අනෝදා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
H-4.jpg
[අබුටිලොන් ඉන්ඩිකුම් - Abutilon indicum (L.) G. Don]. මේ ශාකය මහ බැබිල, මල් අනෝදා, කොකිස් අච්චු යන නම්වලින් ද හඳුන්වනු ලැබේ. මල්වාසේ කුලයට අයිති බහුවාර්ෂික කුඩා පඳුරක් වූ මෙය ලෝකයෙහි නිවර්තන ප්‍රදේශ පුරා ම පැතිරී තිබේ.

ශාකයේ ක‍ඳෙන් බොහෝ අතු විහිදේ. කොළය අඟල් ¾ දක්වා දිගය, හෘදයාකාරය, බූ සහිතය. කොළයේ අග තීව්‍රය. කොළ නටු අඟල් 1 – 3 දක්වා දිගය. එක කක්ෂයකින් එක මලක් හට ගනී. මල වඩා ලොකු නැත. රඹ පාටය. මල් නටුව දුර්වලය. අණ්ඩප 15 – 20 තිබේ. පැසුණු විට මේවා වෙන් වේ. ඵලය විදාරකයකි (schizocarp). වේලුණු විට එය පැළී එලිකා කීපයක් සෑදේ. ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විද්‍යාවෙහි මේ පැළෑටිය මහාබලා, අතිබලා යන නම්වලින් හැඳින්වේ. අෂ්ට වර්ග (බ.) නම් සුප්‍රසිද්ධ ද්‍රව්‍යගණයෙහි වූ වෘද්ධි (මහදඩකලත්) නම් ඖෂධය නැති කල්හි ප්‍රතිනිධියක් වශ‍යෙන් අනෝදා යොදනු ලැබේ. දේශීය වෙද කමෙහි ගෙඩි පැසවීම සඳහා යොදන අලේප පත්තු සෑදීමට ද බෙහෙවින් අනෝදා ගනු ලැබේ. අනෝදා සූතිකාජ්වර හා ප්‍රතිශ්‍යා නසයි. ජ්වර හා මූත්‍ර රෝගයන්ට ද ප්‍රශස්තයි. පිත් රෝගයන්හි හා කුක්ෂිගත ආබාධයන්හි දී ද පාවිච්චි කරනු ලැබේ. අනෝදා ඇට කාමය වඩයි. කොළවලින් සාදා ගන්නා කෂාය දත් රෝග නසයි. පූයාමේහය (ගොනෝරියා) සුව කරයි.

සමහර ප්‍රදේශවල අනෝදා නමින් අනෝනා (බ.) විශේෂ ද හඳුන්වනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනෝදා&oldid=3276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි