අපරාජිත පර්යංකය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හෙවත් අපරාජිත පල්ලංකය නම් බුදුවන විට බෝසතාණන් වහන්සේ බෝමලු වැඩහුන් පර්යංකය හෙවත් ආසනයයි. බෝසතාණන්වහන්සේ‍ බෝමැඩට වැඩ බෝමුල කුසතණ අතුට බෝකඳට පිට දී පෙරදිගට මූණලා පලක් බැඳ වැඩ සිටි සේක් "මාගේ ශරීරයේ ඇට සම් නහර ඉතිරිවැ මස් ලේ වියළී ගිය නමුත් බුදු නොව නැඟී නොසිටිම් මය" යන වීර්‍ය්‍ය සම්පන්න වූ අධිෂ්ඨානයෙනි. උන්වහන්සේගේ අදහස මුදුන් පැමිණිණ. මාරයාට පවා උන්වහන්සේ‍ගේ ධෛර්‍ය්‍ය බලය බිඳලනු බැරි විය. එසේ කිසිවකු විසින් පරාජය නොකළ හැකි හිඳුමක් නිසා ඒ හිඳුම හෝ අසුන අපරාජිත පර්යංකය යන නමින් පළ විය. පලක් බැඳ වැඩහුන් තැනට ද අපරාජිත පර්යංකය යන නම උපචාර වශයෙන් යෙදේ. බෝමුල කුසතණ අතුට කල තුදුස්රියන් විදුරසුනක් පැන නැඟි බව ඇතැම් ග්‍රන්ථවල සඳහන් වේ. මේ අපරාජිත පර්යංකයට වජ්‍රාසන-විදුරසුන-නම යෙදෙන්නේ වජ්‍රයක් මෙන් බිඳිය නොහැකි, සෙලවිය නොහැකි යන තේරුමෙන් බවත් ආචාර්‍ය්‍යවරු පවසති. අපරාජිත පර්යංකයත්ත, මංගල පර්යංකයත්, අභේද්‍ය පර්යංකයත්, වීර්‍ය්‍ය පර්යංකයත්, වර පර්යංකයත්, බෝධි පර්යංකයත් එක ම ව්‍යවහාරයක් බව මහා‍බෝධිවංශ ග්‍රන්ථිපද විවරණාදියෙන් පෙනේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපරාජිත_පර්යංකය&oldid=2008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි