අපන්‍යාස

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රාගයෙක හෝ ගීතයක හෝ අවාන්තරයාගේ සමාප්තිය සිදු කරන ස්වරය අපන්‍යාස ස්වරය නමින් දනිති. සංගීතයෙහි ලා ග්‍රහ, අංශ, න්‍යාස, අපන්‍යාස ස්වරයෝ විශේෂයෙන් ම රාගාලාපය සමඟ බැඳී සිටිත්.

පැරණි සමයෙහි ප්‍රබන්ධ, වස්තු, රූපක ආදී ගායන විශේෂ‍යෝ වූහ. ඔවුන්ගේ වෙනස් වෙනස් භාගයන්හි ලැබුණු අන්තිම ස්වරය අපන්‍යාස නමින් දන්නා ලදි. මෙයින් අදහස් කරනුයේ, පුරාණ අවධියෙහි වූ ගීතයන්ගේ උද්ග්‍රාහ, මේලාපක, ධ්රුව යනාදි ඒ ඒ භාගයන් අවසන් කරන අන්තිම ස්වරය අපන්‍යාස නමින් භාවිත වූ බවයි.

න්‍යාස ස්වර, අපන්‍යාස ස්වර දෙක්හි ලැබෙන වෙනස මෙසේ ය: න්‍යාස ස්වරයෙන් ඉඳුරා රාග ගායනයෙහි කෙළවර දක්නා අතර අපන්‍යාස ස්වරයෙන් ගීතයෙහි භින්න භින්න භාගවල අවසානය දකියි. වර්තමාන සංගීතයේ පැරණි ගීතයෙහි මෙන් ඒ ඒ විවිධ කොටස් භාවිත නොවන බැවින් දැන් අපන්‍යාස ස්වරය ද භාවිතයෙන් ගිළිහී යමින් පවතී.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපන්‍යාස&oldid=2004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි