අනුමාන

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විවිධ භාරතීය දර්ශනයන්හි සඳහන් වන අනුමානයන් පිළිබඳ විස්තර මේ ලිපියෙහි වෙන් වශයෙන් ඇතුළත් වේ.

බෞද්ධ: ප්‍රත්‍යක්ෂ නොවන දේ දැනීම අනුමානයේ ප්‍රයෝජනය බව තාර්කිකයෝ කවුරුත් පිළිගනිති. බෞද්ධයනට ද එය එසේ ම ය. බෞද්ධයන් මාර්ගඵල නිර්වාණ ප්‍රත්‍යක්ෂ කරගන්නේ පළමුකොට ඒ පිළිබඳව අනුමානයෙන් දැනගෙන, පිළිගෙන ගුණ නුවණ වවා වඩා ගෙන ක්‍රියා කරමින්ය. “ත්‍රිරූපලිඞ්ගයෙන් අනුමේයාර්ථය (හෙවත් අනුමාන කළ යුතු අර්ථය) දැනීම අනුමාන” යි. “පර්වතය ගිනි ඇත්තකි; දුම ඇති හෙයිනි” (පර්වතො වහ්නිමාන්, ධූමාත්) යන මේ වාක්‍යයෙහි ලිංගය (හේතුව) දුමයි. අනුමේයාර්ථය නම් ගිනි ඇති පර්වතයයි. හැම ලිංගයක් ම ස්වභාවයෙන් රූප තුනකින් යුක්ත විය යුතුය. හේතුව යොදන්නට පෙර මෙකී රූප (ලක්ෂණ) තුන ගැන අපට නිශ්චිත දැනීමක් තිබිය යුතුය. හේතුවට (ලිංගයට) අයත් රූප තුන නම්:

1. හේතුව පක්ෂයෙහි අවශ්‍යයෙන් ම තිබීම

2. හේතුව සපක්ෂයෙහි අවශ්‍යයෙන් ම තිබීම හා

3. හේතුව විපක්ෂයෙහි කොහෙත් ම නො තිබීමයි.

මෙය වෙනත් ලෙසකින් කියතොත් කියයුත්තේ 1. පක්ෂධර්මතා රූපය (හෙවත් හේතුව පක්ෂයෙහි තිබීම) 2. අන්වය රූපය (හෙවත් හේතුව සපක්ෂයෙහි තිබීම) 3. ව්‍යතිරේක රූපය (හෙවත් හේතුව කොහෙත් ම විපක්ෂයෙහි නො තිබීම) කියාය. මෙකී ත්‍රිරූප හේතුව තුළ ව්‍යාප්තිය ද ගැබ්ව පවතී. විපක්ෂයෙන් සහමුලින් ම ඉවත් වී ව්‍යාප්ත සම්බන්ධයෙන් සාධ්‍යය සමඟ බැඳී සපක්ෂයෙහි පවත්නා වූ හේතුව පක්ෂයෙහි තිබෙනු දුටු කල එම පක්ෂය සාධ්‍යධර්මයෙන් යුක්ත බව නිසැකව වැටහී යන්නේය (අනුමාන - න්‍යාය බලනු). ඉහත සඳහන් අනුමාන වාක්‍යයෙහි විපක්ෂය වූ ජලාශයෙන් (විලින්) සහමුලින් ම ඉවත්වී සපක්ෂය වූ මුළුතැන්ගෙයි සාධ්‍යධර්මය වූ ගින්න සමඟ බැඳී පවත්නාවූ දුම නමැති හේතුව පක්ෂ නමැති පර්වතයෙහි පෙනෙන්නේ නම් පර්වතයෙහි නිශ්චයෙන් ම ගිනි ඇතැයි හැඟෙයි. අනුමානයට අසාධාරණ කාරණය වන්නේ ලිංගය (හේතුව) යි. අනුමානය වනාහි නිසැක නිවැරදි දැනීමකි. එය අංශ දෙකකින් යුක්තය.

යෝගාචාර බෞද්ධ සම්ප්‍රදායට අනුව ඥානය සාකාරයි. හැම දැනුමක ම හෙවත් සිතක ම ඒ සිතට අරමුණු වූ වස්තුව හා සමානතාවක් පවතී. ඒ සමානතාව ම ආකාරයයි. එම සමානකම ඒ අරමුණ ගත් සිත අනිකුත් අරමුණු ගත් සිත්වලින් වෙන් කරයි; නැතහොත් පැහැදිලිව ම මේ අසුවල් සිත යයි පෙන්වයි. ඒ නිසා සිතෙන් අභින්න නුවූ, එහෙත් ආලම්බනය (ආරම්මණය) හා සමාන ආකාරයක් පෙන්වන්නාවූ එම සිත ප්‍රමාණයක් වශයෙන් සලකනු ලබයි. අරමුණ ගත් සිත ම අනුමාන ප්‍රමාණයේ ඵලය වශයෙන් සලකනු ලැබේ. (හේතු හා ව්‍යාප්ති බ.) මේ ස්වාර්ථානුමාන ලක්ෂණයි.

දිඬ්නාගමතය අනුව “තමා දත් දෙය (වචනයෙන්) පැවසීම පරාර්ථානුමානය” යි. ධර්මකීර්තිමතය අනුව “ත්‍රිරූප ලිංගය (වචනයෙන්) පැවසීම පරාර්ථානුමානය වෙයි.” වචන මෙසේ වෙනස් වුව ද මේ ලක්ෂණ දෙකෙහි ම අදහස එක ම ය. බෞද්ධයෝ න්‍යායවෛශේෂිකයන් මෙන් පරාර්ථානුමානයට අවයව පහක් අවශ්‍ය යයි නොසලකති. බෞද්ධ න්‍යායයෙහි ඇත්තේ අවයව දෙකක් හෝ තුනකි. යෝගාවචර බෞද්ධ සම්ප්‍රදායට අභිමත අවයව සංඛ්‍යාව දෙකකි. එනම් උදාහරණ හා නිගමන යන දෙකයි (වාදන්‍යාය). වසුබන්ධු මතය අනුව ද අවයව දෙකකි. එහෙත් මාධ්‍යමික බෞද්ධ සම්ප්‍රදාය අනුව අවයව තුනක් සම්මතව පැවති බව පෙනේ. (1) උදාහරණයක් මුලින් දක්වා නැවත උපනය ද, එසේ නැති නම් (2) උපනය කලින් දක්වා නැවත උදාහරණය ද යන දෙවිධියට ම අවයව යෙදිය හැකිය. (1) කෘතක වූ (සකස් කළ) යමක් ඇත්නම් එය ඝටය (කළය) මෙන් අනිත්‍යයි. ශබ්දය කෘතක වූවකි. (2) ශබ්දය කෘතකය. කෘතක වූ සියල්ල කළය මෙන් අනිත්‍යය. මේ අවයව යොදන ඒ දෙපිළිවෙළයි. මේ දෙතන්හි ම නිගමනය නොදක්වන ලදි. “කෘතක වූ සියල්ල කළය මෙන් අනිත්‍යය.” “ශබ්දය කෘතක වූවකි”යි කී පමණින් “එසේ නම් ශබ්දය අනිත්‍ය වූවකි” යන නිගමනය ඉබේ ම අවබෝධ වෙයි.

තවද පරාර්ථානුමානය සාරධර්ම්‍ය, වෛධර්ම්‍ය වශයෙන් දෙවැදෑරුම් කොට දක්වන්නාහුය. අන්වය ව්‍යතිරේක වශයෙන් න්‍යාය වෛශේෂිකයන් හඳුන්වන්නේ මෙය ම වුව ද බෞද්ධ - බ්‍රාහ්මණ දෙපක්ෂයේ මේ ලක්ෂණයන්හි යම් යම් වෙනස්කම් ඇත.

මහායාන බෞද්ධ ග්‍රන්ථයන්හි ඇතුළත් මේ ප්‍රමාණ ලක්ෂණ ථෙරවාද ග්‍රන්ථයන්හි ද සියුම් ලෙස සඳහන් වෙයි. දේසනාපාළියෙහි ව්‍යාප්ති ප්‍රදර්ශනය නියම ලෙසත් නිරවද්‍ය ලෙසත් කර තිබේ. “යදනිච්චං තං දුක්ඛං”, “යං කිංචි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මං” යනු ස්වභාව හේතුවට උදාහරණයි. “අවිනාභාව සංඛ්‍යාත ලිංගය අනුමානයට කාරණය වේ. සාධ්‍යය සමග හේතුවේ ඇත්තාවූ ව්‍යාප්තිය ප්‍රදර්ශනය කරමින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය පැහැදිලිව දේශනා කරන ලදි” (ප්‍රමාණවාර්තික 1.287). “ප්‍රමාණ වශයෙන් දේශිත අනුමානය භාග්‍යවතුන්වහන්සේ විසින් ම සොයාගන්නා ලද්දකි”. ථෙරවාද ග්‍රන්ථයන්හි ස්වාර්ථානුමානය චින්තාමය පඤ්ඤා නමින් ද, පරාර්ථානුමානය සුතමය පඤ්ඤා, සුතමයවීමංසා නමින් ද අනුමානය නය, යුත්ති, අනුමාන, අනුපෙක්ඛනා, යෝනිසොමනසිකාර නමින් ද හඳුන්වා තිබෙයි.

න්‍යාය: පෙනෙන දෙයක් අනුව නොපෙනෙන දෙයක් දැනගන්නා ක්‍රමය අනුමානයයි. පර්වතයකින් නැඟෙන දුමක් දැක, ඒ මගින් එම පර්වතයෙහි ගිනි තිබෙන බව අපි නිශ්චය කරමු. ගිනි පිළිබඳ මේ නිශ්චය ප්‍රධාන වශයෙන් කරුණු සතරක් මත රඳා පවතී. ඒ සතර වනාහි පෙනෙන දුම, දුමට ආධාර වූ පර්වතය, දුමට ඇසුරු වූ ගින්න, දුමත් ඊට ඇසුරු වූ ගින්නත් අතර ඇති සම්බන්ධතාව යන මේවායි.

ගිනි ඇති බව හඟවන දුමට න්‍යාය භාෂාවෙන් ලිංග යයි කියනු ලැබේ. සාධන යයි ද, හේතුව යයි ද ලිංගයට ම නම් වෙයි. දුමට හෙවත් ලිංගයට ආධාර වූ පර්වතය පක්ෂය නම් වේ.

දුමට ඇසුරු වූ ගින්නට හෙවත් දුම මගින් නිශ්චය කරනු ලබන ගින්නට සාධ්‍ය යයි ද ලිංගී යයි ද කියති.

එකී දුම හා ගින්න අතර ඇති හෙවත් ලිංගය හා ලිංගී අතර ඇති (වෙනත් වචනවලින් කියතහොත්) හේතුව හා සාධ්‍යය අතර ඇති සම්බන්ධයට ව්‍යාප්ති යයි කියති.

හේතුඥානය මගින් සාධ්‍යඥානය ලබන මඟ නොහොත් සාධ්‍යඥානයට හේතුභූත වූ අසාධාරණ කාරණය අනුමානයයි. එය අනිකක් නොව යටකී (ලිංග, පක්ෂ, ලිංගී, ව්‍යාප්ති යන) සතර කරුණු කැටිකළ එක්සත් දැනුමයි. එයට ලිංගපරාමර්ශ යයි කියනු ලැබේ.

අනුමානයෙන් ලැබෙන සාධ්‍යාඥානය - මේ උදාහරණයෙහි ලා පර්වතයෙහි ගිනි ඇති බව - අනුමිතියයි. අනුමාන ප්‍රමාණයාගේ ඵලය ද එය මැ යි. අනුමිතිය හටගන්නේ මෙසේය:

ගිනි සමඟ දුම තිබෙන බැව් ප්‍රථමකොට මුළුතැන්ගෙයි දී ප්‍රත්‍යක්ෂ කරයි. එය ව්‍යාප්තිය පිළිබඳ දැනුමයි. දෙවනුව පර්වතයෙහි දුම දකී. එය හේතුව පිළිබඳ දැනුමයි. තෙවනුව මුලින් දුටු ව්‍යාප්ති දැනුම සිහිවෙයි. ඊළඟට “පර්වතයෙහි මේ පෙනෙන්නේ ගිනි සමඟ ම තිබෙන දුමයි” යන එක්සත් දැනුම පහළ වේ. එය ම ලිංග පරාමර්ශයයි. අනතුරුව “මේ පර්වතයෙහි ගිනි තිබේ” යි අනුමිතිය හටගනී.

ප්‍රත්‍යක්ෂය අනුව (පසුව) ඇතිවන මානය අනුමානයයි. මෙය එහි ශබ්දාර්ථයයි.

න්‍යාය සූත්‍රයෙහි (1.1.5) පූර්වවත්, ශේෂවත්, සාමාන්‍යතෝදෘෂ්ට වශයෙන් අනුමානය තුන් ආකාරයකින් දක්වා තිබෙයි. හේතුව අනුව ඵලය මෙනෙහි කිරීමට උපයෝගී වන්නේ පූර්වවත් අනුමානයයි. අහසෙහි මුදුන් වී එන බර වලාපටල දැක “වැසි වසී”යි හැඟේ. වලාපටල හේතුවයි. වැසි ඵලයයි.

ඵලය දැක හේතුව ගැන කල්පනා කිරීම ශේෂවත් අනුමානයයි. කුණුරොඩු සමඟ පෙණ පිඬු සහිතව ගලා එන අමුතු ම බොර දිය කඳක් දැක ගඟ බඩ උඩහ පෙදෙසට වැසි ඇති වූ බැව් කල්පනා වේ.

ගමනෙහි යෙදී සිටින්නකුගේ තැනින් තැනට ළඟාවීම ගමන අනුව සිදුවන බැව් සාමාන්‍ය හැඟීමයි. එම හැඟීම අනුව තැනින් තැන අහසෙහි දිස්වන හිරු ද ගමන් කරන බැව් පෙනේ. මෙය සාමාන්‍ය‍තෝදෘෂ්ටයයි.

අන්වය ව්‍යතිරේකී, කේවල අන්වයී, කේවල ව්‍යතිරේකී වශයෙන් ද අනුමානය වර්ග වෙයි. මෙය ව්‍යාප්තිය අනුව වර්ග කිරීමකි. හේතූන්ගේ වර්ග කිරීම අනුව යයි ද කිව හැක.

එකක පැවැත්ම අනුව අනෙකේ පැවැත්ම අන්වයයි. එකක් ඇති කල අනික ඇතිවීම අන්වයයි. දුම ඇති තැන ගිනි ඇත.

එකක නොපැවැත්ම අනුව අනෙකේ නොපැවැත්ම ව්‍යතිරේකීයි. එකක් නැති කල අනෙකත් නැතිවීම ව්‍යතිරේකීයි. ගිනි නැති තැන දුම නැත.

මේ දෙයාකාරය ම ගැබ්වුණු ව්‍යාප්තිය අන්වය-ව්‍යතිරේකී ව්‍යාප්තියයි. දුමේ පැවැත්ම (දිස්වීම) අනුව ගින්නේ පැවැත්මත්, ගින්නේ නොපැවැත්ම අනුව දුමේ නොපැවැත්මත් අන්වය ව්‍යතිරේකියට උදාහරණ වේ. එම නිසා දුම මගින් ගිනි කල්පනා කිරීම අන්වය ව්‍යතිරේකී අනුමානය වේ. යම් තැනක දුම ඇද්ද එහි ගිනි ඇත යනු අන්වය ව්‍යාප්තියයි. යම් තැනක ගිනි නැද්ද එතැන දුම නැත. මෙය ව්‍යතිරේකී ව්‍යාප්තියයි.

බුද්ධියට ගොදුරුවන හැම දෙයට ම වස්ත්‍රයට මෙන් නමක් ද ඇත්තේය. කළය බුද්ධියට ගොදුරුවෙයි. එහෙයින් එයට ‘කේවලාන්වයි’ යයි නමක් ඇත්තේය. ව්‍යතිරේකී අංශය මෙහි නැත. ලෝකයෙහි හැම දෙය ම බුද්ධියට ගෝචර වන හෙයින්, බුද්ධියට ගෝචර නොවන්නක් ලොව නැති හෙයින්, මෙහි ලා ව්‍යතිරේකී ව්‍යාප්තියක් ඇති නොවෙයි.

ආපෝ ආදි කොට ඇති ද්‍රව්‍යයන්ගෙන් භින්න නොවූවකට ගඳක් නොමැත්තේය. පඨවි ධාතුවට නම් ගඳක් තිබේ. එම නිසා පඨවි ද්‍රව්‍යය ආපෝ ආදි ද්‍රව්‍යයන්ගෙන් භින්න වූවකි. මෙහි අන්වය අංශය නොදිස්වේ. එහෙයින් කේවලව්‍යතිරේකී වෙයි.

අනුමානය ස්වාර්ථ, පරාර්ථ වශයෙන් ද දෙකොටසකට බෙදනු ලැබෙයි.

ලිඞ්ගය හෙවත් හේතුව මගින් සාධ්‍යය පිළිබඳ තමා ම පිණිස ඇතිවන දැනුම හෙවත් අනුමානය ස්වාර්ථානුමානයයි. දුම දැක “මේ පර්වතයෙහි ගිනි තිබෙයි” යන වැටහීමක් තමා තුළ ම හටගනියි. එය ස්වාර්ථානුමානයි. එය පර්වතයෙහි දුම දුටුවහුට ඉබේ ම පහළ වන දැනුමකි. එය වනාහි ඥානාත්මකයි. දැනීමක් පමණයි.

තමාට වැටැහුණු යමක් අනුන්ට අවබෝධ කරවීම පරාර්ථානුමානය වේ. අනුන්ට යමක් වටහාදීම ශබ්ද මගින් කෙරෙන හෙයින් පරාර්ථානුමානය ශබ්දාත්මකය. “න්‍යාය” ශබ්දයෙන් කියැවෙන්නේ පරාර්ථානුමානයයි. එනම් පඤ්චාවයව වාක්‍යය මැයි. (අවයව ද බ.)

වර්තමාන සිංහල ව්‍යවහාරයෙහි අනුමාන ශබ්දය බෙහෙවින් භාවිත වන්නේ අඩමාන, සැකසහිත යන අර්ථයෙහිය.

විශුද්ධිමාර්ග සන්නය ආදි පැරණි සිංහල ග්‍රන්ථයන්හි අනුමාන ශබ්දය ප්‍රමාණාර්ථයෙහි ම භාවිත කළ බැව් පෙනේ.

‍වෛශේෂික: වෛශේෂික දර්ශනයෙහි අනුමානය හඳුන්වන්නේ ලෛංගික ශබ්දයෙනි. “අස්‍යෙදං කාර්‍ය්‍යං කාරණං සංයොගි විරෝධි සමවායි චෙති ලෛංගිකම්” (9.2.1) යනු වෛශේෂික සූත්‍රයි. එහි අදහස “ලිංගයෙන් (හෙවත් හේතුවෙන්) ලද දැනුම” යනුයි. ‘යම් දැනුමක් ලිංගයෙන් (හේතුවෙන්) ලැබෙයි ද ඒ දැනුම ලෛංගිකයි. කාර්‍ය්‍යකාරණභාව, සංයෝගී, විරෝධී, සමවායි යන නානා සම්බන්ධ වශයෙන් සාධ්‍යයට සම්බන්ධ වූ ලිංගය (හේතුව) එම සාධ්‍යය පිළිබඳ යථාර්ථාවබෝධය ඇති කරවයි’ යනු වෛශේෂික සූත්‍රකාර කණාද මුනිවරයාගේ මතය වෙයි. මෙහි කාර්‍ය්‍ය කාරණ යයි දෙපරිද්දකින් සඳහන් වෙතත් කාර්‍ය්‍යකාරණභාවලක්ෂණ සම්බන්ධය දෙකක් නොව එකක් ම යයි උදයන, ප්‍රශස්තපාද වැනි ආචාර්‍ය්‍යවරයන්ගේ අදහසයි. (“ස වායං කාර්‍ය්‍යකාරණභාවලක්ෂණ එකසම්බන්ධ: ප්‍රකාරද්වයෙනොක්තඃ”- ප්‍රශස්තපාදභාෂ්‍ය 217 පිට.)

මේ පිළිබඳ උදාහරණ ක්‍රමයෙන් දක්වනු ලැබෙයි. කාර්‍ය්‍යකාරණභාව සම්බන්ධය: (අ) කාර්‍ය්‍යෙයන් කාරණය අනුමාන කිරීමයි. දුම නමැති කාර්යය දැක “ගින්නක් නැතුව දුමක් ඇති නොවෙයි” යයි සලකන විට ඇතිවන්නේ කාරණ ඥානයයි. ගින්න දුමට කාරණයි. දුම ගින්නේ කාර්යයයි.

(ආ) කාරණයෙන් කාර්යය ගැන ද මෙසේ අනුමාන කළ හැකියි. බෙර වයන්නකු බෙරයට කඩිප්පුවෙන් ගසනු දුටු බීරෙක් තමාට හඬ නොඇසුණත් බෙරහඬ ඇතිවුණු බව අනුමානයෙන් දැන ගනියි. මෙය කාරණය දැක කාර්යය අනුමාන කිරීමයි (“කාර්‍ය්‍යාල්ලිංගාත් ධූමාලොකාදෙරග් න්‍යාද්‍යනුමානම් ................... කාරණාදපි යථා බධිරස්‍ය භෙරිදණ්ඩසංයොගවිශෙෂාත් ශබ්දානුමානම්” - ප්‍ර.භා. 217 පි.).

සංයෝගිසම්බන්ධය: ශරීරය දැකීමෙන් ස්පර්ශය ලබන ත්වග්ඉන්ද්‍රියයක් ඇතැයි අනුමාන කිරීමයි (ශරීරස්‍ය දර්ශනාත් ත්වගින්ද්‍රියානුමානම්-ප්‍ර.භා.217 පි.).

විරෝධිසම්බන්ධය: නයකු පිඹිනු දැක ළඟ තුබූ පඳුරෙහි මුගටියෙක් ඇතැයි අනුමාන කිරීමයි. (විස්ඵුර්ජතො ‘හෙර්දර්ශනාජ්ඣටාද්‍යන්තරිතන කුලානුමානම් - ප්‍ර.භා.217 පි.).

සමවායිසම්බන්ධය: උණුදියෙහි ඇති උණුගතියෙන් දියට සම්බන්ධ වූ තේජෝධාතුව ගැන අනුමාන කිරීමයි (ජලොෂ්ණ්‍යෙන තත්සම්බන්ධ තෙජොනුමානම් - ප්‍ර.භා.217 පි.).

සඳ පෑයීමෙන් වඩදිය ඇති බව ද, මිරිදිය පෑදීමෙන් අගස්ත්‍ය තරුවේ පෑයීම ද, කුමුදු පිපීමෙන් සඳ පෑයීම ද යනාදියත් මේ ලෙසින් අනුමාන කළ හැකියි.

“ව්‍යාප්තිස්මරණය සහිත ලිංගඥානයෙන් අනුමිතිය හටගනියි. ධූමානුමානයෙහි හෙවත් දුම දැක ගින්නක් ඇතැයි කරන අනුමානයෙහි ලා සලකන විට දුම නමැති කාර්‍ය්‍ය හේතුව දැකීම අනුමිතියට කරණ වෙයි (ප්‍රමාණ වෙයි). එයින් ලැබෙන ගින්න නමැති දැනුම අනුමිතිය හෙවත් ප්‍රමිතිය වෙයි. ගින්න පිළිබඳ දැනුම ප්‍රමාණය වශයෙන් සලකන කල ඒ (ගින්න) හේය (අත්හළයුතු දෙයක්) හෝ උපාදේය (ලබාගතයුතු දෙයක්) හෝ උපේක්ෂණීය (මැදහත්වියයුතු දෙයක්) යන හැඟීම අනුමිතියේ ඵලය (ප්‍රතිඵලය) වෙයි” යනු ප්‍රශස්තපාදභාෂ්‍යයෙහි සඳහන් වෙයි. ලිංගපරාමර්ශය නොව ලිංගය ම අනුමිතියට කරණ වෙතැයි උපස්කාරමතය වුව ද උදයනාචාර්‍ය්‍යමතය නම් නෛයායිකයන්ට මෙන් ම වෛශේෂිකයන්ටත් ලිංගපරාමර්ශය ම කරණ වන බවයි.

වෛශේෂික දර්ශනය අනුව දෘෂ්ට, සාමාන්‍යතෝදෘෂ්ට වශයෙන් අනුමානය දෙයාකාරයි.

තැල්ල ඇති සතා ගවයෙකැයි දැන හැඳින ගත් තැනැත්තා තැල්ල ඇති සියලු ම සත්තු ගවයෝ යයි හැඳින ගනියි. මේ දෘෂ්ටානුමානයයි. එනම් දුටු දෙය අනුව නුදුටු එබඳු දෙය ගැන සලකා ගැන්මයි.

ගොවිතැන් කළ ගොවියාට දෘෂ්ටඵල වශයෙන් අස්වැන්න ද වෙළඳාම් කරන වෙළෙන්දාට මිල මුදල් ද ලැබෙයි. ගොවිතැන වෙළඳාම ඵල ප්‍රයෝජන ලාභ ගෙන දෙන හෙයින් ගොවියෝ ද වෙළෙන්දෝ ද එහි යෙදෙති.

මෙසේ දෘෂ්ටඵල වශයෙන් කිසිත් නැත ද ධාර්මික වැඩ කරන්නෝ පුණ්‍යකටයුතුවල, ධාර්මික ක්‍රියාවන්හි යෙදෙති. ඔවුන් එසේ යෙදෙන්නේ ඒවා ඵලදායක බව අනුමානයෙන් සලකාගෙනය. මේ සාමාන්‍යතෝදෘෂ්ට අනුමානයයි.

අනුමානය වෛශේෂිකයන්ට (අ) ස්වාර්ථානුමාන (ආ) පරාර්ථානුමාන වශයෙන් ද දෙවැදෑරුම් වෙයි:

(අ) තමා ම විසින් යමක් අනුමානයෙන් සලකා වටහා ගනියි නම් එය ස්වාර්ථානුමානයයි. එය ඥානාත්මකයි.

(ආ) තමාට වැටහුණු අනුමානයෙන් තමා සලකාගත් යමක් යමකුට කියයි නම් එය පරාර්ථානුමානයයි. පරාර්ථානුමානයෙහි දී වාක්‍ය මගින් අනුන්ට වටහා දියයුතු හෙයින් එය ශබ්දාත්මකයි. ශබ්දාත්මක වූ පරාර්ථානුමානය ප්‍රතිඥා හේතු ආදි වාක්‍යාවයව මගින් පළකරනු ලැබෙයි. න්‍යායදර්ශනයෙහි මෙන් ම වෛශේෂිකදර්ශනයෙහි ද පරාර්ථානුමානයට අවයව පහකි (අවයව බ.).

උපස්කාරමතය අනුව හේතුව (ලිංගය) දෘෂ්ට, අනුමිත, ශ්‍රැත යයි ත්‍රිවිධ වෙයි (උපස්කාර 9.2.1). බෞද්ධදර්ශනයෙහි මෙන් ම වෛශේෂික දර්ශනයෙහි ද හේතුව ත්‍රිරූපාත්මකය (හේතු බ.).

පූර්වමීමාංසා: ව්‍යාප්ති සම්බන්ධය ඇතැයි හැඟී ගියහුහට එක දෙයකින් ඉඳුරන්ට සම්බන්ධ නොවූ තවත් දෙයක් පිළිබඳව ඇතිවන දැනුම අනුමානයයි (ශබරභාෂ්‍යය). මෙහි එක දෙයක් යනු හේතුවයි. එය ඉඳුරන්ට සම්බන්ධ වන්නකි. අනුමානය නම් පරෝක්ෂවස්තුව හෙවත් ප්‍රත්‍යක්ෂ නොවන දෙය පිළිබඳව ඇතිවන දැනුමයි. පූර්වමීමාංසක ආචාර්‍ය්‍යවරයන්ගේ ප්‍රභාකර කුමාරිලභට්ට යයි සම්ප්‍රදාය දෙකකි.

ප්‍රභාකරමතය අනුව අනුමානය ඇතිවන්නේ එකෙණෙහි ම ඇතිවන ලිංගඥානය මගිනි. ලිංගඥානයට ව්‍යාප්තිඥානය නිසා හටගත් සංස්කාරය ද හවුල් වෙයි. එහෙත් සංස්කාරයෙන් පමණක් අනුමානය හටගනී යි කිව නොහැකි හෙයින් අනුමානය ස්මරණයක් නොව අනුභවයකි. ප්‍රමාණයාගේ ලක්ෂණය වනාහි අනුභවයයි. එම අනුභවය අනුමානයෙහි ද ඇති හෙයින් අනුමානය ප්‍රමාණයක් වන්නේය.

භාට්ටමීමාංසකමතය හෙවත් කුමාරිලභට්ටමතය අනුව ප්‍රමාණ ලක්ෂණය මීට ඉඳුරා ම වෙනස් වන්නේය. ප්‍රමාණයක් නම් එය අගෘහීතග්‍රාහියක් හෙවත් කලින් නොදත් දැනීමක් විය යුතුය. ව්‍යාප්තිඥානයෙහි දී “දුම ඇති සැම තැන ගිනි තිබේ” යයි හැම ගින්නක් ගැන ම දැනුම ඇති වෙයි. එහෙයින් පර්වතයෙහි වූ දුම දැක ඇතිවන ගින්න පිළිබඳ දැනීම අමුතු දෙයක් නොව ව්‍යාප්තියෙන් ලද දැනුම ම යි. එසේ වුවහොත් අනුමානය ප්‍රමාණයක් විය නොහැකිය. එබැවින් මෙම දෝෂයෙන් මිදීම පිණිස හෙවත් අනුමානය ප්‍රමාණයක් බව තහවුරු කිරීම පිණිස භාට්ටයෝ ගිනි සහිත පර්වතය අනුමානයේ ප්‍රමේය කොට ගනිති. සාමාන්‍ය ගින්න ව්‍යාප්තියෙහි දී අවබෝධ වෙයි. පර්වතය ද ප්‍රත්‍යක්ෂයෙන් දැක්ක හැකිය. එහෙත් ඉහත කී “ගිනි සහිත පර්වතය” යන විශිෂ්ට දැනුම කිසිවකින් ඇති වන්නක් නොව අමුතු ම දැනුමකි. එය ම අනුමානයයි. එහෙයින් අනුමානය ප්‍රමාණයක් වෙයි (ශාස්ත්‍රදීපිකා). එහෙයින් භාට්ටමතය අනුව අනුමානයට හේතුවන්නේ ව්‍යාප්තිස්මරණය සහිත පක්ෂධර්මතා ඥානයයි (අනුමාන-න්‍යාය ද බ.).

ශාබරභාෂ්‍යය අනුව ප්‍රත්‍යක්ෂතෝදෘෂ්ට සම්බන්ධ, සාමාන්‍යතෝදෘෂ්ට සම්බන්ධ යයි අනුමාන දෙකකි. දුම දැක ඉන් ඇතිවන ගින්න පිළිබඳ දැනුම ප්‍රථම අනුමානයට උදාහරණ වේ. මෙහි ව්‍යාප්තිය නිශ්චය වූයේ මුළුතැන්ගෙයි දුම දැක්මෙන් වූ අග්නි ප්‍රත්‍යක්ෂය මගිනි. තැනකින් තැනකට ළඟාවීම ගමන නිසා ඇතිවන බව සාමාන්‍ය පිළිගැනීමයි. ඒ අනුව අහසේ පසෙක සිටි හිරුගේ මැදියම් දිනයෙහි මුදුන් ගතවීම ගමන අනුව සිදුවන්නක් බව හැඟේ. මෙය දෙවැනි අනුමානයට උදාහරණයි. මෙතෙක් විස්තර කෙළේ ස්වාර්ථානුමානයයි.

පරාර්ථානුමානයට අවයව තුනකි. ප්‍රතිඥා, හේතු, උදාහරණ යන තුන හෝ උදාහරණ, උපනය, නිගමන යන තුනයි. “ශබ්දය අනිත්‍යය; කරන ලද දෙයක් හෙයිනි; කළය මෙන් කරන ලද සියල්ල අනිත්‍ය වෙයි.” මෙය ප්‍රතිඥාව ඇතුළු අවයව තුන ප්‍රයෝග වන අයුරුයි.

කළය මෙන් කරන ලද සියල්ල අනිත්‍ය වෙයි. ශබ්දය කරන ලද්දකි. එහෙයින් අනිත්‍යය. මෙය උදාහරණය මුල් කොට යෙදූ පරාර්ථානුමානයයි (ශාස්ත්‍රදීපිකා).

මේ දෙවැන්න ඇරිස්ටෝටල්ගේ පරාර්ථානුමානයට නිතැතින් ම සමානය. ඔහු ද ප්‍රථම කොට ව්‍යාප්තිප්‍රදර්ශනය කරයි. නැවත පක්ෂ ධර්මතාව පෙන්වයි. අනතුරුව නිගමනය මතු කරයි. සාධනවාක්‍යය (proposition) වශයෙන් හා ප්‍රත්‍යය වශයෙන් ද මීමාංසකයන්ගේ පරාර්ථානුමානයට අපරදිග තාර්කිකයෝ එකඟ වෙත්.

වේදාන්ත: අනුමිතියට අසාධාරණ කාරණය (කරණය) වන්නේ අනුමානයයි. ඒ වනාහි ව්‍යාප්තිඥානයයි. නෛයායිකයන්ට අභිමත වූ පරිදි ලිංගපරාමර්ශය අනුමානය නොවේ යනු වේදාන්ත මතයයි. “මෙය (පර්වතය) දුම්සහිතය” යන පක්ෂධර්මතා ඥානය හෙවත් “පර්වතයෙහි දුම් තිබේ” යන දැනුම ඇතිවත් ම “දුම ගින්නෙහි ව්‍යාප්ත වූවකි” හෙවත් “දුම ගින්න ඇසුරු කොට පවතින්නකි” යන සංස්කාරයක් උද්ගත වෙයි. එවිට ඒ සංස්කාරයෙන් “පර්වතය ගිනි සහිතය” යි අනුමිතිය හටගනී. “දුම ඇති සැම තැන ගිනි පවතී” යන අයුරින් මුළුතැන්ගෙහි දී හටගත් ව්‍යාප්තිඥානයෙන් ඇති වූ මේ සංස්කාරයට ව්‍යාප්තිඥානයේ ව්‍යාපාරය යි කියනු ලැබේ. කරණයෙන් හෙවත් අසාධාරණ කාරණයෙන් බිහි වී ඵලය උපදවනුයේ ව්‍යාපාරයයි. ව්‍යාප්තිඥානය නිසා හටගත් මේ සංස්කාරය අනුමිතිය බිහි කරවයි. මීමාංසකාදීන්ට මෙන් ව්‍යාප්ති ස්මරණය නොව ව්‍යාප්තිසංස්කාරය මෙහි ව්‍යාපාරය බැව් සිහිකටයුතුය.

“පර්වතය ගිනි සහිතය” යන මේ දැනුමෙහි අංශ දෙකකි. පර්වතාංශය පිළිබඳ දැනුම ප්‍රත්‍යක්ෂයෙන් හටගනී. ගිනිඅංශය ව්‍යාප්තිඥානය නිසා හටගනී. එබැවින් ගින්න පමණක් ගෝචර කොටගත් දැනුම අනුමිතියයි. එහෙයින් ව්‍යාප්තිඥානය ද කරණය වන්නේ ගින්න පිළිබඳ දැනුමට පමණකි.

වේදාන්තීන්ට ඇත්තේ අන්වයිරූප අනුමානය පමණකි. කේවලාන්වයී, කේවලව්‍යතිරේකී හා අන්වයව්‍යතිරේකී අනුමාන වේදාන්ත අදෛවතවාදයෙහි පැන නොනැඟිය හැකි හෙයිනි. එහෙත් වේදාන්තීහු ද අනුමානය ස්වාර්ථ, පරාර්ථ විසින් දෙයාකාරයයි පිළිගනිති. වේදාන්තීන්ගේ පරාර්ථානුමානය මීමාංසකයන්ගේ මෙන් අවයව තුනකින් යුක්තය (වේදාන්ත පරිභාෂා). අවයව බලන්න.

කර්තෘ:ඇස්. අබේසිංහ

ජෛන: ජෛන විචාරකයෝ වූකලි ප්‍රත්‍යක්ෂ පරෝක්ෂ වශයෙන් ප්‍රමාණ දෙකක් දක්වති, එයින් ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය (1) ව්‍යාවහාරික (2) පාරමාර්ථික වශයෙන් දෙවැදෑරුම් වෙතැයි සලකන ඔවුහු පරෝක්ෂ ප්‍රමාණය අනුමාන ආගම වශයෙන් ද්විවිධ යැයි හෝ ඖපමිකය ද ඇතුළුව ත්‍රිවිධ යැයි හෝ කියති. ඇතැම්හු පරෝක්ෂ ප්‍රමාණය ස්මරණය, ප්‍ර ත්‍යභිඥා, තර්ක, අනුමාන, ආගම වශයෙන් පංචවිධ යැයි පවසති (ප්‍රමාණනයතත්වාලොකාලංකාර). සාධ්‍යය හා අවිනාභාවී සම්බන්ධය ඇති ලිංගයෙන් හෙවත් හේතුවෙන් (පර්වතාදි) පක්ෂයෙහි (අග්නි ආදි) සාධ්‍යය ඔප්පු කරනුයේ අනුමානය යන ජෛනන්‍යාය මතයි (න්‍යායාවතාර 5 පද්‍යය). මේ අනුමාන ලක්ෂණයෙන් ත්‍රිරූපලිංගය හදාළ බෞද්ධ මතය ද කාර්‍ය්‍ය කාරණභාවාදිය හදාළ වෛශෙෂිකමතය ද පූර්වවත් ආදි අනුමාන භේද දැක්වූ න්‍යායමතය ද ජෛනයන් විසින් ප්‍රතික්ෂිප්ත යයි න්‍යායාවතාරවෘත්තියෙහි විවරණය වෙයි. අන්‍ය දර්ශනයන්හි මෙන් ම ජෛන දර්ශනයෙහිදු අනුමානය ස්වාර්ථ පරාර්ථ යයි ප්‍රභේද වන බවත් ප්‍රත්‍යක්ෂ අනුමාන යන ප්‍රමාණ දෙක ම ස්වාර්ථ පරාර්ථ වශයෙන් බෙදෙන බවත් සඳහන් කරති (න්‍යායාවතාර 11 පද්‍යය).

ජෛනන්‍යායයෙහි පරාර්ථානුමානය සඳහා බ්‍රාහ්මණ න්‍යායයෙහි මෙන් ම අවයව පහක් උපයෝග කරගන්නා ලැබෙයි. 1. ප්‍රතිඥා 2. හේතු 3. දෘෂ්ටාන්ත 4. උපනයන 5. නිගමන යන වශයෙනි. 1. අග්නිරත්‍ර (මෙහි ගින්නකි) ; 2. ධූමාත් (දුම් ඇති හෙයිනි) ; 3. යත්‍ර යත්‍ර ධූමස්තත්‍ර තත්‍රාග්නිඃ යථා මහානසාදෞ (යම් යම් තැනක දුම ඇත් ද ඒ ඒ තැන ගිනි ඇත, මුළුතැන්ගේ ආදියෙහි මෙනි) ; 4. තථා ච ධූමො යම් (එසේ ම මේ දුමය) ; 5. එබැවින් දුම ඇති හෙයින් මෙහි ගිනි ඇත) යනු පිළිවෙළින් මේ පංචාවයවයන් න්‍යායවාක්‍යයක ගළපන හැටිය (න්‍යායාවතාරවෘත්ති 13 පද්‍යය). පරාර්ථානුමානවිෂයෙහි ජෛනයන් සාමාන්‍ය වශයෙන් පංචාවයවවාක්‍යයක් උපයෝග කරතත් දශාවයවවාක්‍යය යොදාලීම උත්කෘෂ්ට යයි ඇතැම් ජෛනන්‍යායග්‍රන්ථයන්හි සඳහන් වෙයි (න්‍යායාවතාරවෘත්ති 13 පද්‍යය). ඒ දශාවයව නම්: 1. ප්‍රතිඥා 2. ප්‍රතිඥාශුද්ධි 3. හතු 4. හතුශුද්ධි 5. දෘෂ්ටාන්ත 6. දෘෂ්ටාන්තශුද්ධි 7. උපනයන 8. උපනයනශුද්ධි 9. නිගමන 10. නිගමනශුද්ධි (න්‍යායාවතාරවිද්‍යාභූෂණ 14 පිට) යනුයි. ඇතැම් කෘතීන්හි දශාවයවයන්ගේ සුළු වෙනසක් පෙනෙයි. (2) ප්‍රතිඥා විභක්ති (4) හේතුවිභක්ති (5) විපක්ෂ (6) විපක්ෂප්‍රතිෂෙධ (7) දෘෂ්ටාන්ත (8) ආශංකා (9) ආශංකාප්‍රතිෂෙධ (10) නිගමන යන වශයෙනි. දශාවයව ගැන පළවන්නේ හරිභද්‍රසූරීන් ලියූ දශවෛකාලිකනිර්යුක්තිටීකාදියෙහිය. මේ දශාවයව ජෛනවිචාරකයන්ගේ ම විවේචනයට ද ලක්වූ බව පෙනෙයි. සාධ්‍ය ලිංග (හේතු) දෙක්හි අවිනාභාවී සම්බන්ධය හෙවත් ව්‍යාප්තිය පෑමෙන් කරනු ලබන අනුමාන විෂයෙහි අන්තර්ව්‍යාප්තිය මිස බහිර්ව්‍යාප්තියක් දැක්වීම නිෂ්ඵල යයි (අන්තර් ව්‍යාප්ත්‍යාඃ හෙතොඃ සාධ්‍යප්‍රත්‍යායනෙ ශක්තාව ශක්තෞ ච බහිර්ව්‍යාප්තෙරුද්භාවනං ව්‍යර්ථම්) දේවසූරි ජෛනපඬිවරයා කළ විවේචනයෙන් එය පැහැදිලි වෙයි. පංචාවයවයන් පවා තර්කසංගත නොවේ යයි කී බෞද්ධනෛයායිකයන් මෙන් ම බ්‍රාහ්මණනෛයායිකයන් ද දශාවයව අශාස්ත්‍රීය බව පවසා ප්‍රතික්ෂේප කළා විය හැකිය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුමාන&oldid=1844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි