අප්පමඤ්ඤා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණධර්ම සතර අභිධර්මයෙහි අප්පමඤ්ඤා නමින් හඳුන්වනු ලැබේ. ප්‍රමාණ‍යක් නැතිව පතුරු වන නිසාත් අරමුණුවීම් වශයෙන් සත්වයන්ගේ ප්‍රමාණයක් නැති නිසාත් මේ ගුණ සතරට අප්‍රමාණ්‍ය හෙවත් අප්පමඤ්ඤා යනු ව්‍යවහාර වේ. චෛතසිකයන් අතුරෙහි "අප්පමඤ්ඤා" නමින් දක්වන ලදුයේ කරුණා-මුදිතා දෙක පමණි. මෙත්තා-උපේක්ඛා දෙක "අදොස-තත්‍රමජ්ඣත්තතා" යන නම්වලින් ගත් හෙයිනි. මෙකී ගුණ සතර උතුම් විහරණ බැවින් බ්‍රහ්මවිහාර (බ.) යයි කියනු ලැබේ. මෙත්තා යනු මෛත්‍රී චෛතසිකයයි. එනම් හැම සත්වයන් කෙරෙහි ම මෙත්සිත පැතිරවීමේ දී සිත තුළ පහළ වන අද්වේෂ චෛතසිකයයි. කරුණා යනු අනුන්ගේ දුක දැක ඒ දුක පහකිරීම සඳහා සිත තුළ ඇතිවන කම්පාවයි. එය අවිහිංසා සංකල්පනාවයි. මුදිතා යනු අනුන් විඳින සැප සම්පත් දැක ඊර්ෂ්‍යා නොකොට සතුටුවන ගතියයි. උපේක්ෂා යනු සැපදුක් දෙක්හි අනුකූල හෝ විරුද්ධ හෝ නොවී මැදහත්ව පවත්නා ගතියයි. මෙසේ මේ ගුණධර්ම සීමාරහිතව, ප්‍රමාණයක් නැතිව, සව් සතුන් කෙරෙහි ම වැඩිය යුතු බැවින් අප්‍රමාණ්‍ය නම් වේ. මේ මෙත් වැඩීම් ආදියෙහි යෙදෙන්නාගේ සිතට ගෝචර වන සත්වයන්ගේ ප්‍රමාණයක් නැත. සියලු සත්වයන් කෙරෙහි ම මෙත් වැඩිය යුතු හෙයිනි. එක සත්වයකුට වුව ද මෙතෙක් දුර මෙත් වැඩිය යුතුය; ඉන් එහා නොවැඩිය යුතු යයි ප්‍රමාණයක් නොකළ හැකිය.

මෛත්‍රී ආදී මේ ගුණවලින් පිරී ඉතිරී ගිය සිත මුළු ලෝකයා කෙරෙහි පතුරුවා වාසය කිරීම අප්‍රමාණ්‍ය වඩන්නාගේ සිරිතයි.

පොත්පත්:

විභඞ්ගප්පකරණ; සම්මොහවිනොදනි; විසුද්ධිමග්ග

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අප්පමඤ්ඤා&oldid=2037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි