අනෝමදස්සී-2
අනෝමදස්සී මාහිමියෝ වනාහි දඹදෙණියේ රජකළ දෙවන පරාක්‍රමබාහු (1236 – 70) මහරජාණන් දවස වැඩ වුසූ සඟරජ කෙනෙකි. මේ මහරජාණන්ගේ අණින් දේවප්‍රතිරාජයන් අත්තනගල්ලෙහි තෙමහල් පහයක් කරවා අනෝමදස්සී මාහිමියනට දුන් බව මහාවංශයෙහි එයි. එයින් මුන්වහන්සේ මේ රජුගේ කාලයෙහි වැඩ වුසූ බව නිශ්චය වේ.
හත්ථවනගල්ලවිහාරවංශයෙහි එන "සබ්බයතිරාජධුරන්ධරෙන" යනුවෙන් මුන්වහන්සේ වෙසෙසන වචනයෙන් උන්වහන්සේ ශාසනානුශාසක ධුරය වන සංඝරාජ පදවිය එකල දැරූ බව ද පෙනේ. මුන්වහන්සේ බ්‍රාහ්මණවංශිකයෙකි, බාහිරශාස්ත්‍ර විෂයෙහිත් තෙවළාදහමෙහිත් පරම කෝවිදවැ වැඩ වුසූ ශ්‍රේෂ්ඨයෙකි. උන්වහන්සේගේ ළදරු කාලය ගැන කරුණු හෙළිවී නැත. උන්වහන්සේ අත්තනගල්ලෙහි වැඩවුසූ බව කියන හෙයින් උභයවාසයෙන් ග්‍රාමවාසයට අයත් කෙනකු විය යුතු ය.
ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයෙහි ලා ඉතා අගය කොට සැලැකෙන පරෝපකාර නම් ග්‍රන්ථය ද, දෛවඥ කාමධෙනු නම් ග්‍රන්ථය ද මුන්වහන්සේගේ කෘතීහු වෙති. තවද හත්ථවනගල්ලවිහාරවංස නම් පාළි චම්පුව ද සතර බණවර අටුවාව ද මුන්වහන්සේගේ නියෝගයෙන් නිපැයුණු ග්‍රන්ථ දෙකෙකි. ඒ පොත්වලැ මුල එන ගාථාවල එකරුණ කියැවිණ.
සිදත් සගරාව ද මුන්වහන්සේගේ කෘතියෙකැයි කෙනෙක් සලකති. සිදත කරන ලද්දේ ප්‍රතිරාජ පරිවේණාධිපතියන් විසිනි. සිදත පතිරාජ පිරුවන් හිමියන්ගේය යන්නෙහි විවාදයෙක් නැත. අනෝමදස්සී මාහිමියෝ ප්‍රතිරාජ විහාරාධිපතිහු වෙතියි ප්‍රතිනෘපතිමහාවිහාරනෙතා" යනුවෙන් තමන් වහන්සේ මැ එය පරොපකාරයෙහි දී කියති. සිදතපරිපුෂ්පයෙහි කළ ප්‍රතිරාජපරිවේණාධිපතීහු නම් මුන්වහන්සේ විය යුත්තාහයි ඇතැම් පඬිවරු මෙයින් තර්කණය කෙරෙති.
"ප්‍රතිඵලන්ති ජගන්ති සමන්තතො
මහති යද් ධිෂණා මණිදර්පණෙ
ස භගවාන් මුනිරීහිතසිද්ධයෙ
හෘදි චිරං මම ගන්ධකුටීයතාම්"
(දෛවඥකාමධෙනු)
"මහද ගඳ කිළි කැරැ - සව්න් ගෙවා දත්හට
දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිදත් සඟරා"
(සිදත් සඟරා)
"ඊර්ෂ්‍යාපිශාචීචපලාත්මහාජො-
නින්දන්ති යෙ තෙෂු මමාස්ති නාස්ථා
ආරාධකො'හං මහාතාන්තු තෙෂාං
යෙ'ත්‍ර ශ්‍රමඥාශ්ව පරාර්ථකාමාඃ"
(දෛවඥකාමධෙනු)
මෑ පෙළ පමණ සිඕ - කිවිමන් දනන් පසසත
ගරහත යළිදු කම් කිම් - පඩුවෝ මැ මෙහි පමණෝ.
(සිදත් සඟරා)
අනෝමදස්සි මාහිමියන්ගේ දෛවඥකාමධෙනුයෙහි දූ සිදතෙහි දු එන මේ පද්‍යවල සමාන වූ අර්ථච්ඡායාව ඇත. මෙද සිදත උන්වහන්සේගේ කෘතියක් බව කියන ලකුණෙකැයි කෙනෙක් සලකති. විස්තරාර්ථීන් විසින් ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන වාසල මුදලිදුගේ සිද්ධාන්ත පරීක්ෂණ ප්‍රස්තාවනාව ද මුනිදාස කුමාරතුංගයන්ගේ සිදත් විවරණ ප්‍රස්තාවනාව ද රැ. තෙන්නකෝනුන්ගේ සිදත් සන්නසෙහි සුලමුල" ද බැලිය යුතුයි.
ප්‍රතිරාජ විහාරය හා ප්‍රතිරාජ පිරිවෙන එකිනෙකින් වෙනස් වියහැකි හෙයින්, සිදත අනෝමදස්සී මාහිමියන්ගේ කෘතියක් බවට යටකී සාම්‍යය ඒකාන්ත සාධකයෙක් නොවේ. චාන්ද්‍ර ව්‍යාකරණයෙහි ද මොග්ගල්ලාන ව්‍යාකරණයෙහි ද මුල පෙනෙනුයේ එක ම අදහස හා වචන ඇති බුද්ධ නමස්කාරයෙකි. වෙනස භාෂාවෙන් පමණි. මොග්ගල්ලායන පඤ්චිකායෙහි මුල් ගාථාවත් පාලි නිඝණ්ඩුවෙහි මුල් ගාථාවත් අර්ථයෙන් සමාන වුව ද, ඒ ග්‍රන්ථ දෙක දෙදෙනකුගේ මැයි. එහෙයින්, රචනාවල අර්ථච්ඡායායෙන් පෙනෙන සමානත්වය ඒවා ඒකකර්තෘක බවට ඒකාන්ත සාධක නොවේ. සිදත් සඟරාවෙහි කර්තෘවරයෝ අනෝමදස්සී මාහිමියෝ යැ යනු මෙසේ විවාදයට භාජනව ඇත. එය කෙසේ වුව ද අනෝමදස්සී සංඝරාජ මාහිමියෝ දඹදෙණි යුගයෙහි වැඩ සිටි සම්භාවනීය පඩිවරයෙකි. උන්වහන්සේ සංස්කෘත භාෂාවෙන් ග්‍රන්ථ තැනීමට තරම් එහි ප්‍රවීණ වූ පඬිරුවනකි.
කර්තෘ:කෝදාගොඩ ඤාණාලෝක නායක ස්ථවිර
(සංස්කරණය:1963)