අනුරාගමාලය-1
රජුන්ගේ සිත් ගන්නා අදහසින් ලියූ ශෘඬ්ගාරාත්මක බැඳුම් වෙසෙසක් කෝට්ටේ කාලයේ සිට ලියැවී ආ රාජස්තෝත්‍ර රචනයන්හි පවතී. අනතුරුව මේ කවිවල විකාසයක් වශයෙන් අනික් ප්‍රභූන් සඳහා ද ශෘඬ්ගාර බැඳුම් බිහිව ආ හැටි දක්නට පුළුවන. සෙන්කඩගල රාජධානි කාලයේ - එනම් 17 වන සියවසේ සිට මේ රචනා සිංහල සාහිත්‍යයෙහි බෙහෙවින් පැනේ. දස්කොන් අදිකාරමගේ නෝක්කඩුමාලය, පත්තායමේ ලේකම්ගේ වියොවගරත්නමාලය, මාතර දිසානායක මුදලිගේ මකරධ්වජය, දුනුවිල ගජනායක නිලමේගේ දුනුවිල හටන හා රතිරත්නාලංකාරය, මාතර සබ්බෙවිදානෙගේ සහබන්දුහටන, තල් අරඹේ ලියන අප්පුගේ කොණ්ඩමාලය වැනි පොත් 18 වන සියවසේ හා 19 වන සියවසේ මුල දීත් බිහි වූ එබඳු රචනා කිහිපයකි. අනුරාගමාලය ද එවක කැරුණු අනික් එබඳු රචනයකි.
මේ පොත කව් 139කින් යුක්තය. ශකවර්‍ෂ 1709 (ක්‍රි.ව. 1787) දී මෙය ලියූ බව පොත අග කියැවේ. මොලදණ්ඩේ නම් මැතිවරයකුගෙන් කාව්‍ය ශාස්ත්‍රය උගත් “කළුගම රනසර” නම් කෙනකුන් විසින් මේ රචනාව කරන ලද බව එහි අවසන සඳහන් වේ. ඒ හැර කාව්‍ය කර්තෘ ගැන අනික් සටහනක් දැනගන්නට නැත.
අනුරාගමාලයේ කියැවෙන්නේ හිමියා හැර ගිය ස්ත්‍රියක තුළ උපන් බලවත් විරහ දුකකි. එහි දී හිමියාගේ රූසපුව ද, ඔහු සමග සැපසේ රති සැපෙන් කල් යැවූ පුවත් ද, ඔහු නැතිකමින් ඇය තුළ ජනිත තද විරහය ද, මිත්‍රයකු ලවා හිමියා සොයා යැවූ පුවත් ද, අවසන හිමියා පැමිණ ඇගේ විරහ දුක නිවා සැනසූ හැටි ද මෙහි දර්ශිතයි.
සිය හිමියා පිළිබඳව “අප හිමි සරි සලෙළු නැත වෙන දැනගන්න” යි අනුරාගමාලයෙහි කියැවෙයි. හිමියා පැමිණ විරහ දුක සන්සිඳවූ පසු ඔහුටත් හිමියා සොයාදීමට උදව් දුන් මිතුරාටත් කරන ආසිරි පැතුමක් ද මෙහි පැනේ. ඒ ආශීර්වාදයට ලක් වූ තැනැත්තා සබරගමුව, මාතලේ, දුම්බර හා හතර කෝරළය ලැබ අදිකරණ පදවිය දැරූ මැතිවරයකු බව පොතේ අවසන කවියක සඳහන්ය. ඒ අනුව එවක මහ අදිකාරම් පදවිය දැරූ පිළිමතලව්වේ පිනවීම සඳහා අනුරාග මාලය රචිත දෝයි සිතිය හැකියි.
එවක ලියැවුණු අනික් ශෘංගාර කාව්‍යයකට නොදෙවැනි සේ තැනුණු ශෘංගාලාප මෙහි පැනේ.
මේ අනුරාගමාලය මෙතෙක් මුද්‍රිත බවක් දැනගන්නට නැත. එහි මූලික පුස්කොළ පොතක් කොළඹ කටුගෙහි වෙයි.
(සංස්කරණය:1963)