අපදානපාළි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුදු පසේ බුදු රහත් උතුමන්ගේ අපදාන පළවන පාලි ග්‍රන්ථයකි. මෙය ඛුද්දක නිකායට අයත් පොත් පසළොසින් ද එකකි.

ආනන්ද ස්ථවිරයන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් බුද්ධත්වය ලබන හේතු ඇසූ විට උන්වහන්සේ බුද්ධාපදානය වදාළසේක. තථාගතයන්වහන්සේ පච්චේක බුද්ධාපදාන දේශනා කළේත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ ආරාධනාවෙන් ය. ථෙරථෙරී අපදාන ඒ ඒ අවස්ථාවල දී ථෙරථෙරීන් විසින් ස්වකීය අතීත චරිත ප්‍රකාශ කිරීම් වශයෙන් හෝ උදානවාක්‍ය වශයෙන් හෝ ප්‍රකාශ කොට ඇත්තේය.

අපදානපාළිය ත්‍රිපිටකග්‍රන්ථාවලියට ඇතුළත් ග්‍රන්ථයක් හෙයින් මෙය බුද්ධභාෂිතයක් ද ශ්‍රාවකභාෂිතයක් ද ලෙස ගිණිය හැකිය.

අපදානපාළිය විශාල ග්‍රන්ථයකි. නිතැතින් සිත තුළින් ගලා එන කවිත්වයක් මෙහි පිළිබිඹු වේ. පින්දහම් කළවුන් ලත් ඵලවිපාක මතු කොටපාමින් ඒ ඒ ථෙරථෙරීන් පළ කොට තිබෙන කරුණු සසර සැ‍රි සරන සත්වයන්ගේ ප්‍රබලකම් දුර්වලකම් විදහා පානා කැටපත් වැනි වේ. මෙහි බුද්ධාපදානය වශයෙන් පළ වන්නේ අන්‍ය කිසිදු ධර්මග්‍රන්ථයක සඳහන් නොවන බෝධිසත්ව කථාවකි. එයින් ප්‍රකාශ වන්නේ බෝධිසත්වයන්වහන්සේ මනෝප්‍රණිධිය කළ හෙවත් හිතින් බුදුබව පැතූ අවධියක අතීත බුදුපසේබුදුරහතන් වහන්සේලා සිතින් ම මවාගෙන සිතින් ම ළංකර ගත් මනෝමය දානවස්තු උන්වහන්සේලාට හිතින් ම පූජා කොට පින් සිදුකර ගැනීමේ පුවතකි; සියලු සතුන්ට මෙත් වැඩූ පිළිවෙතකි. පසේ බුදු චරිත වශයෙන් කිසිදු විශේෂ පසේබුදුවරයකු ‍හෝ පසේ බුදුවරයන් ගැන මෙහි කරුණු පළ නොවේ.

සුත්තනිපාතයේ ඛග්ගවිසාණසූත්‍රයෙහි ගාථා පළ කළ පසේ බුදුවරුන්ගේ ඒ ගාථා ම මෙහිත් නම් සඳහන් නොකොට පළ කර තිබේ. මෙහි එන ථෙරථෙරී අපදාන ථෙරථෙරීගාථාවල පෙනෙන එනම් ඇති ථෙරථෙරී චරිතවලට වඩා ඇතැම් විට වෙනස් වෙයි. (අපදානපාළි - ශ්‍රි බුද්ධදත්ත සංස්කරණය 1930). සීවලී, කච්චායන, උපාලි වැනි ඉතා ප්‍රකට ථෙරචරිතාපදානවල පවා යම් යම් වෙනස්කම් තිබීමෙන් හැ‍‍‍‍‍‍‍‍‍ඟෙන්නේ අපදානපාළිය භාවිත කළ අයගෙන් යම් යම් අවුල් ඇති වූ බවකි. උපාලි නමින් තෙරවරුන් දෙනමකගේ අපදාන දෙවිධියකට මෙහි පෙනෙන අතර දෙනම ම විනයධර භික්ෂූන්ට අගතැන් ලදහයි කීම එබඳු නොපැහැදිලි තැනකි. බුදුරජාණන්වහන්සේට පූර්වකර්මවිපාක වශයෙන් විඳින්නට සිදු වූ අපහසුකම් පළ වන පුවත මෙහි පුබ්බකම්මපිලෝතිකාපදාන යනුවෙන් බහා තිබෙන්නේ අමුතු ‍ ථෙරාපදානයක් ලෙසිනි. ථෙරී අපදානවල ද යම් යම් විමසිය යුතු තැන් පෙනේ. ථෙරථෙරී අට්ඨකථා කළ ධම්මපාලාචාර්‍ය්‍යයෝ ඒ අටුවාවලට අපදානගාථා බෙහෙවින් උපුටා ගත්හ. එහෙත් උන්වහන්සේ උපුටා ගත් ථෙරථෙරී අපදානවල සඳහන් කළ නම් අපදාන පාළියේ සඳහන් වන නම්වලින් වෙනස් වන තැන් ද ‍‍බො‍හෝ ය.

නො‍එක් පිළිවෙළේ පින්දහම් කළ ප්‍රකට වූ ද අප්‍රකට වූ ද ථෙරථෙරීන්ගේ කථා මේ පොතේ පළ වේ. මෙහි සමහර අපදාන ලුහුඬුය. ඇතැම් අපදාන දීර්ඝය. සාරිපුත්ත, ‍මොග්ගල්ලාන, මහාකස්සප ආදී ථෙරාපදාන ද පජාපතිගෝතමී, ඛේමා, යසෝධරා ආදී ථෙරී අපදාන ද මෙහි එන ඉතා ම දීර්ඝ චරිතකථා ය. ඒවා එක එකක් රමණීය පද්‍යකාව්‍යයක ස්වරූපය ගනී. වනෝද්‍යාන නදී පර්වත ගුහා ආරාම ආශ්‍රම පශුපක්ෂීන් මල්වැල් ගස්කොළන් තවුස්පිරිස් බුදුමහිම බුදුපිරිස් ආදිය ගැන මෙහි පෙනෙන ඇතැම් විස්තර හා වර්ණනා සහජ කවිත්වයත් ස්වාභාවික සෞන්දර්යයත් තපෝගුණයත් උපශාන්ත ජීවිතත් සුචරිතඵලත් පිළිබිඹු කරන රමණීය වර්ණ චිත්‍ර වැන්න.

මෙහි ඉඳුරා පළ කළ බුද්ධචරිත නැනත් ප්‍රසංග වශයෙන් ථෙරථෙරීන්ගේ පූර්වචරිත වර්ණනා කිරීමේ දී අතීත බුදුවරයන්වහන්සේලා විෂයෙහි ඔවුන් කළ ගරුකාර අධිකාර සඳහන් වන හෙයින් අතීත බුද්ධචරිත ගැන ප්‍රමාණවත් විස්තර ද දක්නට ලැබේ.

අපදානයට විසුද්ධජනවිලාසිනී නම් අටුවාවක් ඇත. එය බුද්ධඝෝෂ ධර්මපාල වැනි බහුශ්‍රැත මහ පඬිවරයකුගේ කෘතියක් නොවේ. එහි නොඑක් අඩුලුහුඬුකම් දක්නට ලැබේ. ග්‍රන්ථ රච‍නාව අතින් ද එහි තත්ත්වය උසස් නොවේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපදානපාළි&oldid=2003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි