙලෙස් රොවින් අරෝග) වූ සිත් ඇති බවට පැමිණියහු දැන බුදුවරුන්ගේ සාමුක්කංසික දේසනා නම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය දේශනා කෙරෙති. සාමුක්කංසික දේශනා අසා කිසි කෙනෙක් මගපල පිළිවිදිති. කිසි කෙනෙක් සසුන්හි පැවිදි උපසපන් අරයති. මේ අනුපූර්ව කථා දේශනා කිරීමෙහි ඵලයයි. එහි දානකථා යනු "මේ දානය නම් සුවයට නිදාන යැ, සැපතට මුල යැ, භෝගයන්ට පිහිට යැ, විසමගතයාහට ත්‍රාණයැ, ලෙන යැ, පරමප්‍රතිෂ්ඨා යැ, මෙලෝ පරලෝ දෙක්හි දානය බඳු උපකාරයෙක් පිහිටෙක් අරමුණෙක් නැත. තවද මේ දානය උපකාරාර්ථයෙන් රුවන්මුවා සිහසුනක් වැන්න, ප්‍රතිෂ්ඨාර්ථයෙන් මහ පොළොව වැන්න, ආලම්බනාර්ථයෙන් අත්ලන රැහැනක් වැන්න, දුක් තරණය කරනුයෙන් නැවක් වැන්න, අස්වසනුයෙන් සෙබළකු වැන්න, බිය දුරු කරනුයෙන් සකස්කළ නුවරක් වැන්න, මසුරු මල ආදියෙන් නොතැවැරුණු හෙයින් පියුමක් වැන්න, මසුරුමල නමැති මැස්සන්ට ගින්නක් වැන්න, තැති නොගන්නා හෙයින් සිහ රජකු වැන්න, බලවත් හෙයින් ඇත් රජකු වැන්න, ක්ෂේමභූමියට පමුණුවන හෙයින් වලාහක අශ්වරාජයකු වැන්න, මේ දානය නම් මා විසින් ගිය මග යැ, මාගේ මැ වංශ යැ, දසපැරුම්පුරන මා විසින් වේලාම, මහාගෝවින්ද, මහාසුදර්ශන, මහා විශ්වන්තර අත්බැව්හි නොයෙක් මහදන් පවත්වන ලද. සා වැ ඉපිද දිලියෙන ගිනිමැදට පැන යාචකයන් සිත් ගන්නා ලද. තවද දානය ශක්‍ර, මාර, බ්‍රහ්ම, චක්‍රවර්ත්ති සම්පත් ද, ශ්‍රාවකබෝධිඥානය, ප්‍රත්‍යෙක බෝධිඥානය හා අභිසම්බෝධිඥානය ද දෙන්නේය" යනාදි දානගුණ පිළිබඳ කථා යි.

සීලකථා යනු 'මේ ශීලය නම් ප්‍රතිෂ්ඨා යැ, ආලම්බන යැ, රක්ෂාස්ථාන යැ, මේ ශීලය මාගේ වංශ යැ, මම සක්පල් නාරජ කලැ, භූරිදත්ත නාරජ කලැ, චම්පෙය්‍ය නාරජ කලැ සීලව නාරජ කලැ, මාතුපෝසක ඇත්රජ කලැ, සදත් ඇත්රජ කලැ යනාදි අනන්ත වූ ආත්මභාවයන්හි සිල් පිරූයෙමි; තව ද මෙලෝ පරලෝ සැපතට ශීලය බඳු ආශ්‍රයෙක්, ශීලය බඳු පිහිටෙක්, ශීලය බඳු ආලම්බනයෙක්, රක්ෂාස්ථානයෙක් නැත, සිල්බරණ බඳු අලංකාරයෙක් නැත, ශීලපුෂ්පය බඳු පුෂ්පයෙක් නැත, සිල්සුවඳ බඳු සුවඳෙක් නැත, සිල්බරණින් සැරැසුණු සිල්කුසුම් පැලඳ සිටි සිල් සුවඳ අලෙව් කළ තැනැත්තේ දෙවියන් සහිත ලෝකයා බලමින් තෘප්තියට නො පැමිණේය’ යි මේ ආදි ශීලගුණ ප්‍රතිසංයුක්ත වූ කථාය. තව ද මේ සීලය නිසා ස්වර්ගය ලැබේ යයි දක්වන්නට ශීලයට අනතුරුව ස්වර්ගකථාව වදාරන සේක.

ස්වර්ගකථා යනු මේ ස්වර්ගය නම් ඉෂ්ට යැ, කාන්ත යැ, මනවඩන්නේ යැ, මෙහි නිත්‍යයෙන් ක්‍රීඩා වෙයි, නිත්‍යයෙන් සම්පත් ලැබෙයි, චාතුර් මහාරාජිකයෙහි දෙවියෝ අනූලක්ෂයක් හවුරුදු දිව සැපත් විඳිති, තවුතිසාවැසි දෙවියෝ තුන්කෙළ සැටලක්ෂයක් හවුරුදු දිවසැපත් විඳින්නාහ, යනාදි වූ ස්වර්ගයෙහි ගුණ ප්‍රකාශ වන කථායි. මෙසේ ස්වර්ග කථාවෙන් පොලොබවා අනතුරුව ඇතකු සරසා ඔහුගේ සොඬය කපාදමන්නාක් මෙන් මෙසේ සම්පත් ඇති ස්වර්ගයත් අනිත්‍යය, සදාකල් නොපවත්නේය, එහි ඡන්දරාගයෙක් නොකටයුත්තේ ය"යි දක්වනු සඳහා "කාමයෝ මඳ වූ අස්වැසිලි ඇත්තාහුය" යනාදින් කාමයන්ගේ දෝෂය ද, පහත්බව ද, ලාමක බව ද, කෙලෙසිලි බව ද, වදාරා යළි මාර්ගකථා හෙවත් නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් වදාරන සේක.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුපූර්වකථා&oldid=1837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි