අපරාධ විමර්ශන විද්‍යාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අපරාධ හා අපරාධ හේතු අධ්‍යයනය කරන විද්‍යාව මෙනමින් හැඳින්වේ. ඒ වූකලී සමාජ විද්‍යාවේ එක් අංශයක් ලෙස සැලකිය හැකිය. අපරාධ මර්දනය උදෙසා සමාජය විසින් දරනු ලබන ප්‍රයත්නය ද අපරාධ විමර්ශන විද්‍යාවේ ම අංගයක් ලෙස සමහරු සලකත්.

අධ්‍යයන ක්‍රම

භෞතික විද්‍යාවන්හි දී මෙන් පර්යේෂණාගාර ආදි ස්ථානවල කළ හැකි අන්දමේ සියුම් පර්යේෂණ සමාජ විද්‍යාවන්හි දී කළ නොහේ. එහෙත් භෞතික විද්‍යාවන්හි පිළිපදිනු ලබන පර්යේෂණ නීතිරීති ආදිය තරමක් දුරට සමාජ විද්‍යා පර්යේෂණවල දී ද පිළිපැදිය හැකිය. මෙසේ අපරාධ විමර්ශනය කරන විද්‍යාඥයන් විසින් උපයෝගි කොට ගනු ලබන අධ්‍යයන ක්‍රම කීපයකි.

සංඛ්‍යාලේඛන ක්‍රමය: මෙයින් කෙරෙන්නේ අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන පන්තියක් රැකීරක්ෂා හිඟය පිළිබඳ සංඛ්‍යාලේඛන වැනි වෙනත් සංඛ්‍යාලේඛන පන්තියක් හා සංසන්දනය කිරීමය. කිසියම් කාලපරිච්‍ඡේදයකට අයත් අපරාධකරුවෝ කුමන තත්වයේ අය ද යන්න මේ නයින් සංඛ්‍යාලේඛන අනුව නිශ්චය කරගත හැකිය. මේ ආදි වශයෙන් නොයෙක් විදියේ සැසඳුම් කළ හැකිය. මේ සැසඳීම්වලින් සංඛ්‍යාලේඛන පන්ති කීපයක් අතර, කිසියම් සම්බන්ධතාවක් පෙනී යා හැකි නමුත් ඒ වූකලී හේතුඵල සම්බන්ධතාවක් යයි කිසිසේත් නිශ්චය කොට කිව නොහැකිය.

අපරාධකරුව‍න්ගේ චරිතශෝධනය අධ්‍යයනය කිරීම: මෙයින් ද අපරාධයට හේතු සොයා ගත හැකි යයි කල්පනා කරනු ලැබේ. චරිතශෝධන ක්‍රම යොදනු ලබන්නේ අපරාධකරුවා කිසියම් වර්ගයක චරිත ව්‍යාධියකින් පෙළෙතැයි යන අනුමානය පිට බැවිනි. ඉදින් ශෝධනය සාර්ථක වී නම්, අපරාධයට හේතු වූයේ අනුමාන වශයෙන් සිතාගන්නා ලද චරිත ව්‍යාධිය බව සලකා ගනු ලැබේ. මේ ක්‍රමයෙහි ද දුර්වලකම් රාශියක් ඇති බව පෙනේ. චරිතශෝධනයෙන් පසුව ද අපරාධ කළ ඇතැම් අය නීතියේ රැහැනට අසු නොවනු විය හැකිය. තවද අපරාධකරුවා තුළ සිදු වූ වෙනසට හෙවත් ඔහුගේ චරිතශෝධනයට හේතු වූයේ යොදා ගන්නා ලද චරිතශෝධන උපක්‍රම ද නැතහොත් වෙනයම් කරුණක් ද යන්න අවිනිශ්චිතය.

සමූහ සංසන්දන ක්‍රමය: මෙය භෞතික විද්‍යාවන්ගෙන් කෙළින් ම ණයට ගන්නා ලද ක්‍රමයකි. ඒ මෙසේය. කිසියම් පරිසරයක් අපරාධ ඇතිවීමට හේතුවේදැයි දැනගැනීමට වුවමනා නම්, එම පරිසරයේ හැදී වැඩුණවුන් කණ්ඩායමක් තෝරාගෙන, ඔවුහු කොපමණ දුරට අපරාධකරුවෝ දැයි මුලින් ගණන් බලනු ලැබේ. ඊළඟට අනික් හැම කරුණකින් ම ඉහත සඳහන් කණ්ඩායමට සමාන, එහෙත් වෙනත් පරිසරයක වැඩුණු පුද්ගලයන් කණ්ඩායමක් තෝරාගෙන, ඔවුහු කොතරම් දුරට අපරාධකරුවෝ දැයි විග්‍රහ කර බලනු ලැබේ. මුල් කණ්ඩායමේ අපරාධකරුවන්ගේ සංඛ්‍යාව අනික් කණ්ඩායමේ අපරාධකරුවන්ගේ සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අධික නම්, මේ අපරාධයන්ට හේතුව පරිසරය යයි තීරණය කෙරේ. මෙම ක්‍රමයෙහි ද දුර්වල තැන් ඇති බව පැහැදිලිය. තෝරාගත් කණ්ඩායම් දෙක එක සමාන වීම ඉතාමත් කලාතුරකින් සිදුවන්නකි.

ප්‍රදේශ ක්‍රමය: ඇතැම් අපරාධ විමර්ශකයෝ අපරාධකරුවන්ගේ ලිපිනය අසා, ඔවුන්ගේ පදිංචි ස්ථාන සිතියමක ලකුණු කළහ. එසේ කිරීමෙන් කිසියම් ප්‍රදේශයක අන් ප්‍රදේශයකට වඩා අපරාධ සිදු වී ඇති බව දැනගත්හ. අපරාධ සංඛ්‍යාව ගණන් ගැනීම ජනගහනයට අනුපාතිකව සිදුවිය යුතුය. එහෙයින් මේ ක්‍රමයෙන් අපරාධ සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබා ගැනීම අරභයා ජනගහනය පිළිබඳ තත්කාලීන සංඛ්‍යාලේඛන අවශ්‍යය.

සූක්ෂ්ම චරිත විග්‍රහ ක්‍රමය: මේ වනාහි තනි තනි අපරාධකරුවන් හෝ එකට හැසිරෙන අපරාධකාරී කණ්ඩායම් හෝ සියුම් ලෙස ‍විග්‍රහ කොට මානසික හේතුඵල සම්බන්ධතා නිශ්චය කිරීමේ ක්‍රමයයි. මෙම ක්‍රමයෙහි දී ම‍නෝවිද්‍යාව බෙහෙවින් පිහිට කොට ගනු ලැබේ.

අපරාධ විමර්ශක මත

අපරාධයන්ට හේතූන් විද්‍යාත්මක ලෙස ගවේෂණය කිරීම 18 වන ශතවර්ෂය පමණ වන තෙක් පටන් නොගැනිණ. ඒ උදාසීනත්වයට හේතුව වශයෙන් දැක්විය හැක්කේ අපරාධකරුවා දෙවියන්ගේ අණ කඩකරන පාපකාරී පුද්ගලයකු ලෙස සලකනු ලැබීම ‍දෝයි සිතිය හැකියි. ජීව විද්‍යාව හා කායික විද්‍යාව අපරාධ හේතූන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය වශයෙන් දක්වන ලද උනන්දුවට පදනම විය. ලවටර් (1741 – 1801) හා ගෝල් (1758 – 1828) යන දෙදෙනා අපරාධ විමර්ශන විද්‍යාවේ ආදිකර්තෘන් ලෙස සැලකිය හැකිය. අපරාධකරුවාට සාධාරණ ලෙස සැලකිය යුතු යයි කී මොන්ටෙස්කු, වොල්ටෙයාර්, බෙකාරියා, බොනෙසානා, එලිසබත් fප්‍රයි, ජෝන් හවඩ් ආදීන්ගේ අදහස් ද අපරාධ හේතු පිළිබඳ විද්‍යාත්මක ගවේෂණ පටන් ගැනීමට කරුණු වන්නට ඇත.

ශාරීරික අංගෝපාංග පිළිබඳ මත: මේ පිළිබඳ මුල් ම මතය ඉදිරිපත් කරන ලද්දේ වර්තමාන අපරාධ විමර්ශන විද්‍යාවේ පුරෝගාමියා ලෙස සැලකෙන ඉතාලි ජාතික වේසාර් ලොම්බ්‍රෝසෝ (1836 – 1909) විසිනි. ලොම්බ්‍රෝසෝගේ ප්‍රධාන මතය වූයේ අපරාධකරුවා යම් යම් නිශ්චිත සහජ ශාරීරික ලක්ෂණයන්ගෙන් යුක්ත වූවෙකැයි යන්නත් ඒවා මනුෂ්‍යයාගේ පරිණාමයේ කිසියම් මුල් අවස්ථාවකට අයත් ලක්ෂණය යන්නත්ය. මේ අන්දමේ ලක්ෂණ මනුෂ්‍යයන් තුළ පිහිටා ඇත්තේ මන්ද යන වග ඔහු තේරුම් කෙළේ අතීතාභරණය (atavism) පිළිබඳ ජීවවිද්‍යාත්මක මූලධර්මය අනුවය. "අපරාධකාරී ලක්ෂණ" ලෙස ඔහු හැඳින්වූ ලකුණු යටත් පිරිසෙයින් පහක්වත් ඇති තැනැත්තා අපරාධකාරයෙකැයි ඔහු කීය. පසු කාලයේ දී ඔහු මෙම මතය වරින්වර වෙනස් කෙළේය. ලොම්බ්‍රො‍්සෝගේ මතය නොයෙක් විධියේ විවේචනවලට භාජන වී ඇත. අපරාධකරුවන් කෙරෙහි අපරාධකාරී ලක්ෂණ ඇති බව ඔහු පෙන්වූ නමුත්, අපරාධකරුවන් නොවන අය කෙරෙහි එම ලක්ෂණ නැති බව ඔහු ඔප්පු කෙළේ නැත. විද්‍යාත්මක පර්යේෂකයන්ගේ භාෂාවෙන් කියතොත්, ඔහුගේ සිද්ධාන්තයන් ඔප්පු කිරීමේ දී සමූහ-සංසන්දන ක්‍රමය ඔහු විසින් උපයෝගි කොට නොගන්නා ලදි. තවද, අපරාධකාරිත්වය හා 'අපරාධකාරී ලක්ෂණ' එකිනෙකට සම්බන්ධව පවත්නේ වී නමුත්, අපරාධකාරිත්වය සහජයෙන් ම පිහිටන්නක් බව එසේ පැවැත්මෙන් ඔප්පු නොවේ. සමහර විට, විකෘත ශාරීරික ලක්ෂණ නිමිත්තෙන් නින්දා පරිභවයට ලක්වීම හේතු කොටගෙන, එවැනි ලක්ෂණ සහිත තැනැත්තා අපරාධකරුවකු බඳු විය හැකිය. තවද, ලොම්බ්‍රො‍්සෝ අතිතාහරණ ලක්ෂණ යයි සිතූ ලක්ෂණ එසේ ම බවට ද සාක්ෂි නැත. ලොම්බ්‍රෝසෝ මතය සාවද්‍ය බව චාල්ස් ගෝරිං නම් ඉංග්‍රීසි ජාතික බන්ධනාගාර වෛද්‍ය නිලධාරියකු විසින් පසු කාලයක කරන ලද පර්යේෂනයන්ගෙන් බොහෝ දුරට ඔප්පු විය. අපරාධකරුවන් 3000ක් පමණ නීතිගරුක රටවැසියන් හා සසඳමින් ඔහු කළ සවිස්තර පර්යේෂණ අනුව, අපරාධකාරී ශාරීරික ලක්ෂණ පිළිබඳ මතය සනාථ කිරීමට සාක්කි නැතැයි ඔහු තීරණය කෙළේය.

ලොම්බ්‍රෝසෝගේ මතයන්හි සත්‍යතාවක් ඇතැයි දැක්වීමට හූට්න් නම් ඇමෙරිකන් ජාතිකයා ගත් උත්සාහය ද සාර්ථක වූවක් සේ නොසැලකේ. එසේ වුව ද, ලොම්බ්‍රෝසෝ වර්තමාන අපරාධ විමර්ශන විද්‍යාවේ ප්‍රාරම්භකයා ලෙස නිසැකින් ම සැලකිය හැක. අපරාධ හේතු විමර්ශනය දේවධර්මශාස්ත්‍රඥයන්ට අයත් ප්‍රශ්නයකැයි එකල පැවති මතය fපෙරි හා ගරොfපලෝ යන ස්වකීය ශිෂ්‍යයන් දෙදෙනාගේ ආධාර ඇතිව ලොම්බ්‍රෝසෝ බිඳ දැමීය. අපරාධ හේතු ස්වාභාවික හේතුඵලවාදය අනුව ‍තේරුම් කළ යුක්තක්ය යනු ඔහුගේ ඒකාන්ත විශ්වාසය විය. මේ වූකලී එකල තත්ත්වය අනුව කල්පනා කරන විට ඉතාමත් විප්ලවකාරී අදහසකි. අපරාධහේතු පිළිබඳ වර්තමාන විද්‍යානුකූල ගවේෂණයේ මුල වූයේ මෙම අදහසයි. මනුෂ්‍යයාගේ පාපකාරී ස්වභාවය නිසා අපරාධ සිදුවෙතැයි යන පැරණි මතය අතහැර දමා, අපරාධකරු දෙස ම අවධානය යොමු විය. මෙසේ අනුක්‍රමයෙන් පසු කාලයේ ඇති වූ ඵලදායක පර්යේෂණයන්ට ලොම්බ්‍රෝසෝ මුල පිරීය. නවීන අපරාධ විමර්ශන විද්‍යාවේ පියා හැටියට ඔහු හැඳින්වෙන්නේ මේ කරුණු නිසාය.

ක්‍රෙට්ෂ්මර් ආදීන්ගේ මතය: ක්‍රෙට්ෂ්මර් නමැති මනෝවිග්‍රහ විද්‍යාඥයා ද, ශාරීරික ලක්ෂණ හා ගතිගුණ අතර සම්බන්ධතාවක් ඇතැයි දක්වන්නට මෑත කාලයේ දී උත්සාහ ගත්තේය. ඔහු (1) සිහින් උස් සිරුරින් යුත් (asthenic) අය, (2) වටකුරු මුහුණුවලින් යුත් "වටකුරු" සේ පෙනෙන (pyknic) අය, (3) හොඳින් වැඩුණු සිරුරෙන් යුත් (dysplastic) අය යයි සියලු ම මිනිසුන් කොටස් සතරකට බෙදා දැක්වීය. (1) වැනි කොටසට අයත් අය සමාජප්‍රිය කාරුණිකයන් වුවද ඉක්මනින් වෙනස්වන මානසික තත්වයක් ඇති අය බව ද (cyclothymic) අනික් කොටස්වල අය භාවහීනයන් බව ද, ශාන්ත ගතිගුණ ඇත්තන් බ වද (schizothymic) ඔහු කීය. ක්‍රෙට්ෂ්මර්ගේ තීරණය වූයේ දෙවැනි කොටසට අයත් අය අනික් කොටස්වලට අයත් වූවන් තරම් අපරාධවලට නොපෙලඹෙන බවය. එහෙත් යම් කිසිවෙක් ඉහත සඳහන් කොටස් අතුරින් නියම වශයෙන් කොයි කොටසට අයත් දැයි නිශ්චය වශයෙන් කිව නොහැකිය. අප සැමදෙනා ම සැලකිය හැක්කේ මෙම වර්ගවල සම්මිශ්‍රණ ලෙසය. ඩබ්ලිව්. ඒ. ෂෙල්ඩන්ගේ පර්යේෂණයෙහි දී මෙම කාරණය පිළිගෙන ඒ අනුව පර්යේෂණය සකස් කොට ඇත. ෂෙල්ඩන්ගේ පර්යේෂණය ඉතා වැදගත් ලෙස සලකනු ලැබේ. ඔහුගේ තීරණය වූයේ ද එක්තරා කොටසක අය වැඩියෙන් අපරාධ කිරීමට පෙළඹෙන බවයි. පසුව ඇස්. ග්ලුක්, ඊ. ග්ලුක් යන දෙදෙනා විසින් කරන ලද සුප්‍රසිද්ධ පර්යේෂණයෙන් ද ෂෙල්ඩන්ගේ තීරණය තහවුරු කරන සාක්ෂ්‍ය ලැබුණි. ශාරීරික තත්වය හා අපරාධකාරිත්වය පිළිබඳව මෑත දී පර්යේෂණයට භාජන වුණු තවත් කාරණයක් නම්, මනුෂ්‍ය ගතිගුණ හා අන්තඃසර්ග ග්‍රන්ථි අතර සම්බන්ධතාවයි. මේ අනුව ඍෂ්ට්‍යංග (gonad), පරාග (තයිරොයිඩ්), පිටියුටරි හා වෙනත් ග්‍රන්ථි නියම ප්‍රකාර ක්‍රියා නොකිරීම නිසා අපරාධකාරිත්වය ඇතිවේ දෝ යන්න අනුමාන කරන ලදි. මේ සම්බන්ධයෙන් නිශ්චය වශයෙන් තීරණයක් දිය හැකි තරම් සාක්ෂි ත වම ලැබී නැත.

විද්‍යුත් නිධිකර්පර රේඛය (electro-encephalograph) නමැති සියුම් යන්ත්‍රයක ආධාරයෙන් ද ෂෙල්ඩන්ගේ මතයන්හි සත්‍යතාව සෙවීමට උත්සාහ දරා ඇත. මේ උපකරණයෙන් පර්යේෂණ පැවැත්වූවන් අතුරින් ප්‍රධාන දෙදෙනකු වන හිල් හා වොටර්සන් අපරාධකරුවන්ගේ මස්තිෂ්ක රිත්මය සාමාන්‍යයෙන් කුඩා ළමයින්ගේ මස්තිෂ්ක රිත්මයට සමාන බව දුටහ. මෙයින් මොළයෙහි යම්කිසි නුමූකළ බවක් දැක්වේ යයි සලකන ලදි. හිල්, ස්ටැfපඩ් ක්ලාක්, ටේලර් යන තිදෙනා මරණීය දණ්ඩනය පිළිබඳ රාජකීය කොමිසන් සභාව ඉදිරියේ සාක්කි දෙමින්, මිනීමරුවන් 94 දෙනෙකු සම්බන්ධයෙන් විද්‍යුත් නිධිකර්පර රේඛක පරීක්ෂණය කළ බවත්, ඔවුන්ගෙන් 44 දෙනකු අස්වාභාවික මස්තිෂ්ක රිත්මයෙන් යුතු වූ බව හෙළිවුණු බවත් කීහ. මෙම අස්වාභාවිකත්වය දක්නට ලැබුණේ ප්‍රධාන වශයෙන් අනියම් මිනීමරුවන්ගේ වත් හොඳින් හිතාමතා මිනීමැරීම් කළවුන්ගේ වත් නොව, නිශ්චිත පරමාර්ථයකින් තොරව මිනීමැරුවවුන් සේ පෙනෙනවුන්, ලිංගික හේතු නිසා මිනීමැරුවවුන් හා මානසික රෝග නිසා මිනීමැරුවවුන් කෙරෙහිය. අස්වාභාවික විද්‍යුත් නිධිකර්පර රේඛක වාර්තා හා "අස්වාභාවික" යයි කිවහැකි මිනීමැරුම් අතර කිසියම් සම්බන්ධතාවක් ඇතැයි මෙයින් දැක්වෙන ලෙසක් පෙනේ. එසේ වුව ද මෙම අස්වාභාවික තත්වය සහජයෙන් ලැබෙන්නක් බව දැක්වීමට හෝ එය නිවාරණය කළ නොහැකි බව දැක්වීමට හෝ සාක්ෂි නොමැත. තවද ශාරීරික ලක්ෂණ හා අපරාධකාරිත්වය අතර කිසියම් සම්බන්ධතාවක් ඇති බව පෙන්වීමට හැකි වුව ද, එය හේතුඵල සම්බන්ධතාවක් යයි එපමණින් ඔප්පු නොවේ.

අපස්මාරය හා අපරාධකාරිත්වය අතර සම්බන්ධතාවක් ඇති බව මුලින් ම දක්නා ලද්දේ ලොම්බ්‍රෝසෝටත් පෙරය. අපස්මාර රෝගියා එම රෝගය වැලඳීමෙන් පසු ඇතිවන මානසික අවුල සහිත කාල පරිච්ඡේදය තුළ අපරාධකාරයකු ලෙස හැසිරිය හැකිය. රෝගියා කරා ඇතැම් විටක පැමිණෙන අපරාධකාරී පරිච්ඡේදය රෝගය වෙනුවට ඔහු වෙත පැමිණෙන්නකැයි ඇතැම් ස්නාසාවේද වෛද්‍යවරු (neurologists) අදහස් කරත්. කවදාවත් අපස්මාර නොවැලඳුණු අයටත් ඒ පරිච්ඡේදය පැමිණිය හැකැයි ඔවුහු අදහස් කරත්. කුඩා කාලයේ දී සුෂුප්ත නිධිකර්පරදාහය (encephalitis lethargica) නමැති ස්නාසාවේදීය රෝගය වැලඳුණවුන් අපරාධකාරීන් වීමට ඉඩ ඇතැයි ද සැලකේ.

අපරාධකාරිත්වය මන්දබුද්ධිය හා සම්බන්ධව පවත්නේය යන ගෝරිංගේ මතය එච්. එච්. ගොඩාර්ඩ් ප්‍රධාන සමහරු පිළිගනිති. මන්දබුද්ධිකයා ලේසියෙන් අපරාධකාරයකු විය හැකි බව පිළිගැනීම අපහසු නොවන නමුත් අපරාධකරුවන්ගේ බුද්ධිය සම්බන්ධ පර්යේෂණයන්හි දී මහත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වේ. පළමු කොට ම, වඩාත් බුද්ධිමත් අපරාධකරුවන් අසුනොවී බේරී සිටින හෙයින්, පර්යේෂණයන්හි දී අපරාධකරුවන්ගේ සාමාන්‍ය බුද්ධි තත්වය අඩු සේ දැක්වෙනු ඇත. පරීක්ෂණයට භාජන වන්නාගේ සිතේ බිය සැක, සිහිකල්පනාව මඳබව හෝ සංස්කෘතික හා අධ්‍යාපන පසුතලය යනාදිය බුද්ධිය මැනීමේ දී මුහුණපාන්නට වන දුෂ්කරතා කීපයකි. ඇතැම්විට "අඩු" සේ දැක්වෙන බුද්ධිය හා අපරාධකාරී හැසිරීම යන දෙක ම, භාවමය කරුණු හෝ පවුලේ අවාසනාවන්ත තත්වය වැනි එක ම හේතුවක ඵලය විය හැකිය.

අපරාධකාරිත්වය හා සහජ තත්වය: ගෝරිංගේ අනික් ප්‍රධාන මතය වූයේ අපරාධකාරිත්වය උත්පත්තියෙන් පිහිටන බවයි. එහෙත් ඔහු මෙම තීරණයට එළඹුණේ පවුලේ බලපෑම නිසි පරිදි ගණන් නොගත් නිසා යයි වර්තමාන ශාස්ත්‍රඥයෝ පවසත්. මානසික දුර්වලතාවය තරමක් දුරට සහජව එන බව දැන් පිළිගෙන ඇති නමුත්, එය රෝග හෝ හදිසි අනතුරු හේතුකොටගෙන උත්පත්තියෙන් පසුව ද ඇතිවිය හැකි බව සොයාගෙන තිබේ. අපරාධකාරිත්වය සහජයෙන් පිහිටි බව දැක්වීමේ වෙනත් දුෂ්කරතා ද බොහෝය. දෙමාපියන් අනුගමනය කිරීම නිසා යම් යම් පවුල්වල අපරාධකාරිත්වය සහජ සේ පෙනිය හැක. තවද සහජයෙන් ලැබෙන්නේ අපරාධකාරිත්වය ද, නැතහොත් ඊට හේතු විය හැකි මන්දබුද්ධික වැනි වෙන යම් දෙයක් ද යන ප්‍රශ්නය ද පැන නඟී. සහජයෙන් ලැබෙන්නේ මන්දබුද්ධිය නම්, අපරාධ කරන්නවුන් හා අපරාධ නොකරන්නවුන් ද එක ම පවුලේ සිටින්නේ මන්දැයි තේරුම් කළ යුතු වෙයි.

මනෝවිද්‍යාත්මක මත: ඇතැම් අපරාධයන්ට හේතුව මානසික දුර්වලතා බව තේරුම් ගැනීමට අපහසුවක් නැත. සයිකෝසියාව, ස්නාස්‍යය (නියුරෝසියාව) ආදි රෝග හේතුකොටගෙන අපරාධ කෙරෙන බව ප්‍රකට කාරණයකි. විපාටප්‍රේණිය (schizophrenia) නමැති සයිකෝසියා විශේෂය හේතුකොටගෙන මිනීමැරුම්, ස්ත්‍රී දූෂණය, ගිනිතැබීම්, සොරකම් ආදිය සිදුවී ඇත. පැරනොයා නමැති මානසික රෝගයෙන් පෙළෙන්නා යමකු තමාට විරුද්ධව කුමන්ත්‍රණ කරතැයි සිතා ඔහුට පහර දෙයි. ස්නාස්‍ය විශේෂයන්ට ගොදුරු වූ අය ද එසේ ම අපරධ කරත්. සිහිය විකල වූ අවස්ථාවල අපරාධ කරන අයට ඒ අපරාධ පසුව අමතක වේ. උන්මත්තක ස්නාස්‍ය රෝගියා, (obsessional neurotic) සොරකම, ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය, දඩාවතේ යෑම ආදි ඇතැම් නීතිවිරෝධී ක්‍රියා නොකර සිටීමට බැරි තරම් චිත්තවේගයකට ගොදුරු විය හැකිය. මේ කරුණු හේතුකොටගෙන අපරාධ පිළිබඳ ම‍නෝවිද්‍යාත්මක මත පහළ වී තිබේ. එහෙත් මානසික හා ශාරීරික හේතු අතර නිශ්චිත වෙන්කිරීමක් කළ නොහැකි බව පැහැදිලි කාරණයකි.

අපරාධ හේතු පිළිබඳ මනෝවිද්‍යාත්මක මතයක් ඉදිරිපත් කළ බ'ට් නමැත්තා චිත්තාවේගයන්ගේ තීව්‍රතාවේ ප්‍රමාණය විමසීම අපරාධ හේතු සෙවීමේ දී උපකාරී වන බව පවසයි. වුවමනාවට වඩා අනුන්ට යටත් වන අන්දමේ සිතක් ඇත්තන් ලේසියෙන් අපරාධ සඳහා පොලඹවා ගත හැකි වන බව ද බිය නිසා බොරු කීම, සොරකම් කිරීම ආදිය ඇති විය හැකි බව ද, බ'ට් පවසයි. මෙම මතය තව දුරටත් විස්තර කරන බ'ට් මෙබඳු විවිධ හැඟීම් පිටුපසින් කිසියම් "සාමාන්‍ය භාවමය තත්වයක්" ඇතැයි කියයි. මේ තත්වය අධික වශයෙන් ඇති අය ප්‍රචණ්ඩ විය හැකැයි ද හීන වශයෙන් ඇති අය භාවමය දරිද්‍රතාවෙන් යුතුව රෝගී මානසික ගතියෙන් පෙළෙන බව ද ස්වකීය අභ්‍යන්තරයට ම යොමා ගත් සිත් ඇත්තවුන් බව ද ඔහු කියයි. එහෙත් හැම මානසික අස්වාභාවිකත්වයට ම හේතුව කිසියම් සහජ අස්වාභාවිකත්වයක් යයි ගිණීමට තුඩුදෙන සාක්ෂ්‍ය නැති බව අපි දනිමු. කුඩා කල ළමයින් ඇති දැඩි කරන අන්දම අනුව යම් යම් මානසික අස්වාභාවිකත්වයන් ඇතිවන බව මානසික වෛද්‍යවරුන්ට ප්‍රත්‍යක්ෂ වී ඇති කරුණකි. බෝල්ඛි නමැත්තාගේ පර්යේෂණයන්ට පාත්‍ර වූ 74 දෙනකුන් අතර කුඩා අවධියේ අත්දැකීම් හේතු‍කොටගෙන මානසික දරිද්‍රතාවට පත්වූවන් 11 දෙනකු සිටි බව එම පර්යේෂණවලින් හෙළි විය.

මනෝ විග්‍රහ සිද්ධාන්තවාදීහු: පුද්ගලයාගේ භාවමය සංවර්ධනයෙහි දී කුඩා කල ලබන අත්දැකීම්වල ඇති වැදගත්කම අපට දැනගත හැකිව ඇත්තේ fප්‍රොයිඩ් හා ඔහුගේ ශිෂ්‍යානුශිෂ්‍යයන්ගේ මනෝ විග්‍රහවිද්‍යාත්මක සිද්ධාන්ත අනුසාරයෙනි. මේ අනුව බිළිඳා වනාහි සත්ත්වයකු හා සමාන ආත්මාර්ථකාමී, ප්‍රචණ්ඩ සහජ හැඟීම් ඇත්තෙකි. සමාජ ජීවිතයේ දී ඔහුගේ මෙම හැඟීම් ප්‍රකෘති විධියෙන් ම තිබිය නොහැකි බව ඔහු විසින් කල් යාමේ දී උගත යුතුය. මුලින් ම මෙම කාරණය ඔහුට උගන්වන්නෝ ඔහුගේ දෙමාපියෝය. ඔහු මානසික වශයෙන් නිරෝගී පුද්ගලයකු වන්නේ දෙමාපියන් ඔහුගේ හැඟීම් තදින් නොපාරමින් ඔහුගේ මූලික ආශාවන් අනුක්‍රමයෙන් තුනී කළොත් පමණි.දෙමව්පියන් වුවමනාවට වඩා දැඩි වුවහොත්, නැත්නම් ළමයාට ඉෂ්ටකර ගැනීමට ඉඩ නොදෙන කිසියම් ආශාවක් වෙනුවට ඔහුගේ තෘප්තියට හේතුවන යමක් ඉදිරිපත් නොකළොත් ඔහු බලාපොරොත්තු රහිත වෙයි. ‍ඒ හේතුවෙන් චණ්ඩ ද වෙයි. නැතහොත් ඔහුගේ ඇතැම් හැඟීම් "නරක"ය යන්න ඔහු තුළ අනුචිත පරිදි කාවැදුණොත්, "හොඳ" නාමය ගැනීමට යත්න දරන ඔහු "නරක" හැඟීම් යටපත් කිරීමට හෝ ඒවා තමා තුළ නැතැයි තමාට ම කියා ගැනීමට උත්සාහ දරයි. මනෝවිග්‍රහ විද්‍යාඥයා මෙම හැසිරීම නිග්‍රහණය (repression) යනුවෙන් හඳුන්වයි. මෙහි දී ළමයා කරන්නේ සිය හැඟීම් සිතින් දුරු කරගැනීම නොව ඒවා යටි හිතෙහි රඳවා ගෙන සිටීම යයි මනෝවිග්‍රහ විද්‍යාඥයා සලකයි. එබඳු පුද්ගලයාගේ යටි සිත තුළ පැසවන එම හැඟීම්වලින් ඔහුගේ හැසිරීමට නොයෙක් බාධා පැමිණේ.

පුද්ගලයාගේ මානසික දියුණුවේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස මනෝවිග්‍රහ විද්‍යාඥයා හඳුන්වන්නේ ළාබාලයා දෙමව්පියන් කී පලියට ම යමක් නොපිළිගෙන තමාගේ ම විනිශ්චය අනුව හොඳ නරක තීරණය කිරීමට පටන් ගන්නා අවස්ථාවයි. එහෙත් මෙහි දී සැබැවින් ම වන්නේ දෙමව්පියන්ගේ අදහස් නිතැතින් ඔහු සිතෙහි ස්වීය අංගයක් ලෙස පැළපදියම් වීමය. එම අංගය උත්තර ආත්මය (super-ego) යනුවෙන් හැඳින්වේ. හැඟීම් යටපත් කිරීම වැඩි වශයෙන් සිදු වන්නේ උත්තර ආත්මයේ බලපෑම හේතුකොට ගෙනය. උත්තර ආත්මය අරක් ගත් සිත ප්‍රතිවිරුද්ධවාදීන් ගැටෙන රණබිමක් වැන්න. මෙම මතය අනුව ඇතැම් අපරාධ විශේෂයෙන් තේරුම් කිරීමෙහි ද fප්‍රොයිඩ් යෙදුණේ ය. ඇතැම් අපරාධකාරීහු ිතර ම අසුවන්නෝ ය. ඔවුන් තම අපරාධය වසන් කිරීමට මහත් වෙහෙසක් ගන්නා බවක් නොපෙනේ. එවැන්නන් දඬුවම් ලැබීමට යටි සිතින් කැමැත්තන් බව ‍fප්‍රොයිඩ්ගේ අදහස විය. දඬුවම් ලැබීමෙන් පසු ඔවුන්ගේ ම සිතෙහි පමණක් පවත්නා පාප හැඟීම ද තුරන් වේ යයි ‍fප්‍රොයිඩ් කීය. අපරාධ හේතු පිළිබඳ ක්‍රමවත් මනෝවිග්‍රහ විද්‍යාත්මක මතයක් ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ වියනාවේ ම‍නෝ විග්‍රහ විද්‍යාඥයකු වූ අයික්හෝන් 1925 දී පළ කළ "හිතුවක්කාර තරුණයෝ" (wayward youth) නම් ග්‍රන්ථයෙහිය. අනික් මනෝවිග්‍රහ මතධාරීන් මෙන් ම, අයික්හෝන් ද අපරාධකරුවා හා ළදරුවා අතර සමානත්වයක් දුටුවේය. ඒ නිසා, අපරාධවලට ප්‍රධාන හේතුව සාවද්‍ය දාරක වර්ධනය යි ඔහු අදහස් කෙළේය. ළදරුවා සහජයෙන් ලත් ආශාවන් අත්හරින්නේ දෙමව්පිය්නගේ ආදරය ලබනු වස් පමණක් බවත්, ආදරය අඩුවෙන් ලත් දරුවා තම සහජ ආශා, එනම් අපරාධකාරී හැඟීම් අත් නොහරින බවත් ඔහු කීය. තවද, දරුවාට වුවමනාවට වඩා ආදරය කිරීමෙන් ද දරුවා එම හැඟීම් අත් නොහරින බව ඔහු කීය. ආදරය ලේසියෙන් ම ලැබෙන හෙයිනි. මනෝ විග්‍රහ විද්‍යාඥයන්ගේ මත නොයෙක් විවේචනයන්ට ලක්ව ඇත. මුලින් ම, මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ සිද්ධාන්තයක් වශයෙන් එය විවාදයට භාජන වේ. ම‍ොන් විග්‍රහ විද්‍යාවේ පර්යේෂණ ද අශාස්ත්‍රීය ලෙස සමහරු බැහැර කරත්. එහි මත අස්වාභාවික මනුෂ්‍යයන්ගේ හැසිරීම් පදනම් කොට ගත් ඒවා බවද ස්වාභාවික මිනිසුන් සඳහා නොගැළපෙන බව ද දක්වා ඇත. තවද, මනෝ විග්‍රහ විද්‍යාවෙහි ම පිහිටා අයික්හෝන්ගේ මතය විවේචනය කොට තිබේ කිසියම් ආශාවක් මුදුන්පත් කරගැනීමට නොහැකි නම් එය යටපත් කිරීමට පෙර ඒ වෙනුවට ඊට තරමක් සමාන ක්‍රියාවකින් තෘප්තිය ලබාගන්ට අප තැත් කරන බව මනෝවිග්‍රහ විද්‍යාඥයෝ කියති. ඇතැම් අවස්ථාවල එම හිලව් ක්‍රියා සමාජයට හිතකර ක්‍රියාවන්ගේ ස්වරූපය ගන්ට පුළුවන. මෙය උත්කෘෂ්ටීකරණය (sublimation) යනුවෙන් හැඳින්වේ. නිදසුන් වශයෙන්, කලහකාරී පුද්ගලයකු කලහ කිරීම වෙනුවට සමාජයේ ඇති දුර්වලතාවන්ට විරුද්ධව සටන් කරන්නකු විය හැකිය. අනික් අතින් පුද්ගලයා තම ආශාවන් වෙනුවට තෝරා ගන්නා ක්‍රියා සමාජයට අහිතකර ඒවා ද විය හැකිය. එවිට අපරාධකාරිත්වය බිහි වේ. ඇත්ත වශයෙන් ම මෙම තර්කය, අපරාධ හේතු විද්‍යාවේ ඉතා වැදගත් ග්‍රන්ථයක් වන "බාලපරාධ හා ඊට ප්‍රතිකර්ම පිළිබඳ අලුත් අදහස්" (New Light on Delinquency and its Treatment) නමැති ග්‍රන්ථයෙහි විලියම් හීලි, ඔගස්ටා ඇfප්. බ්‍රොනර යන දෙදෙනා විසින් ඉදිරිපත් කොට ඇත. මේ වූකලී පසු කාලයේ කරන ලද පර්යේෂණයන්ට අතිශයින් බලපෑ ග්‍රන්ථයකි.

සමාජ හේතු: අපරාධයන්ට හේතුව සමාජයේ ඇති යම් යම් දුර්වලතා යයි ද කෙනෙක් අදහස් කරති. මොවුන් අතුරින් බොහෝදෙනා සමාජවාදීහුය. ඔවුන්ගේ ප්‍රධාන අදහස නම් සමාජයේ පවතින දූෂණයන්ට හේතුව ධනේශ්වර ක්‍රමයය යන්නයි. මෙම අදහස මුලන් ඉදිරිපත් කෙළේ මාක්ස්, එංගල්ස් යන දාර්ශනිකයන් දෙදෙනාය. මේ සම්බන්ධ වැදගත් ම මතය ඉදිරිපත් කොට ඇත්තේ බොනගර් නමැති ලේඛකයා විසින් 1916 දී ප්‍රසිද්ධ කරන ලද "අපරාධ හා ආර්ථික තත්ත්වය" (Crime and Economic Conditions) යන ග්‍රන්ථයෙනි. අපරාධ හා දිළිඳු බව අතර සම්බන්ධතාවක් ඇති බව ඔහු සංඛ්‍යාලේඛන මගින් දැක්වූ නමුත් ඔහුගේ තර්කයේ දුර්වල පක්ෂය නම් අපරාධවලට හේතු ධනේශ්වර ක්‍රමයට ආවේණික බවත් සමාජවාදයේ උදාව සමඟ ඒවා නැතිවී යා හැකි බවත් දැක්වීමට දරන ප්‍රයත්නයයි. ධනේශ්වර ක්‍රමය වැන්නක් කොහෙත්ම අපරාධකාරීත්වයේ සාධකයක් ලෙස ගත නොහේ. විද්‍යාත්මක ගවේෂණයට පාත්‍ර කොටගත හැක්කේ ධනේශ්වර ක්‍රමය වැනි පෘථුල සංකල්පයක් නොව අසංකීර්ණ වූ කරුණුය. බොන්ගර්ගේ මතයේ අනික් දුර්වලතාව සෑම සමාජ විද්‍යාත්මක මතයකට ම පොදු වූවකි. එනම් සමහරුන් අපරාධකරුවන් වීමත් සමහරුන් අපරාධකරුවන් නොවීමත් ඒ මතය අනුසාරයෙන් තේරුම් ගත නොහැකි වීමයි.

දිළිඳු බව හා අපරාධ අතර සම්බන්ධය ඔස්සේ පර්යේෂණ පැවැත්වූ ඇතැම් අය, නීති කඩන්නවුන් අතර දිළිඳු බව කොතරම් දුරට ඇද්ද යන්න ගණන් ගත්හ. තවත් අය අපරාධකාරීත්වය හා රක්ෂා විරහිත බව අතර සම්බන්ධතාව සංඛ්‍යාලේඛන මගින් ද වරදකරුවන්ගේ රැකීරක්ෂා වාර්තා මගින් ද සොයන්ටන තැත් කළහ. බාලාපරාධකාරයන් කණ්ඩායමක් අතුරින් 56%ක් දිළිඳු පවුල්වලට අයත් වූවන් බව බ'ට් විසින් කරන ලද ගවේෂණයක දී හෙළි විය. මෙම දිළිඳු කොට්ඨාසය සාමාන්‍ය ජනගහනයෙන් 30%ක් පමණ විය. එසේ වුව ද ඔහුගේ තීරණය වූයේ දිළිඳු බව නිසා ඇති වූ අපරාධකාරයන්ගේ ගණන 3% කට වඩා වැඩි නොවේය යන්නයි. 1929 දී කරන ලද ගවේෂණයකට අනුව ලන්ඩන් නගරයේ දිළිඳු පෙදෙස්වල 35.5%ක් අපරාධකරුවන් සිටි අතර වෙනත් ඇතැම් පෙදෙස්වල සිටියේ 10.3%ක් පමණි. එහෙත් පොහොසතුන් අතර ද අපරාධ ඇතිවන බව පැහැදිලි කාරණයකි. සදලන්ඩ් නමැති සමාජ විද්‍යාඥයා "කන්තෝරුකාරයන්ගේ අපරාධ" (white collar crime) යන ග්‍රන්ථයෙන් පෙන්වන්ට අදහස් කරන්නේ පොහොසතුන් සතු බලපුළුවන්කාරකම නිසා නොවේ නම් ඔවුන් කරන අපරාධ දැනට වඩා වැඩියෙන් හෙළි විය යුතු බවයි.

තවත් ප්‍රශ්නයක් නම් දිළිඳු බව අපරාධයට හේතුවක් වශයෙන් සලකන විට දිළිඳු බව යන්න විග්‍රහ කළ යුත්තේ කෙසේද යන්නයි. එයින් අභිප්‍රේත වනුයේ කිසියම් නියමිත ජීවන තත්වයක් පවත්වාගෙන යෑමට නොපොහොනා ආර්ථික තත්වයක් ද, එසේ නැතහොත් තමන් දිළිඳුය යන මානසික තත්වය ද යන්න විසඳීම දුෂ්කරය. තවද දිළිඳු බව හේතුකොටගෙන ඇතිවන්නා වූ අපරාධවලට තුඩුදෙන වාසස්ථෘන, පවුල්වල අසමගිකම්, විවේක හා විනෝද පහසුකම් හිඟවීම ආදි කරුණු අපරාධයන්ට හේතුවන බව සිතාගත හැකිය. අපරාධ හා ආර්ථික තතු පිළිබඳ පර්යේෂණයන්ගෙන් ඒ දෙක අතර කිසියම් සම්බන්ධතාවක් ඇතැයි සිතා ගැනීමට තුඩුදෙන කරුණු හෙළි වී තිබේ. එසේ වුව ද, සදලන්ඩ් දක්වන පරිදි, අපරාධ කරන ධනවතුන් අසු නොවී බේරී සිටීම ගණන් ගත යුතු කරුණකි. ආර්ථික දුෂ්කරතාව හා අපරාධ අතර හේතුඵල සම්බන්ධතාවක් ඇද්ද එසේ නැතහොත් මේ දෙක ම වෙනත් කාරණයක පොදු ප්‍රතිඵල ද යන්න නිශ්චය කිරීම ද දුෂ්කරය.

මුද්‍රිත වචනය හා චිත්‍රපටය: අසභ්‍ය පොතපත හා "කොමික්" පොත් ආදිය කියවීම ද අපරාධවලට හේතුවන කරුණක් සේ සමහරුන් විසින් දක්වා ඇති නමුත්, එබඳු නිගමනයකට බැසීම සඳහා සෑහෙන සාක්ෂි ලැබී නැත. ල මෙයාර් නමැත්තාගේ ගවේෂණයකට අනුව, ඩෙන්මාර්කයේ පොතපත කියවීම නිසා දුශ්චරිතයට බටුවන්ගේ ගණන 3,000කට දෙදෙනෙක් පමණකි. වරක් අසභ්‍ය යයි සලකා තහනම් කරනු ලැබූ ඇතැම් ග්‍රන්ථ පසු කලෙක සම්භාවනීය ග්‍රන්ථ ලෙස සැලකෙන්ට වූ බව මෙහි ලා සඳහන් කළමනායි. පුවත්පතින් අපරාධයන්ට ලැබෙන ප්‍රසිද්ධිය හා අපරාධ ප්‍රවෘත්ති සන්ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කිරීම අපරාධ වර්ධනයට හේතුවකැයි සමහරු අදහස් කරති. එහෙත් අපරාධකරුවන් ඇල්ලීම, ඔවුන්ට දෙන දඬුවම් ආදිය ද පුවත්පත් මගින් එලෙස ම සන්ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කරනු ලබන බව අප විසින් සිහිකටයුතුය.

චිත්‍රපටය ද අපරාධයන්ට හේතුවක් සේ බොහෝ විට දක්වනු ලැබේ. බ්ලූමර් හා හෝසර් යන ඇමෙරිකානුන් දෙදෙනා අධ්‍යයනය කළ බාලාපරාධකරුවන් අතර 10%ක් ද බාලාපරාධකාරියන් අතර 25%ක් ද අපරාධ කිරීමට පෙලඹුණේ චිත්‍රපට නිසා යයි කියත්. එහෙත් බ'ට් වැනි සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ අපරාධකරුවන්ගේ‍ පෞද්ගලික චරිත රාශියක් සියුම් ලෙස විග්‍රහ කිරීමෙන් පසුත් චිත්‍රපටය හා අපරාධකාරිත්වය අතර සැලකිය යුතු ‍සම්බන්ධතාවක් නොදැක්වේ යයි කල්පනා කරති. චිත්‍රපටවල දැක්වෙන අපරාධ අනුකරණය කිරීමක් නොවූ බව ද චිත්‍රපටයෙන් කිසියම් බලපෑමක් ලද්දෝ වූහු නම්, ඔවුන් මුල සිටම වෙන හේතු නිසා අපරාධකාරිත්වයට නැඹුරු වූවන් වූ බව ද ඔවුහු කීහ. බාලාපරාධකාරයන්ගේ චරිතශෝධන පාඨශාලා 100ක තමා විසින් පරීක්ෂා කරන ලද බාලාපරාධකාරයන් අතර චිත්‍රපටය නිසා අපරාධයට ඇබ්බැහි වූවන් එකෙක් වත් නොවී යයි ස්ටොට් දක්වා ඇත. එ මතු ද නොවේ. ඇතැම් ම‍නෝවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් දැක්වෙන කාරණයක් නම් අපරාධයන් දැක්වෙන චිත්‍රපට නැරඹීම හේතුකොටගෙන නියම අපරාධ ඇත්ත වශයෙන් ම අඩුවීමට ඉඩ ඇති බවයි. සමාජවිරෝධී හැඟීමෙන් යුතු ඇතැමකුට නියම ව‍ශයෙන් සමාජ විරෝධී කටයුත්තක යෙදෙනු වෙනුවට, චිත්‍රපටයක එවැන්නක් නැරඹීමෙන් තෘප්තිය ලැබිය හැකැයි සමහරු කල්පනා කරත්. බාලයන් කෙරෙහි චිත්‍රපටය බලපාන ආකාරය ඩබ්ලිව්.ඩී. වෝල්ගේ නායකත්වයෙන් බ'මිංහැම් ප්‍රදේශයේ දී සවිස්තර ලෙස අධ්‍යයනය කරන ලදි. මෙම ගවේෂණයේ ප්‍රතිඵල වශයෙන් දක්වා ඇත්තේ ඉස පීරන ක්‍රමය, ඇඳුම් මෝස්තර ආදි දෑ චිත්‍රපටයෙන් අනුකරණ්‍ය කරනු ලබන නමුත් අපරාධය එසේ අනුකරණය කරනු නොලබන බවයි. පරීක්ෂා කරන ලද ළමයින් සිය ගණන් අතුරින් චිත්‍රපටයේ කිසියම් මෙවැනි බලපෑමකට යටත් වූවන් ලෙස හැඳින්විය හැකි වූයේ 3%ක් පමණි. එහෙත් කාමුක හා ත්‍රාසජනක චිත්‍රපට නැරඹූ ඇතැම් ළමයින් තුළ භාවමය වශයෙන් වූ කැළැඹිලි ඇතැම්විට ඇතිවූ බව අනාවරණය විය. එහෙයින් චිත්‍රපටය කෙළින් ම අපරාධය හා සම්බන්ධ වී නැති නමුත් මෙවැනි භාවමය කැළඹිලි, අඩු ගණනේ ළමයින් තුළ අපරාධජනක තත්වයක් ඇතිවීමට හේතු විය හැකිය. ගුවන්විදුලිය හා රූපවාහිනිය ද ඒවා විශාල ලෙස ප්‍රචලිත රටවල පුද්ගලයාගේ පරිසරයේ කොටසක් වන නිසා, ඔහුගේ චරිතය හැඩ ගස්වන විවිධ සාධක සමූහයෙන් එකක් විය හැකිය.

සුරාව හා සූදුව: බීමත්කම නිසා ඇතැම්මු අපරාධයට පෙලඹෙති. බීමත් වී අනිසි ලෙස හැසිරීම, සාහසික ක්‍රියා කිරීමාදිය නිදසුනි. එසේ වුවද, සුරාපානය සහ අපරාධ අතර ඇති සංඛ්‍යාලේඛනාත්මක සම්බන්ධතාව අනුව, සුරාව අපරාධයට හේතුවන කරුණක් ලෙස තීරණය කිරීම අනුචිතයයි සමහරු දක්වති. සුරාපානය මෙන් ම අපරාධ ද කිසියම් පොදු හේතුවක ඵලය විය හැකි බැවිනි. ඇතැම් අපාධ සූදුව හා සම්බන්ධ බවක් පෙනෙතත් එහි ද හේතුඵල සම්බන්ධතාවක් නැතැයි සමහර සමාජවිද්‍යාඥයෝ පවසති.

පවුල හා සමාජ පරිසරය: අපරාධය හා පරිසරය අතර කිසියම් සම්බන්ධතාවක් ඇත යන්න අලුත් අදහසක් නොවේ. ප්‍රධාන වශයෙන් එංගලන්තයේ නගරවල හා තදාසන්න පෙදෙස්වල අපරාධ බහුල බව ද පතල් කර්මාන්තය කෙරෙන කුඩා ගම්වල අපරාධ අඩු බව ද කඳුකරයේ ගම්මානවල ඊටත් අඩු බව ද 1839 දී පමණ සර් ඩබ්ලිව්. රෝසන් ප්‍රකාශ කළේය. මෑතක දී ඉතාමත් සාර්ථක අන්දමින් සිරිල් බ'ට් විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහසෙහි ගැබ්වී ඇත්තේ අපරාධ වූකලී සමාජ ආශ්‍රයෙන් ම ඇතිවන්නක්ය යන තවත් අදහසකි. මේ අදහස ශාරීරික හෝ මානසික කරුණු නිසා අපරාධ සිදුවන්නේය යන මුලින් දැක්වූ අදහස්වලට ප්‍රතිවිරුද්ධ වූවක් බව පැහැදිලිය. මෙම අදහස ප්‍රචලිත කරන ලද්දේ චිකාගෝහි පරිසරවාදීන්ගේ කුලය (Chicago Ecological School) නමින් හැඳින්වෙන පාක්,බ'ජස් යන දෙදෙනා සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසිනි. මොවුන් කෙළේ ජීවිවද්‍යාත්මක සංකල්පයක් වූ පරිසරවාදය අනුව සමාජ ජීවිතය විවරණය කරන්නට තැත් කිරීමය. ශාක ජීවිතය හා සත්ව ජීවිතය යම් සේ පරිසරය අනුව හැඩ ගැසේ ද, සමාජ සිදුවීම් ද සමාජ පරිසරය අනුව හැඩගැසේය යනු මෙහි මූලික අදහස විය. මෙම මතයෙහි පිහිටා අපරාධ හේතු ගවේෂණයෙහි යෙදුණවුන් අතර ඇfප්.ඇම්. ත්‍රෑෂර් හා සී.ආර්. ෂෝ යන දෙදෙනා ප්‍රධාන වෙත්. ත්‍රෑෂර් ප්‍රසිද්ධිය ලැබුවේ චිකාගෝ නගරයේ බාලාපරාධකාරී කණ්ඩායම් පිළිබඳව කරන ලද "සොරමුළ" (The Gang) නමින් පළකොට ඇති සම්භාවනීය ගවේෂණයෙනි. පරිසරවාදී සමාජ විද්‍යාඥයන්ගේ ගවේෂණ ක්‍රමය වූයේ අපරාධකරුවන්ගේ වාසස්ථාන සිතියමක ලකුණු කොට, එම සිතියම නගර ගම් නියම් ගම් ආදිය ලකුණු කොට ඇති භූමි සිතියමක් හා සැසඳීමය. සොරමුළු වෙසෙන ස්ථාන හා සොරකම් කෙරෙන ස්ථාන දැක්වීමට ත්‍රෑෂර් එවැනි සිතියමක් සකස් කෙළේය. මෙම "අපරාධ ගහන පෙදෙස්", නගරය මැද වූ කාර්මික හා වෙළඳ පෙදෙස් ද ඉන් ඈත වූ පිටිසර පෙදෙස් දැයි යන තැන්පත් පෙදෙස් දෙක අතර වූ කලින් කල වෙනස් වෙන පෙදෙස් බව ඔහු නිගමනය කෙළේය. එම පෙදෙස් වූකලී සම්ප්‍රදායානුගත පිටිසර සමාජ ක්‍රමය බිඳවැටී ඇත්තාවූ ද නියම නාගරික සභ්‍යත්වයක් තවම පහළ වී නැත්තාවූ ද ප්‍රජාවගේ ආචාර ධර්ම ආදිය බිඳ වැටුණා වූ ද පෙදෙස් විය.

පසු කාලයෙහි දී සී.ආර්. ෂෝ විසින් ද ඔහු හා එච්.ඩී. මැකේ විසින් ද මෙම මූලික අදහසින් යුත් වැදගත් ග්‍රන්ථ දෙකක් පළ කරවන ලදි. මෙම ගවේෂණ අනුව ද අපරාධකාරී ප්‍රදේශ ලෙස ඉහත සඳහන් අතුරු පෙදෙස් දැක්විණි. කර්මාන්තශාලා බහුල වූ පෙදෙස්වල නිවාස තත්වය ඉතාමත් පහත් විය. ජනගහනය අඩුවෙමින් තිබුණි. එම පෙදෙස්වල ස්ථිර පදිචංියට කිසිවෙක් කැමති නොවීය. මෙවැනි පරිසරයකින් බිහිවෙන්නා අපරාධකාරී ගතිගුණවලින් යුත් තැනැත්තකු වන බව යථොක්්ත ගවේෂකයන්ගේ අදහස විය. ඔවුන්ගේ ගවේෂණවල නිගමන පහත සඳහන් අයුරු දැක්විය හැක : (1) අපරාධ බොහෝ විට මුඩුක්කු හෝ අලුත් නිවාස ක්‍රම පිහිටි තැන් වැනි නගරයේ ඇතැම් නියමිත ස්ථානවල අධික ලෙස දක්නට ලැබුණි. (2) මෙම පළාත්වල පැවතුණේ හොඳ නරක පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහස්වලට වෙනස් අදහස්ය. (3) මෙම අදහස් වත්, අපරාධකාරිත්වය වත් භෞතික පරිසරයේ දියුණුව අනුව වෙනස් නොවීය. (4) අපරාධකාරිත්වය මෙවැනි පළාත්වලට ස්වභාවික වූවක් විය. යහපත් කල්ක්‍රියාව අස්වාභාවික දෙයක් විය.මෙවැනි පෙදෙස්වල දක්නට ලැබෙන්නේ කිසියම් සංස්කෘතියක් තුළ පවත්නා වූ ද ඊට ඉඳුරාම වෙනස් වූ ද අනුසංස්කෘතියකි. සදලන්ඩ් තම "විභේදශීලී සමාශ්‍ර" (differential association) නමැති මතයෙන් පෙන්වන්නට තැත් කෙළේ පුද්ගලයා සමාජ ජීවිතයේ දී යහපතටත් අපරාධයටත් යන දෙකට ම නැඹුරු කරවන සංස්කෘතික බලපෑම්වලට අසුවන බවත් යහපතට වඩා අපරාධයට පොලඹවන බලපෑම් වැඩි වූ කල ඔහු අපරාධකාරී වන බවත්ය.

අපරාධකාරිත්වය හා පවුල අතර සම්බන්ධතාව ද පැහැදිලි එකකි. ළාබාලයාගේ නීරෝගී මානසික වර්ධනයට අතිශයින් හානිකර වූ පවුල් තත්ත්වයක් "බිඳ වැටුණු පවුල" (broken home) යනුවෙන් ඇතැම් මානසික ශාස්ත්‍රඥයන් දක්වා ඇත. පිට පදිංචිය, දික්කසාද වීම, මරණය යන මේවායින් කිසියම් කරුණක් හේතුකොටගෙන මව්පිය දෙදෙනා ම හෝ ඔවුන්ගෙන් එකකු හෝ බාලයා වැඩෙන අවස්ථාවෙහි දී ගෙදර පදිංචිව නොසිටි බොහෝ අවස්ථාවල බාලාපරාධකරුවන් පහළ වී ඇති බව හෙළි වී තිබේ. චරිතය හැඩ ගැස්වීමට සුදුසු තැනැත්තකු නැතිවීම, මානසික වශයෙන් ළාබාලයාගේ හුදකලා බව, පවුල රකින්නකු නොමැතිකම ආදි කරුණුවලට හේතු වන නිසා "බිඳ වැටුණු පවුල" විවිධාකාරයෙන් අපරාධජනක වෙයි.

පවුල හා අවශේෂ සමාජය අතර හොඳ නරක අතින් වෙනස් අදහස් පවතී නම් එය ද අපරාධජනක තත්වයකැයි සමහරු අදහස් කරත්. ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඇතැම් පවුල්වල ඔවුන්ගේ ජන්ම භූමියට අයත් සිරිත් විරිත් පවතින අතර, ඔවුන්ට ඇමෙරිකාවේ දී ලැබෙන දරුවන් ඇමෙරිකානු සිරිත් විරිත්වලට ද හැඩගැසෙන බව ‍පෙනේ. හොඳ නරක පිළිබඳ මේ දෙපක්ෂය අතර පවතින මිනුම් එකිනෙකට වෙනස් හෙයින්, හොඳින් හැඩගැසුණු පවුල්වල ළමයින් අතර පවතිනවාට වඩා අපරාධ ප්‍රමාණයක් ඇමෙරිකාවට අලුතෙන් පැමිණි පවුල්වල පවතී යයි තෝස්ටන් සෙලින් නමැති සමාජ විද්‍යාඥයා කල්පනා කරයි. ඔහුගේ මෙම අදහස අඩංගු මතය සංස්කෘති සංඝට්ටන (culture conflict) මතය යනුවෙන් හැඳින්වේ.

ඉහත සැකෙවින් දක්වන ලද්දේ අපරාධ විමර්ශන විද්‍යාවේ ප්‍රධාන මත කීපයකි. අවසාන වශයෙන් කිව හැක්කේ මේ එක ම මතයක්වත් විශේෂයෙන් නිවැරදි යයි හෝ ඉඳුරා ම වැරදි යයි හෝ කිව නොහෙන බවයි. වෙන් වෙන් වශයෙන් ගත් කල මේ හැම මතයකම ඇති ප්‍රධාන දෝෂය නම් අපරාධය කිසියම් එක් හේතුවක් නිසා හටගන්නා බවක් හැඟවීමයි. අපරාධ විමර්ශන විද්‍යාවේ ඉතිහාසයේන දැක්වෙන්නේ අපරාධයන්ගේ හේතු විවිධ බවයි. අපරාධ විමර්ශන විද්‍යාවේ දියුණුව සමඟ අපරාධකරුවනට දඬුවම් කිරීම පිළිබඳ වූ මත මෙන් ම, දඬුවම් ක්‍රමය ද වෙනස් වූ බව දණ්ඩන චරිතශෝධනාගාර ඇති වී තිබෙන්නේ මෙම වෙනස්වීම අනුවය. මුල් කාලයේ දී පාපිෂ්ඨයකු ලෙස සලකනු ලැබූ අපරාධකරුවා දැන් සලකනු ලබන්නේ ව්‍යාධියකට හෝ වෙන යම් දුර්වලතාවකට හෝ අසීරුවකට ගොදුරු වූ, සමාජය විසින් සුඛිත මුදිත බවට පත්කළ යුතු වූ අයකු සේ ය.

ලංකාවේ අපරාධ හේතු ගවේෂණය: ලංකාව බෞද්ධ රටක්ව තිබියදීත් එහි අපරාධ මේ සා බහුල වීමට හේතු කවරේදැයි සොයා බැලීම කෙරෙහි සැලකිල්ල යොමු වී තිබේ. මෙරට අපරාධ වැඩිවී යන්නා සේ අපරාධ සංඛ්‍යාලේඛනවලින් පෙනී යාමට එක් ‍හේතුවක් නම් දියුණු වූ පොලිස් සේවය හේතුකොටගෙන අපරාධ වැඩියෙන් වාර්තාවීම විය හැකිය. අපරාධ සංඛ්‍යාවේ නියම වැඩිවීමක් නැතැයි මින් නොකියැවේ.

ලංකාවේ අපරාධ පිළිබඳ තොරතුරු සහ සංඛ්‍යා ලේඛන ඇත්තේ මඳ වශයෙනි. ඒවා බොහෝ විට පාලන වාර්තාවලට සීමා වී තිබේ. මෙහි අපරාධයන්ට හේතුව පිළිබඳව කරන ලද ශාස්ත්‍රීය පර්යේෂණ දෙකක ප්‍රතිඵල ප්‍රකාශයට පමුණුවා තිබේ. ඉන් එකක් නම් ලංකාවේ මිනීමැරුම් පිළිබඳව සී.එච්.ඇස්. ජයවර්ධන මහතා ලියා ඇති ග්‍රන්ථයකි. එය වනාහි ඉහත සඳහන් තෝස්ටන් සෙලින් නමැති අපරාධ විමර්ශන විද්‍යාඥයාගේ සංස්කෘති සංඝට්ටන මතය අනුව කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි. අනික් ග්‍රන්ථය නම් ආතර් ලුවිස් වුඩ් නමැති ඇමෙරිකන් ජාතිකයා විසින් මෙහි දී කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයයි. ඒ වූකලී වෙනස් වන සමාජයක මිනීමැරුම්, සියදිවි හානිකර ගැනීම් හා ආර්ථික අපරාධ පිළිබඳව කරන ලද විග්‍රහයකි.

පොත්පත්:

Jones, Howard – Crime and the penal System

Hurwite, S. – Criminology

Southerland and Cressey – Principlse of Criminology.

Jayawardhana, C.H.S.- Criminal Homieide in ceylon A study in Culture Conflict, (University of Pannasylvania) (අමුද්‍රිතයි)

Pippet, G.K. – A History of the Ceylon Police

Wood, A. L. – Crimie and Agression in Changing Ceylon: A Sociological Anaysis of Homidide, Suicide and Economic Crime

(සංස්කරණය:1963)