අනුරුද්ධ-2
බුදුරදුන් ජීවමාන සමයෙහි වැඩ සිටි මහාක්ෂීණාශ්‍රව අනුරුඬ තෙරණුවන් හැර ග්‍රන්ථකාරකත්වයෙන් ප්‍රසිඞව අනුරුඬ නාමයෙන් වැඩසිටි තෙරවරු කීපනමක් වෙති. නිකාය සංග්‍රහයෙහි ලක්දිව ආචාර්‍ය්‍යවරයන් දක්වන තැන “නොයෙක් ටීකාත්ථිකථා හා තත්ප්‍රවේශෝපාය වූ අනේකප්‍රකාර ධර්‍මප්‍රබන්ධ හා සන්න ගැටපද පිටපත් ආදිය උපදවා පර්‍ය්‍යාප්ති ශාසනය බැබැළවූහ”යි දක්වමින් අනුරුඬ යන නම එක් තැනෙක ද “කාලානුරූප ධර්‍මව්‍යාඛ්‍යාන උපදවමින්” යනාදීන් අන් තැනෙක දැයි අනුරුඬ නම් වූ ආචාර්‍ය්‍යවරයන් දෙදෙනකුන් දක්වා ඇත. තඹරට (බ.) තඤ්ජ නගරයෙහි වෙසෙමින් පරමත්ථවිනිච්ඡය නම් අභිධර්‍මප්‍රකරණයක් රචනා කරන ලද්දේත් අනුරුඬ නම් ආචාරර්‍ය්‍යවරයකු විසිනි. (තඹරට පිහිටියේ මලයා අර්ධද්වීපයේ විය හැකි බව සෙනරත් පරණවිතාන මහතා අදහස් කරයි.) ඇතැම් කෙනෙක් නොවිමසීමෙන් මේ ආචාර්‍ය්‍යවරයන් තිදෙන ම එක් තැනැත්තකු සේ හඳුන්වා ලූහ. අන් කෙනෙක් දෙදෙනකුන් ලෙස ද දැක්වූහ.
මේ ආචාර්‍ය්‍යවරයන් තිදෙනා අතුරෙන් පූර්‍වතම වූවාහු අභිධම්මත්ථසංගහ (බ.) කතුවරයෝය. මුන්වහන්සේ කවර කලෙක විසුවාහු දැයි නිශ්චය වශයෙන් දැක්වීම දුෂ්කරය. එහෙත් ග්‍රන්ථාන්තර ප්‍රවෘත්ති සංසන්දනයෙන් ලැබෙන කරුණු අනුව මේ අනුරුඬ තෙරණුවෝ බු.ව.1518 ලක්දිව රජපැමිණි මිහිඳු IV රජුගේ රාජ්‍ය සමයෙන් (දසවැනි සියවසේ මධ්‍යභාගයෙන්) පෙර විසූහයි සිතාගත හැකිය. නිකාය සංග්‍රහයෙහි අනුරුඬ නාමය දැක්වෙනුයේ අභිධම්ම මූලටීකාකාර ආනන්ද තෙරණුවන්ට පසුව මහාබෝධිවංසය කළ උපතිෂ්‍ය තෙරණුවන්ට පූර්වයෙහිය. උපතිෂ්‍ය තෙරුන්ට මහාබෝධිවංසකරණයට ආරාධනා කළෝ “ශීලවතෛකභාජන විඛ්‍යාතකීර්තක නරපති චූඩාමණිමරීචි රඤ්ජිත පාදාන්ත ඇති දංෂ්ට්‍රානාගාභිධාන මහාස්ථවිරයෝ” යයි බෝධිවංශ ගැටපදයෙහි එයි. මෙ කියන දළනා තෙරුන් ලවා මිහිඳු රජු අභිධර්මය දේශනා කැරැවූ බව මහාවංසයෙහි (54-38) සඳහන් වෙයි. ශාසන ශෝධකයකු වශයෙන් ඉතිහාසගත වූ ජෝතිපාල තෙරුන්ට පසුව අනුරුඬ තෙරණුවෝ වැඩසිටියහ. මෙසේ හෙයින් ජෝතිපාල තෙරුන් වැඩසිටි සවැනි සියවසටත් දළනා තෙරුන් වැඩසිටි දසවැනි සියවසටත් අතර කාලයෙහි අනුරුඬ තෙරුන්ගේ ජීවන කාලය වී යයි පිළිගත යුතුය.
අනුරුඬ තෙරණුවෝ අභිධර්‍මාර්ථසංග්‍රහය ලියන කාලයෙහි මූලසෝම නම් විහාරයක ද නාමරූප පරිච්ඡේදය ලියන කාලයෙහි අනුරාධපුර මහා විහාරයෙහි ද විසූහයි සිතිය හැකිය. ඒ ග්‍රන්ථාවසානයෙහි එම ස්ථාන සඳහන් කොට ඇති හෙයිනි. එහිදු මූලසෝම විහාරය කොහි පිහිටියේ ද යනු අවිනිශ්චිත කරුණෙකි. ඇතැම් කෙනෙක් මෙකල හලාවත දිස්ත්‍රික්කයෙහි මුන්නේශ්වරම් දේවාලය පිහිටි ස්ථානයෙහි මූලසෝම විහාරය වී යයි සලකති. ඒ වූ කලී මතිමාත්‍රයෙකි. පස්වැනි දප්පුල රජුගේ යයි සලකන වෙස්සගිරි පුවරු ලිපියෙහි “මුලසෝවෙහෙර් වන්පුල්ලා උපාසක විරාඬ්කුරා අරමැ” යනාදි පාඨයෙහි එන මුලසෝ වෙහෙර යට කී මූලසෝම විහාරය යි ගත් කල ඊට සම්බන්ධ වැ වීරාඞ්කුරාරාමයකුදු හෙළි වෙයි. මත්වළසෙන් රජු දවස ලක්දිව් පැමිණි වාජිරිය නිකාය වැසියකු වීරාඬ්කුරාරාමයෙහි විසූ පුවතක් නිකායසංග්‍රහයෙහි දැක්වෙයි. මේ කරුණු ගැන සිතන විට මූලසෝම විහාරය ද අනුරාධපුර සමීපයෙහි ම වූවකැ යි හැඟේ. එහෙත් පරණවිතාන සූරීහු “මූලසෝම” “මුලසෝ” යන නාම දෙක එක් මැ ස්ථානයක් සඳහා ව්‍යවහාර කළ බව නොසිතිය හැකි යයි සඳහන් කෙරෙති. මූලසෝම යන පාලි වචනයෙන් මුලසෝ යි රූපයක් සිදුවිය නොහැකි හෙයිනි.
අනුරුඬ තෙරණුවන්ගේ සාහිත්‍ය කෘතීන් වශයෙන් දක්නට ලැබෙනුයේ අභිධම්මත්ථසංගහ (බ.) නාමරූපපරිච්ඡේද (බ.) යන ග්‍රන්ථ දෙකය. එයින් පළමුවැන්න අභිධර්‍මසප්තප්‍රකරණය අළලා කරන ලද සංග්‍රහයෙකි. මේ වනාහි බෞඬයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉතා විශිෂ්ට ධර්මසංග්‍රහයෙකි. දෙවැන්න පාලිපද්‍යයෙන් රචනා කළ පරිච්ඡේද තෙළෙසකින් යුත් ග්‍රන්ථයෙකි. විශේෂයෙන් මේ ග්‍රන්ථය යෝගාවචර භික්ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා කරන ලද්දෙකැයි කියති. එහෙත් ආචාර්‍ය්‍යයන් විසින් ම
“පණ්ඩිච්චං පරමත්ථෙසු
පාටවං පටිපත්තියං
පත්ථයන්තෙන භික්ඛුන
මත්ථං සුගතසාසනෙ”යි බුදු සසුන්හි භික්ෂූන්ගේ පරමාර්ථ විෂයෙහි පාණ්ඩිත්‍යය ද, ප්‍රතිපත්තියෙහි පටුත්වය ද ප්‍රාර්ථනා කරමින් මේ පොත ලියන ලදැ යි ප්‍රකාශ කරන ලද්දේය. අනුරුඬාචාර්‍ය්‍යයන්ගේ අප්‍රතිසම පාණ්ඩිත්‍යය මේ ග්‍රන්ථයෙන් ම ප්‍රමාණ කළ හැක්කේයි.
අනුරුඬ නම් තෙර කෙනකුන් විසින් ලියන ලද පරමත්ථවිනිච්ඡය නම් අනෙකුදු ග්‍රන්ථයෙක් වෙයි. ඇතැම් කෙනෙක් එය ද අර්ථසංග්‍රහකාරක ආචාර්‍ය්‍යයන්ගේ මැ කෘතියකැයි සලකති. කරුණු විමසන කල්හි ඒ මතය සනාථ නොවන බව පෙනේ.
(සංස්කරණය:1963)