අපභ්‍රංශ
අපභ්‍රංශ යනුවෙන් ශිෂ්ට සම්මත සංස්කෘත ව්‍යවහාරයෙන් පිරිහී ගියාවූ, එසේ නැතහොත් සංස්කෘත රීතීන් උල්ලංඝනය කොට පවත්නාවූ භාෂා විශේෂයෝ ගැනෙත්. භාරතදේශයෙහි ග්‍රන්ථාරූඪ නොවී කථා ව්‍යවහාරයෙහි ම පැවති නොයෙක් දේශ භාෂාවෝ ද, ව්‍යාකරණ විධානයෙන් සකස් කොට ගන්නා ලද ඒ ඒ දේශීය භාෂාවන්ගේ ස්වරූපයෝ ද කිසි විටෙක අපභ්‍රංශ යනුවෙන් ගනු ලැබෙත්.
අපභ්‍රංශ යන නාමය ප්‍රථම වරට දක්නට ලැබෙන්නේ ක්‍රි.පූ. 2 වැනි ශතවර්ෂයෙහි දී රචිත පතඤ්ජලීන්ගේ මහාභාෂ්‍යයෙහිය. එහි එක ම 'ගො' ශබ්දයට හෙවත් 'ගෞඃ' යන්නට ගාවී, ගොණී, ගොතා, ගොපොතාලිකා යනාදී වශයෙන් අපභ්‍රංශ හෙවත් අපභ්‍රෂ්ට රූප බොහෝ ගණනක් ඇතැයි එකස්‍යෛව ශබ්දස්‍ය බහවොපභ්‍රංශාඃ, තද් යථා ගෞරිත්‍යස්‍ය ගාවී, ගොණී, ගොතා, ගොපොතාලිකෙත්‍යෙවමාදයෝ 'පභ්‍රංශාඃ' යි දැක්වේ. "අපභ්‍රංශො පශබ්දඃ ස්‍යාත්"යි අමර කෝෂයෙහි ව්‍යාකරණයෙන් සිද්ධ නොකළහැකි හෙයින් අව්‍යාකරණික වූ අපශබ්දය අපභ්‍රංශ නම් වන්නේ යයි කී හෙයින් අමරසිංහාචාර්‍ය්‍යයන් ජීවත් වූහයි සලකන සවැනි සියවසේ පූර්වභාගය වන විට ද භාෂාවක් වශයෙන් අපභ්‍රංශ නොසැලකූ බව හෝ ම්ලේච්ඡ භාෂාවක් කොට ගත් බව හෝ සිතිය හැකිය. 6 වැනි ශතවර්ෂයේ මැද භාගය පමණේ දී ද්විතීය ධරසේන රජු විසින් පිහිටුවන ලද වලභි ශිලා ලේඛනයෙහි "අපභ්‍රංශ" යනු නිසැකින් ම භාෂානාමයක් වශයෙන් සඳහන් වේ. එම ශතවර්ෂයෙහි දී භාමහ හා දණ්ඩීන් වැනි ආලංකාරිකයන්ගේ සැලකිල්ලට භාජන විය යුතු තරම් සාහිත්‍යයික කෘති අපභ්‍රංශයෙන් තුබුණු බවත් 10 වැනි 11 වැනි ශතවර්ෂයන්හි දී විශාල අපභ්‍රංශ සාහිත්‍යයක් පැවති බවත් පෙනේ.
වියරණ: ඉතාමත් පැරණි ප්‍රාකෘත ව්‍යාකරණය වූ ප්‍රාකෘතප්‍රකාශයෙහි අපභ්‍රංශය ගැන කිසිවක් සඳහන් වී නැත. ජෛන භක්තිකයෙකු වූ චණ්ඩාචාරීන් විසින් කරන ලද ප්‍රාකෘතලක්ෂණය ඉතා ස්වල්ප වශයෙන් වුව ද අපභ්‍රංශයට සූත්‍ර දැක්වූ ප්‍රථම ව්‍යාකරණයයි. ප්‍රාකෘතව්‍යාකරණ ග්‍රන්ථ අතුරෙන් ඉතා ශ්‍රෙෂ්ඨ වූ සිද්ධහේමචන්ද්‍රයන්ගේ අෂ්‍ටමාධ්‍යායයෙහි අපභ්‍රංස පිළිබඳ දීරඝ විස්තරයක් දක්නට ලැබේ. එපමණක් නොවේ. සෑම සූත්‍රයකම පාහේ අවසානයෙහි නිදසුන් වශයෙන් අපභ්‍රංශ පාඨ රැසක් යොදා ඇත්තේ ය. ත්‍රිවික්‍රමචාරීන් විසින් කරන ලද ප්‍රාකෘත ව්‍යාකරණ ද ලක්ෂ්මීධරයන් විසින් රචිත ෂඩ්භාෂා චන්ද්‍රිකාව ද සිංහරාජයන්ගේ ප්‍රාකෘතරූපාවතාරය ද මාර්කණ්ඩේයාචාරීන්ගේ ප්‍රාකෘතසර්වසවය ද අපභ්‍රංශය ඇතුළු වූ ප්‍රාකෘතයන් පිළිබඳ විස්තර ඇතුළත් තවත් වියරණ ග්‍රන්ථ සතරෙකි. අපභ්‍රංශය තුළ ආභ්‍යන්තරික විශේෂයන් හෙවත් උපභාෂාවන් කිහිපයක් පැවති බවට උපනාගර, ආභීර හා ග්‍රාම්‍ය යයි අපභ්‍රංශත්‍රයක් දැක් වූ නමිසාධූ නම් ආලංකාරිකයා ද, ව්‍රාචඩ, නාගර හා උපනාගර යයි අපභ්‍රංශත්‍රයක් දැක්වූ ක්‍රමදීශ්වර, මාර්කණ්ඩේය යන වෛයාකරණයෝ ද සාක්ෂ්‍ය දරත්. මේ තාක් පළ කර තිබෙන අපභ්‍රංශ ග්‍රන්ථයන්ගෙන් බොහෝ ගණනක් ගුජරාටි ප්‍රදේශය ආශ්‍රය කොට පැවති නාගර අපභ්‍රංශයේ ලක්ෂණයන්ගෙන් සමන්විත හෙයින් නාගර අපභ්‍රංශය උසස් ම අපභ්‍රංශය වශයෙන් ගිණිය හැකිය. පූර්වෝක්ත අපභ්‍රංශ විශේෂයන් පිළිබඳ විස්තරයක් ලුයිජියා නීත්ති-ඩෝල්චි මහත්මිය විසින් ප්‍රංස භාෂාවෙන් සපයන ලද "ප්‍රාකෘත වියරණකරුවෝ" (Les Grammairiens Prakrits) නමැති ග්‍රන්ථයෙහි (121, 122, 141, 143 පිටුවල) ද සර් ජොජ් ග්‍රියර්සන් මහතුන් විසින් කලින් කල පළ කරවන ලද ලිපිවල ද දැක්වේ. අපභ්‍රංශ යන නාමය ප්‍රාකෘතයන්ගේ විකෘත වශයෙන් සාමාන්‍ය මහජනයා අතර ප්‍රචලිත වූ දේශ භාෂාවන්ට ද ව්‍යවහාර වූ හෙයින් භරතමුනිහුගේ නාට්‍යශාස්ත්‍රයෙහි සඳහන් වන ශාකාරී, චාණ්ඩාලී, ශාබරී, ආභීරී, ටාක්කී යන විභාෂාවන් ද මාර්කණ්ඩේයයන්ගේ ප්‍රාකෘත සර්වස්වයෙහි සඳහන් වන විභාෂා සත්විස්ස ද එබඳු අපභ්‍රංශ විශේෂ වශයෙන් ගිණිය හැකියි.
භාෂා තත්ත්වය හා ලක්ෂණ: ඉන්දු ආර්‍ය්‍ය භාෂාවන්ගේ විකාසයට අනුව කාලපරිච්ඡේදවලට බෙදා දැක්වීමෙහි දී ක්‍රි.වර්ෂ 600 පමණ සිට ක්‍රි.ව. 1000 පමණ දක්වා අතර කාලය තුන්වැනි ප්‍රාකෘත සමය නොහොත් අපභ්‍රංශ සමය සේ ගනු ලැබේ. මහාරාෂ්ට්‍රී, ශෞරසේනී ආදී සෑම ප්‍රාකෘතයක්ම වැඩෙමින් අපභ්‍රංශ අවස්ථාව කරා පැමිණි හෙයින් ඒ සෑම ප්‍රාකෘතයකට ම යටත්පිරිසෙයින් එක අපභ්‍රංශ බැගින් වත් පැවැත්තේය යනු පිළිගැනීමයි. අපභ්‍රංශ සමය ඊට පැරණි ප්‍රකෘත භාෂාවන්ගේ ද නව්‍ය ඉන්දු ආර්‍ය්‍ය භාෂාවන්ගේ ද අතරෙහි වූ සන්ධි සමයයි. හින්දි, වංග, මරාඨි, ගුජරාටි ආදී නව්‍ය ආර්‍ය්‍ය භාෂාවන්ගේ ප්‍රභවය සෙවිය යුත්තේ ඒ එක එකට අයත් අපභ්‍රංශය කෙරෙහිය.
අපභ්‍රංශ සමය තුළ දී ඊට පූර්ව ප්‍රාකෘත සමය දක්වා වැඩෙමින් ආ ප්‍රාකෘත ලක්ෂණ තවදුරටත් වැඩෙන්ට වන. පදයන්ගේ අන්ත්‍ය ස්වරයෝ අතිශයින් දුර්වල වූහ. කලින් අසංයුක්තව හෝ සංයුක්තව පැවති ස, සස යන මොවුහු නොයෙක් අපභ්‍රංශ විශේෂයන්හි හකාර බවට පැමුණුණාහ. කලින් ස්වර මධ්‍යගතව තනිව සිටි මකාරය සානුනාසික වූ වකාරයක් විය (භ්‍රමර > භමර > භ . වර). මේ කාලපරිච්ඡේදය තුළ දී ස්වරයන්ගේ සානුනාසිකත්වය පටන් ගැනුණේ ය.
නාම වරනැඟීමේ දී බොහෝ වරනැඟීම් හැකිතාක් දුරට එක ම ආකාරයකට හැඩගස්වන ලදි. ඇතැම් විට නපුංසක ලිංගයෙහි හා ස්ත්‍රී ලිංගයෙහි වරනැඟූ ශබ්දයන්ගෙන් ස්වල්ප මාත්‍රයක් ඉතිරිව පැවැත්තේය. විභක්ත්‍යර්‍ථ සුගම ලෙස ප්‍රකාශ කිරීම සඳහා නානා උපකාරක ශබ්දයෝ භාවිත වූහ. ආඛ්‍යාතයන් අතුරෙන් කර්තෘකාරක වර්තමාන හා අනාගත කාලික රූප ද, කර්මකාරක වර්තමාන රූප ද අවශිෂ්ට වූහ. ආශිර්වාද ක්‍රියාවෝ ද විධික්‍රියාවෝ ද බෙහෙවින් අභාවයට ගියහ. අනික් ආඛ්‍යාත වරනැඟීම් මුළුමනින් ම පාහේ අභාවප්‍රාප්ත විය. උපකාරක ක්‍රියාවෝ බෙහෙවින් ව්‍යවහාරයට වන්හ. ස්වාර්ථ තද්ධිතාදි නානා ප්‍රකාර ප්‍රත්‍යයෝ ද ව්‍යවහාරයෙහි බහුල වූහ.
ඉතා ලුහුඬින් ඉහත දක්වන ලද්දේ අපභ්‍රංශයේ භාෂා තත්ත්වය හඳුන්වනු වස් මුඛ්‍ය ලක්ෂණ කිහිපයකි. අපභ්‍රංශ පිළිබඳ සියලු විස්තර විභාග හේමචන්ද්‍ර සූරීන්ගේ සිද්ධහේමචන්ද්‍රයෙහි අෂ්ටම අධ්‍යායයේ සිව්වැනි පාදයේ 329 වැනි සූත්‍රයෙහි සිට එම පාදයේ අවසානය දක්වා ඇති කොටසෙහි ඇතුළත් වේ.
අපභ්‍රංශ සාහිත්‍යය: ඉතා මෑතක් වන තුරු, පුළුල් අපභ්‍රංශ සාහිත්‍යයක් ඇති බව කිසිවකුටත් නොපෙනිණි. අවුරුදු හතලිහකට පනහකට පමණ පෙර අපභ්‍රංශ කෘති වශයෙන් දන්නා ලද්දේ කාලිදාසයන්ගේ වික්‍රමෝර්වශියෙහි සිවුවන අංකයෙහි දක්නා අපභ්‍රංශ ප්‍රබන්ධ ස්වල්පය ද, ප්‍රාකෘත පෛංගලය ද, සිද්ධහේමචන්ද්‍රයෙහි දක්නා නිදර්ශන පාඨ හා කුමාරපාල චරිතයෙහි හෙවත් ප්‍රාකෘතද්ව්‍යාශ්‍රය කාව්‍යයෙහි අටවැනි සර්ගයෙහි 14 පටන් 82 දක්වා ශ්ලෝක ද සරස්වතී කණ්ඨාභරණය වැනි අලංකාර ග්‍රන්ථයන්හි හා වේතාල පඤ්චවිංශතිකා, සිංහාසන ද්වාත්‍රිංශකා, ප්‍රබන්ධ චින්තාමණි ආදි ග්‍රන්ථයන්හි තැනින් තැන දක්නා අපභ්‍රංශ ශ්ලෝක ද පමණි.
අපභ්‍රංශ සමය සාමාන්‍ය වශයෙන් ක්‍රි.ව. 600 පමණ සිට 1000 පමණ දක්වා විය යුතු වුවද, නියම වශයෙන් එම සාහිත්‍යයෙහි ආරම්භය වනුයේ 8 වැනි ශතවර්ෂය පමණේ සිටය. ඉතා සමෘද්ධ වූ අපභ්‍රංශ සාහිත්‍ය යුගය පැවැත්තේ 9 වැනි සියවසරේ සිට 13 වැනි සියවසර දක්වායි. පුෂ්පදන්ත, ධවල, ධනපාල, නයනන්දී, කනකාමර, ධාහිල ආදි ප්‍රතිභාශීලී කවීන් වැජඹුණේ එම කාලපරිච්ඡේදයෙහි දී ය. 13 වැනි ශතවර්ෂයෙන් පසුත් 15 වැනි ශතවර්ෂය පමණ දක්වා වැඩුණු අපභ්‍රංශ රූපයකින් සාහිත්‍ය කෘති සැපයිණ. වංග, හින්දි, මරාඨි, ගුජරාටි, රාජස්ථානි ආදි නව්‍ය ඉන්දු ආර්‍ය්‍ය භාෂාවන්ගේ පැරණි ම සාහිත්‍ය කෘතීන්හි ද බෙහෙවින් දක්නට ලැබෙන්නේ අපභ්‍රංශ ලක්ෂණයි.
අපභ්‍රංශ ග්‍රන්ථ බෙහෙවින් ම ආරක්ෂා වූයේ ජෛන භාණ්ඩාගාරයන්හිය. ග්‍රන්ථකරණය සඳහාත් ධර්ම ප්‍රචාරය සඳහාත් අපභ්‍රංශ භාෂාව බෙහෙවින් ම උපයෝගි කරගන්නා ලද්දේ ජෛන ලබ්ධිකයන් විසිනි. හින්දු ලබ්ධික බ්‍රාහ්මණයන් විසින් ද තන්ත්‍රයානික බෞද්ධයන් විසින් ද මුස්ලිම් ලබ්ධිකයන් විසින් ද නිපදවන ලද අපභ්‍රංශ ග්‍රන්ථයෝ සංඛ්‍යාවෙන් ඒ සා විශාල නොවෙත්. අපභ්‍රංශ කාව්‍යයන්හි සංස්කෘත කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කොට ඇතත් ඉන් බොහොමයක ජෛන තීර්ථංකරයන්ගේ හා ශ්‍රේෂ්ඨ මුනිවරයන්ගේ චරිත ද ධර්මෝපදේශ ද ජෛනසමයට අයත් විවිධ කථාවස්තු ද කිසිවිටෙක රාමායණාදි කථා ද විරල වශයෙන් ලෞකික පක්ෂයට අයත් දෑ ද ඇතුළත් වේ.
මහාකාව්‍ය සංඛ්‍යාවෙහි ලා ගිණිය යුතු අපභ්‍රංශ කාව්‍ය අතුරෙන් පළමුවන වරට ප්‍රකාශයට පමුණුවන ලද්දේ හවිසයත්ත කහා නම් වූ භවිෂ්‍යදත්ත කථාවයි. එය 10 වෙනි ශතවර්ෂය පමණේ දී ධක්කඩවණි වංශයට අයත් ධනපාල නම් දිගම්බර ජෛන ලබ්ධිකයකු විසින් භවිසත්ත නම් වණික් පුත්‍රයකු කථානායකයා කොට කරන ලද්දකි. ධනපාල තෙමේ තමා වාග් දේවියගේ පුත්‍රයකු වූ බව ද ග්‍රන්ථයෙන් ප්‍රකාශ කරයි. භවිසයත්ත කහාවෙහි අපභ්‍රංශය හේමචන්ද්‍රාචාරීන්ගේ ව්‍යාකරණයෙන් දැක්වෙන භාෂාවට වඩා පැරණි බව වියතුන්ගේ පිළිගැනීමයි.
10 වෙනි ශතවර්ෂයේ අවසාන භාගය පමණේ දී කරන ලද තිසට්ඨි මහා පුරිසගුණාලංකාරය හෙවත් මහා පුරාණය සන්ධි 102කින් හා ශ්ලෝක 13000කින් පමණ යුත් මහා කාව්‍යයකි; ඛණ්ඩ වශයෙන් තුනකට බෙදා තිබේ. කලින් ශිවභක්තිකයකුව සිට පසුව දිගම්බර ජෛනයකු වූ පුෂ්පදන්තාචාරීහු එහි කර්තෘහුය. මොහු දේශදේශාන්තරයන්හි භ්‍රමණය කරමින් මාන්‍යඛේටයෙහි හෙවත් දැනට හයිදරාබාද්හි මල්ඛේඩ් නමින් හැඳින්වෙන නගරයෙහි රාජ්‍යානුශාසනය කළ වල්ලභරාජ භූපාලයාගේ අගමැති වූ භාරතාචාරීන් වෙත පැමිණියේය. භාරතයෝ ද පුෂ්පදන්තයන්ගේ කවිත්වයෙහි පැහැද උන් සිය නිවසෙහි ම නවතාගෙන කාව්‍යකරණයෙහි පෙලඹවූහ. මහාපුරාණය එහි ප්‍රථම ඵලයයි. ඛණ්ඩ කාව්‍යයන් අතුරෙහි පසුව සඳහන් වන ජසහර චරිඋ (යශෝධර චරිතය) හා ණායකුමර චරිඋ (නාග කුමාර චරිතය) යන කාව්‍යද්වය ද භරතාචාරින්ගේ පුත් නන්නයන්ගේ ආශ්‍රමයෙහි විසිය දී පුෂ්පදන්තාචාරීන් විසින් රචිත තවත් කාව්‍යද්වයකි. පුෂ්පදන්ත ආචාරීන් ශරීර ශක්තියෙන් ඉතා දුර්වලව සිටි බවත් ස්වකීය කවීත්වයෙහි මහත් අභිමානයකින් යුතුව විසූ බවත් තමා පිළිබඳව ම කව්වපිසල්ල, අභිමාණමෙරු (අභිමානමේරු) කඉකුලතිලඅ (කවිකුලතිලක), සරසඉනිලඅ (සරස්වතී නිලය), වාඵසරිසර ආදි උපාධීන් ව්‍යවහාර කළ බවත් උන්ගේ කෘතීන්ගෙන් පෙනේ.
ධවලාචාරීන් විසින් සන්ධි 122කින් හා ශ්ලෝක 18000කින් රචනා කරන ලද හරිවංශ පුරාණය ද වැදගත් අපභ්‍රංශ මාහකාව්‍යයෙකි. බ්‍රාහ්මණ කුලයක උපන් ධවල තෙමේ පසුව ජෛන ලබ්ධිය වැලඳගෙන ශෘංගාර, වීර, කරුණා, ශාන්ත යන රසයන් බෙහෙවින් උද්දීපනය කෙරෙමින් මෙම කාව්‍යය රචනා කළේය. ග්‍රන්ථාරම්භයෙහි සඳහන් වන කවීන් අතුරෙන් කිහිප දෙනකුන් ම 9 වැනි සියවසට අයත් වුව ද 10 වැනි ශතවර්ෂයේ මුල භාගයේ දී වීර චරිතය හෙවත් වර්ධමාන කාව්‍යය ලියූ අසගයන්ගේ නාමය ද එහි සඳහන් වන හෙයින් ධවල කිවියා ඊට අනතුරුව 10 වැනි ශතවර්ෂයෙහි හෝ ඊට මඳක් පසුකාලයෙහි හෝ විසීය යනු විචාරකයන්ගේ පිළිගැනීමයි.
ඉහත නම් සඳහන් කවීන්ටත් වඩා පැරණියයි කල්පනා කරනු ලබන ස්වයම්භූ නම් කිවියකු විසින් රාමායණ කථාව ම ආශ්‍රයෙන් ඊට ජෛන මුහුණු වරක් දී, විද්‍යාධර කාණ්ඩය අයෝධ්‍යා කාණ්ඩය සුන්දර කාණ්ඩය යුද්ධ කාණ්ඩය සහ උත්තර කාණ්ඩය යයි කාණ්ඩ පහකින් හා ශ්ලෝක 12000කින් පමණ සමන්විත වූ පඋම චරිඋ (පද්ම චරිත) නම් මහා කාව්‍යයක් ද, මහාභාරතයේ කථාව ආශ්‍රයෙන් යාදව කාණ්ඩය, කුරු කාණ්ඩය, යුද්ධ කාණ්ඩය, උත්තර කාණ්ඩය යයි කාණ්ඩ සතරකින් හා ශ්ලෝක 18000කින් පමණ සමන්විත කොට සපයන ලද රිට්ඨණෙමි චරිඋ (රිෂ්ටනෙමිචරිත) හෙවත් හරිවංස පුරාණය නම් මහාකාව්‍යයක් ද සපයන ලදි. මේ කාව්‍ය දෙක කලක් ම අප්‍රකාශිතව පැවති නමුත් මෑතක දී පඋම චරිඋ නමැති ග්‍රන්ථයෙන් කාණ්ඩ තුනක් ප්‍රකාශයට පමුණුවා තිබේ. ස්වයම්භූ ආචාරීන් විසින් සපයන ලද ස්වයම්භූ ඡන්ද, පංචමී චරිඋ ආදි අප්‍රධාන ග්‍රන්ථයෝ ද කිහිපයෙකි.
වෞහාන වංශයට අයත් තුන්වැනි පෘථිවිරාජ රජතුමාගේ වර්ණනයක් වශයෙන් එරජුගේ කවි රාජ චන්දවරදායීන් විසින් පෘථිවිරාජරාසො නමැති මහාකාව්‍යයක් රචනා කරන ලදි. එහි ආදි ම ස්වරූපය අපභ්‍රංශය වුව ද කල්යෑමේ දී ඒ මුල් කෘතියට තව තවත් පද්‍යයන් එකතු කිරීමෙන් එය ඉතා දීර්ඝ කාව්‍යයක් බවට පමුණුවා තිබේ. ප්‍රමාණයෙන් වෙනස්වූ මෙම කෘතියෙහි සංස්කරණයෝ ද කිහිපයෙකි. විස්තෘත සංස්කරණයෙහි අපභ්‍රංශ ලක්ෂණ ද බෙහෙවින් ඇතත් එහි භාෂාව ප්‍රාචීන රාජස්ථානී නොහොත් ව්‍රජභාෂා සංඛ්‍යාත පැරණි පශ්චිම හින්දිය වෙයි. අපභ්‍රංශ ප්‍රෘකෘතය නව්‍ය ඉන්දු ආර්‍ය්‍ය භාෂාවන්ගේ ස්වරූපයට පරිවර්තනය වන අයුරු මෙම කාව්‍යය මොනවට පැහැදිලි කරයි.
පූර්වෝක්ත අපභ්‍රංශ මහා කාව්‍යයන් හැර රඉඝූ, යශඃකීර්ති ආදි කවීන් විසින් රචනා කරන ලදුව මේ වන තුරුත් අප්‍රකාශිතව ජෛන භාණ්ඩාගාරයන්හි පමණක් දක්නා ලැබෙන තවත් අපභ්‍රංශ මහා කාව්‍යයෝ ද ඇත් මැයි.
අපභ්‍රංශ ඛණ්ඩකාව්‍යයන් අතුරෙන් පුෂ්පදන්තාචාරීන් විසින් සන්ධි චතුෂ්කයකින් සමන්විත කොට සෝමදේවයන්ගේ යශස්තිලක චම්පුයෙහි කථා වස්තුව ම කථා ශරීර කොට විරචිත ජසහර චරිඋ හෙවත් යශෝධර චරිතය ද, ජෛන වීරවරයකු වූ නාග කුමාරයන්ගේ චරිත කථාව වර්ණනා කිරීම් වශයෙන් සන්ධි නවකයින් යුක්තව රචිත ණායකුමාර චරිඋ හෙවත් නාගකුමාර චරිතය ද වැදගත් කෘති දෙකෙකි. කනකාමර මුනිහු විසින් කරකණ්ඩු හෙවත් කරණ්ඩු නම් රජක්හුගේ චරිතකථාව ගෙනහැර පාමින් කරකංඩු චරිඋ නම් කාව්‍යය සන්ධි දහයකින් යුක්ත කොට 11 වැනි ශතවර්ෂය ආරම්භයෙහි දී රචනා කරන ලදි. කරකණ්ඩු කථාව පාලි ජාතක කථාවස්තූන් අතර එන කුම්භ ජාතකයට අතිශයින් අනුරූපව සිටී.
දිව්‍යදෘෂ්ටි යන අපර නාමයකින් ද ප්‍රසිද්ධව විසූ ධාහිල නමැති කිවියකු විසින් පද්මශ්‍රී චරිතය දැක්වීම් වශයෙන් විරචිත පඋමසිරි චරිඋ නම් ඛණ්ඩ කාව්‍යය ජෛන ලබ්ධියට අනුකූල වූ වාතාවරණයක් ඇති කදිම ප්‍රේම කථාවෙකි. එය 8 වැනි ශතවර්ෂයටත් 12 වැනි ශතවර්ෂයටත් අතර කාලපරිච්ඡේදයෙහි දී විරචිතය යනු පිළිගැනීමයි.
හරිභද්‍රයන්ගේ නේමිනාථ චරිතයෙන් කොටසක් සණංකුමාර චරිඋ හෙවත් සනත් කුමාර චරිතය යන නාමයෙන් හැඳින්වේ. ශ්වේතාම්බර ජෛනයකු වූ හරිභද්‍රයන් විසින් 13 වැනි ශතවර්ෂයේ ආරම්භයෙහි දී මෙම කාව්‍යය රචනා කරන ලදැයි කියත්.
පූර්වෝක්ත කෘතීන් හැර තවමත් අප්‍රකාශිතව පවත්නා අපභ්‍රංශ ඛණ්ඩ කාව්‍යයන් අතුරෙහි වීර කවිහුගේ ජංබුසාමි චරිඋ හෙවත් ජම්බුස්වාමි චරිතය ද නයනන්දිහුගේ සුදංසණ චරිඋ හෙවත් සුදර්ශන චරිතය හා සකල විධිනිධාන කාව්‍යය ද 23 වැනි තීර්ථංකරයාණන් වන පාර්ශ්වනාථයන්ගේ චරිත නිරූපණය කෙරෙමින් පද්මකීර්ති නමැති කිවියකු විසින් විරචිත පාස චරිඋ හෙවත් පාර්ශ්ව පුරාණය ද ශ්‍රීධර නමැති කිවියකුගේ කෘතීන් වන පාසාණාහ චරිඋ, සුකුමාල චරිඋ හා භවිසයත්ත චරිඋ යන කාව්‍යත්‍රය ද දේවසේන ගණීන්ගේ සුලෝචනා චරිඋ හෙවත් සුලෝචනා චරිතය ද ලාඛූ නොහොත් ලක්ඛණ නමැති කිවියාගේ ජිණදත්ත චරිඋ හෙවත් ජිනදත්ත චරිතය ද ලඛමදේව නොහොත් ලක්ෂ්මණදේව නමැති කිවියාගේ ණෙමිණාහ චරිඋ හෙවත් නේමිනාථ චරිතය ද, ධනපාලයන්ගේ බාහුබල චරිතය ද කිහිපයෙකි. මේවායින් සමහරක අපභ්‍රංශ ලක්ෂණ හාත්පසින් ම දක්නට ලැබෙතත් ඒවා නව්‍ය භාෂාවන්ට අයත් පැරණි සාහිත්‍ය කෘතීන් අතුරෙහි ලා ගිණිය හැකිය.
ලෞකික පක්ෂයට අයත් අපභ්‍රංශ ඛණ්ඩ කාව්‍ය අතුරෙහි මුල් ම මුස්ලිම් කිවියා වන අද්දහමාණ නොහොත් අබ්දුල් රහමාන් විසින් විරචිත සන්දේශ රාසකය ප්‍රේම කථාවෙකි. මුස්ලිම් ලබ්ධිකයකු අතින් හින්දු සභ්‍යතාව නොහොත් භාරතීය සභ්‍යතාව මැනැවින් නිරූපිත වී ඇති අයුරු එයින් දැක්වේ.
මිථිලාවාසි උගත් බ්‍රාහ්මණයකු වූ විද්‍යාපති නමැති කිවියකු විසින් 15 වැනි ශතවර්ෂය පමණේ දී වැඩුණු අපභ්‍රංශ විශේෂයකින් හෙවත් පැරණි මෛථිලියෙන් රචනා කරන ලද කීර්තිලතාව ඓතිහාසික චරිත කාව්‍යයෙකි. එයින් කිවියාගේ අනුග්‍රාහක කීර්තිසිංහ රජුගේ ගුණ ගායනයක් කෙරේ.
අපභ්‍රංශ මුක්තක කාව්‍ය අතුරෙන් බොහොමයක් ජෛන ධර්මයෙහි ජීවය, ආත්මය, පරමාත්මය වැනි විෂයයන් පිළිබඳ ඉගැන්වීම් ඇතුළත් ආධ්‍යාත්මික පක්ෂයට හෝ නීතිය, සදාචාරය, උපදේශ ආදිය පිළිබඳ ඉගැන්වීම් ඇතුළත් ආචාරාත්මක පක්ෂයට හෝ අයත්ය. කාව්‍යයන්ගෙන් කිහිපයක් බෞද්ධ සිද්ධයන්ගේ වජ්‍රයානය, සහජයානය වැනි ඉගැන්වීම් ඇතුළත් ග්‍රන්ථයෝයි. මෙසේ යෝගීන්ද්‍රාචාර්‍ය්‍යයන්ගේ පරමප්පයාසු හෙවත් පරමාත්ම ප්‍රකාශය, යෝගචන්ද්‍රමුනිහුගේ යෝගසාරය හෙවත් දෝහාසාරය, මුනිරාමසිංහයන්ගේ පාහුඩ දෝහාව, සුප්‍රභාචාර්‍ය්‍යයන්ගේ වෛරාග්‍යසාරය යනාදිය ආධ්‍යාත්මික අංශයට ද, දේවසේනයන්ගේ සාවයධම්මදෝහාව, ජිනදත්ත සූරීන්ගේ උපදේශරසායනසාරය, මහේශ්වර සූරීන්ගේ සංයම මඤ්ජරිය යනාදිය ආධිභෞතික අංශයට ද අයත් කෘතීහුයි. මහාමහෝපාධ්‍යාය හරප්‍රසාද ශාස්ත්‍රී පඬිතුමන් විසින් 1916 දී ප්‍රකාශයට පමුණුවන ලද බෞද්ධ ගාන ඕ දෝහා නමැති ග්‍රන්ථය ද, ප්‍රබෝධ චන්ද්‍ර බාග්චි මහතුන් විසින් 1938 දී පළ කරවන ලද දෝහා කෝෂය ද, ඒ මහතුන් විසින් ම ශාන්ති භික්ෂු ශාස්ත්‍රීන්ගේ සහාය ඇතිව 1956 දී ප්‍රකාශිත චර්‍ය්‍යාගීත කෝෂය ද, නොබෝ කලකට පෙර රාහුල සාංකෘත්‍යායන පඬිතුමන් විසින් සකස් කොට ප්‍රකාශයට පත් කරවන ලද දෝහා කෝෂය ද තන්ත්‍රයානයට අයත් බෞද්ධ සිද්ධයන් විසින් අපභ්‍රංශ භාෂාවෙන් සම්පාදිත රචනාවන්ගෙන් යුත් කෘතීහු වෙත්.
පූර්වෝක්ත අපභ්‍රංශ කෘතීන් හැර බෙහෙවින් ම ලෞකික පක්ෂයට අයත් වූ මුක්තක කාව්‍ය, රූපක කාව්‍ය, කථාග්‍රන්ථාදි විවිධ රචනාවන් රාශියකින් ද අපභ්‍රංශ සාහිත්‍යය පෝෂිත වී තිබේ. අපභ්‍රංශ සාහිත්‍යය පිළිබඳ දීර්ඝ විස්තරයක් හරිවංශ කෝෂඩ මහතුන් විසින් හින්දි භාෂාවෙන් සම්පාදිත අපභ්‍රංශ සාහිත්‍ය නමැති ග්‍රන්ථයෙහි දැක්වේ.
(සංස්කරණය:1963)