අනුභාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භාවප්‍රභේදයන් වන විභාව, අනුභාව, ව්‍යභිචාරිහාව යන මොවුන්ගේ සංයෝගයෙන් රස දනවනු ලැබේ යයි භරතයන්ගේ නාට්‍යශාස්ත්‍ර නම් ග්‍රන්ථයෙහි කියැවේ. නාට්‍යයක් බැලීමෙහි දී හෝ සාහිත්‍ය නිබන්ධයක් කියැවීමෙහි දී හෝ ශෘංගාර, හාස්‍ය, කරුණාදි යම්කිසි රසයක් තත්වානුකූලව විඳිය හැකි වන්නේ උචිත ලෙස දනවන ලද මේ භාවභේදයන් ස්ථිරභාවය හෙවත් රසය දනවන ස්ථායිභාවය ලෙස කුළුගැන්වෙන ආකාරයටය.

නාට්‍යයක් නරඹන්නන් තුළ ශෘංගාරාදි රසයක් දනවනු ලබන අයුරු මෙසේ විස්තර කෙරේ: ශෘංගාර රසයේ ආලම්බන විභාව වශයෙන් ගැනෙන ස්ත්‍රීපුරුෂාදි නාට්‍යපාත්‍රයන් ලවා, උද්දීපන විභාව වශයෙන් දැක්වෙන මල්වතු, ලියමඬු, වසත්සිරි, සඳපහන වැනි පසුබිමක දී, අනුභාවයන් වූ ප්‍රේමාලාප, අංගවිකාර ආදි අභිනය කරවනු ලැබේ. ඒ සමඟ ම මිනිස් සිතෙහි පවත්නා රති හාස්‍ය ශෝකාදි ස්ථායිභාවයන්ට අනුරූප වූත් බෙහෙවින් ඊට සාධාරණ වූත් ලක්ෂණ ඇති නිර්වේද ග්ලානි ආදි ව්‍යභිචාරිභාවයන්ගේ ද මෙහෙයීම මගින් පූර්වෝක්ත ස්ථායිභාවයන් උත්තේජනය කිරීමෙන් රසය දැනවේ. නාට්‍යයක් මගින් වේවා කාව්‍යයක් මගින් වේවා යථෝක්ත භාව විශේෂයන් සංයෝග කොට නිරූපණය කැරැවීමෙහි දී ප්‍රේක්ෂකයා හෝ පාඨකයා තුළ ඒ ප්‍රස්තුත රසය ජනිත කෙරේ.

ස්ථායිභාවය කවරක් දැයි අවබෝධ කරගැනීමට විභාවය උපයෝගී වන අතර අනුභාවය නිසා එය අපට විඳිය හැකිවේ. ආලම්බන විභාව මගින් සහෘදයන්ගේ සිත තුළ හටගත් රති ආදී ස්ථායිභාව පිටතට ප්‍රකාශ කරනුයේ අනුභාව මගිනි. "අනු පශ්චාද් භාව උත්පත්තිර් යෙෂාම්", "අනුභාවයන්තීති වා ව්‍යුත්පත්තෙඃ" යනුවෙන් භාවයට පසුව ඇති වන භාවය අනුභාව නමැයි ද භාවය වඩානුයි හෝ අනුභාව නමැයි ද රසගංගාධරයෙහි සඳහන් වෙයි.

"අනුභාවො විකාරස්තු - භාවසංසූචනාත්මකඃ" යනුවෙන් සිතෙහි පවත්නා හෝ හටගන්නා භාවයන් හඟවන අංග විකාරාදිය අනුභාව නමැයි දශරූපකයෙහි දැක්වේ. "යො සියා බොධකො තෙසමනුභාවොයමීරිතො" (නළුවාගේ හෝ කවියාගේ ස්ථායිභාව ආදීන්ගේ අවබෝධය ඇති කරන කායික වූ ද වාචසික වූ ද යම් ව්‍යාපාරයක් වෙයි ද එය අනුභාව නමි) යනුවෙන් සුබෝධාලංකාරයෙහි ද සඳහන් වන්නේ මේ අදහස මය.

කර්තෘ:ජේ. තිලකසිරි

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුභාව&oldid=1840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි