අපරාධ
අපරාධ යන්නෙහි අර්ථය ඉඳුරා ම විග්‍රහ කිරීම සුකර නොවේ. එයින් වාච්‍ය වනුයේ සමජයෙන් මෙන් මනුෂ්‍යයා සමාජයෙහි පිළිපදිනු ලබන සාධුසම්මත නීති කැඩීමක්ය යනු ඇතැමුන්ගේ මතයයි. එම නීති කැඩීම සමාජයට අහිතකර යයි සැලකෙන බැවින් ඇතැම් අය සමාජ විරෝධි ක්‍රියා අපරාධ ලෙස හඳුන්වති. කරුණාව, අවංක භාවය ආදි මානුෂික හැඟීම්වලට විරුද්ධ වූ, එහෙයින් සමාජයට ද අහිතකර වූ ක්‍රියා අපරාධ ගණයේ ලා සැලකූ ගරාෆාලෝ ඒවා ස්වභාව අපරාධ (natural crime) ලෙස හැඳින්විය.
මෙම අර්ථ විග්‍රහයෙහි ප්‍රධාන දුර්වලකම නම් එයින් දැක්වෙන අන්දමේ නියමිත මනුෂ්‍ය ස්වභාවයක්, අනුභූතිසත්‍යයක් (empirical fact) වශයෙන් දක්නට නොලැබීමයි. කාලය හා දේශය අනුව මනුෂ්‍ය ස්වභාවය වෙනස්වන බව මානව විද්‍යාවේ සොයාගැනීම්වලින් පෙනේ. හොඳ නරක පිළිබඳ හැඟීම්, කාලය, දේශය, ලබ්ධිය, පුද්ගලයන් ආදිය අනුව වෙනස් වේ. දේපළ පැහැර ගැනීම පිළිබඳව සාමාජවාදියකුගේත් ධනවාදියකුගේත් අදහස් අතර වෙනසක් පවතිනු ඇත. ඇතැම් සමාජයක ළදරු ඝාතනය, මනුෂ්‍යමාංසභක්ෂණය, සොරකම යනාදිය හොඳ ක්‍රියා ලෙස සැලකීමට ඉඩ ඇති නමුත් ඒවා අතිශයින් සමාජ විරෝධී ලෙස වෙනත් සමාජයක සලකනු ලැබිය හැකිය. කතෝලිකයා හා රෙපරමාදු ලබ්ධිකයා දික්කසාදය දෙවිධියකින් සලකනු ඇත. සදලන්ඩ් නමැති සමාජ විද්‍යාඥයාගේ අදහස අනුව සමාජයේ උසස් පන්තිවල අය විසින්, විශේෂයෙන් ම ව්‍යාපාරිකයන් විසින් කරනු ලබන හොර බොරු වංචා ආදිය අපරාධ ගණයේ ලා සැලකිය යුතුය. මේ සඳහා ඔහු "කන්තෝරුකාරයන්ගේ අපරාධ" (white collar crime) යන සංකල්පය යෙදීය. අපරාධ යන්න පිළිබඳ යථෝක්ත අර්ථ විග්‍රහයේ දුර්වලතා ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වේ.
අපරාධ යන්නෙහි තවත් අර්ථ විග්‍රහයකට අනුව එයින් සමාජයක අපරාධ නීතිය උල්ලංඝනය කරන ක්‍රියා දැක්වේ. එවැනි ක්‍රියා සමාජයේ අපරාධ නීති පද්ධතිය අනුව දඬුවම් ලැබිය හැකි ක්‍රියාය. මේ අන්දමින් සලකනු ලබන අපරාධ පිළිබඳ සංකල්පය වූකලි නීතිවිද්‍යාත්මක සංකල්පයකි. එහි ද මූලික වශයෙන් ඉහත දක්වන ලද අර්ථ විග්‍රහයෙහි දක්නා දුර්වලතාවෝ දක්නට ලැබෙත්. කිසියම් සමාජයක නීති පද්ධතිය ද එම සමාජයට හා නියමිත කාලපරිච්චේදයකට සීමා වී ඇති බැවිනි. එහෙයින් මෙම අර්ථ විග්‍රහය අනුව අපරාධ යන්න කාලය හා දේශය අනුව වෙනස් වේ. මේ නිසා විද්‍යාත්මක කටයුතු සඳහා මෙම අර්ථ විග්‍රහයේ අගය හීන වෙයි. තවද ලේඛනාරූඪ නීති පද්ධතියක් නොමැති ප්‍රාකෘත සමාජවල අපරාධ යනු මොනවාදැයි නිශ්චය කිරීම ද මේ අනුව දුෂ්කර වෙයි. එවැනි සමාජවල, අපරාධ නීති පද්ධතියක කාර්‍ය්‍යය ගෝත්‍රීය චාරිත්‍ර විධි, තහනම් ක්‍රම ආදිය මගින් ඉටුකැරෙන බව ද, චාරිත්‍රය නීතිය ලෙස හා චාරිත්‍ර විරෝධි ක්‍රියා නීති විරෝධී ක්‍රියා ලෙස ද සැලකීමට අපට සිදුවෙයි.
අපරාධ යන්නෙන් නානා දේශවල නානා විධියේ ක්‍රියා හැඳින්වෙන නමුත් රාජ්‍යයට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම, ලිංගික අයිතිය හා දේපළ අයිතිය උල්ලංඝනය කිරීම ආදිය බොහෝ සමාජවල අපරාධ ලෙස සැලකේ. මේ අනුව සමාජයක අපරාධ නීතිය එහි සමාජ විරෝධී ක්‍රියා අඟවන සූචකයක් වෙතැයි සෙලින් නමැති සමාජ විද්‍යාඥයා පවසා ඇත. එසේ වුව ද සමාජයක සංකීර්ණත්වය වැඩිවෙත් ම සමාජ කොට්ඨාස අතර ඇතිවන ගැටුම් බේරීම සඳහා ආරක්ෂක නීති හා පුරා තහනම් නීති ආදිය වැඩිවිය හැක. නමුත් මේවා උල්ලංඝනය කිරීම සමාජ විරෝධී ක්‍රියා හැටියට ඇතැමුන් විසින් නොසලකනු ලැබීමට ඉඩ තිබෙන බව ද එවැනි අවස්ථාවක අපරාධ නීතියෙන් සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබිඹු නොවන බව ද සෙලින් කීය.
අපරාධ යනු අපරාධ නීතිය උල්ලංඝනය කිරීමක්ය යන නීති විද්‍යාත්මක අර්ථ විග්‍රහය ප්‍රමාණවත් නොවේ. එහෙත් අපරාධවල ප්‍රමාණය, ස්වරූපය ආදිය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීමෙහි ලා මෙම අර්ථ විග්‍රහය තරමක් දුරට ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ම මේ සඳහා ප්‍රයෝජනවත් වී ඇත්තේ පොලිස් හා අධිකරණ ආයතනවල සංඛ්‍යා ලේඛනය. නා නා රටවල් අතර අපරාධ තත්ත්වය සංසන්දනය කරනු ලබන්නේ මේ අනුවය. එහෙත් ඒ ඒ රටවල අපරාධ ගවේෂණ තත්වයේ දියුණුව, අපරාධ මිම්ම ආදිය වෙනස්වන නිසා මෙම සංසන්දනය සර්ව සම්පූර්ණ යයි සැලකිය නොහැකිය. තවද අපරාධ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වන්නේ වාර්තාගත අපරාධ පමණක් බැවින් නියම අපරාධ තත්වය එයින් නිවැරදි සේ පිළිබිඹු වෙතැයි කිව නොහේ.
පොත්පත්:
Radcliff. Brown, A. R. Structure & Function in Primitive Society
Jones, H. – Crime & the Penal system
Sutherland, E. H. – Criminology
(සංස්කරණය:1963)