අනුසය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාර්ග ඥානය කරණකොටගෙන සමුච්ඡේදප්‍රහාණයෙන් (සහමුලින්) ප්‍රහීණ නොකළ හෙයින් සන්තානයෙහි බැඳී පවත්නා සිත හා සමඟ යෙදුණු අකුශලධර්ම විශේෂ අනුසය නම් වෙයි. තවද අප්‍රහීණාර්ථයෙන් තහවුරුව පවත්නා ක්ලේශ ධර්මය "අනුසය"යි කියනු ලැබෙයි. හේ චිත්තසම්ප්‍රයුක්තය, ආලම්බන සහිතය, සහේතුකය, ඒකාන්ත අකුශලය, අතීතානාගතවර්තමාන ද වෙයි. අළු යට සැඟවුණු ගිනි පුපුරු සෙයින් අනුරූප කාරණයක් හෙවත් ප්‍රත්‍යයක් ලැබ උපදනා සුලු වෙයි. එසේ ම ව්‍යුත්ථාන, ව්‍යතික්‍රම යන අවස්ථාවන්ට ද පත්වෙයි. අනුශය ධර්මයෝ සත් දෙනෙකි. කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා යන මොහුයි.

එහි ලෝභ සහගත සිත්හි සහජාත වශයෙන් හා ආලම්බන වශයෙන් ද, සෙසු කාමාවචර සිත්හි ආලම්බන වශයෙන් ද උපදනා ලෝභය කාමරායෙනුත් දුඃඛවේදනා තොර කොට ඇති සෙසු කාමාවචර සිත්හි ද රූපාවචර සිත්හි ද රූපාරූපාවචර සිත්හි ද ආලම්බන වශයෙනුත් උපදනා මානය මානානුසය නමි. දිට්ඨානුසය දිට්ඨිගතසම්පයුක්ත සිත් සතරෙහි ද, විචිකිච්ඡානුසය විවිකිච්ඡානුගත සිතෙහි ද, අවිජ්ජානුසය දොළොස් අකුශල චිත්තයන්හි සහජාත වශයෙන් ද උපදී. තුන් බිමට අයත් අවශේෂ චිත්තයන්හි අරමුණු විසින් ම උපදවා දිට්ඨි - විචිකිච්ඡා - මෝහ යන චෛතසිකයෝ තිදෙන ම පිළිවෙළින් දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය නම්වෙත්. අරමුණු කිරීම් වශයෙන් ම රූපාරූ ධර්මයන්හි උපදනා ලෝභය භවරාගානුසය නම් වේ.

ක්ලේශ පරිපාටියෙන් හා මාර්ග පරිපාටියෙන් දැයි දෙපරිද්දෙකින් අනුශය ධර්මයන්ගේ නැසීම දක්වන ලද්දේය. එහි කෙලෙස් පිළිවෙළින්: කාමරාග - පටිඝ අනුසය දෙක අනගැමි මඟින් ද මානානුසය රහත් මඟින් ද දිට්ඨි - විචිකිච්ඡා අනුසය දෙක සෝවාන් මඟින් ද භවරාග - අවිජ්ජානුසය දෙක රහත් මඟින් ද නැසෙයි. යළි මාර්ග පිළිවෙළින්: පළමුවන මඟින් දිට්ඨි, විචිකිච්ඡා දෙක නැසෙයි. දෙවන මඟින් කාමරාග, පටිඝානුසය යන මොවුන්ගේ තනුභාවය වෙයි. තෙවැනි මඟින් ඔවුන්ගේ සමුද්ඝාතය වෙයි. සිවුවැනි මඟින් මාන, භවරාග, අවිජ්ජානුසය යන මොවුන්ගේ අභාවය වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුසය&oldid=1870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි