අප්පුහාමි
සිංහලේ (උඩරට) රාජ්‍ය සමයෙහි මහහැතපෙනගේ, අතපත්තුමඩුව, රන් ආවුද මඩුව යයි මුරපොළවල් තුනක් විය. මහවාසලෙහි ම නැතහොත් ඊට සමීප ස්ථානයක පිහිටි මේ මුර පොළවල රැකවලෙහි යෙදෙමින් රජුට ආවතේව කළවුන්ට දුග්ගන්නාරාළ යන තනතුරු නාමය ද අප්පුහාමි යන ගරු නාමය ද ව්‍යවහාර කරන ලදි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කාලයේ මේ එක් එක් මුරපොළෙහි 48 දෙනා බැගින් දුග්ගන්නාරාළලා හෙවත් අප්පුහාමිලා 144 දෙනකු සේවය කළ බව ඩොයිලිගේ උඩරට විස්තරයෙහි සඳහන් වේ. මේ සේවයට පත්කරනු ලැබුවෝ උසස් පෙළපත්වලින් පැවතෙන තරුණයෝය. මොවුන් ටික කලකට පසු රටේ මහත්මයා දිසාවේ ආදි උසස් තනතුරුවලට පත්කරනු ලැබූ හෙයින්, දුග්ගන්නාරාළ පදවිය රාජ්‍ය සේවයෙහි උසස් නිලතල කරා යන හිණිමඟක් විය. මොවුහු දිසාවේ හෝ රටේ රාජකාරි නොකළහ. එහෙත් හැම රටවැසියකු විසින් ම කළ යුතු වූ කත්හාල් රාජකාරිය පමණක් මොවුන් විසින් ද කළ යුතු විය. ඇතැම් විට විශේෂ වරප්‍රසාදයක් වශයෙන් ඔවුහු මේ රාජකාරියෙන් පවා නිදහස් කරනු ලැබූහ. සිංහලේ අන්තිම රජු ඉංග්‍රීසීන්ට භයින් පලා යන ගමනේ දී මැදමහනුවර ගල්ලැහැවත්තේ ආරච්චිලාගේ ගෙයි ලැගුම්ගෙන සිටි අවස්ථාවේ ඒ ගෙය මුරට සිටියේ අප්පුහාමි කෙනෙකි. මෙයින් ඔවුන්ගේ රාජ පාක්ෂිකභාවය මොනවට පැහැදිලි වේ.
අප්පුහාමි යන්න රාළ, නිලමේ, බණ්ඩා යන පද මෙන් ම සිංහලේ රාජ්‍ය සමයේ දී ගෞරව නාමයක් හැටියට සලකන ලදි. ඇතැම් විට එය රාළ, නිලමේ යන පදවලට පර්‍ය්‍යාය ලෙස ද යෙදිණි. හැතපෙනගෙයි අප්පුහාමි හැතපෙනගෙයි රාළ හැතපෙනගෙයි නිලමේ ආදී වශයෙන් අප්පුහාමි යන පදය දෙවෙනි රාජසිංහ රජ කාලයේ දිසාපතිවරුන්ට පවා ව්‍යවහාර කරන ලදි. එකල සත්කෝරළේ මහාදිසාව තෙන්නකෝන් අප්පුහාමි නම් විය.
අතපත්තු මුරපොළේ සේවය කළ අප්පුහාමිලා අතපත්තු අප්පුහාමිලා යනුවෙන් ද මහහැතපෙන ගේ මුර කළ අප්පුහාමිලා හැතපෙනගෙයි අප්පුහාමිලා යනුවෙන් ද රන්ආවුද මුරපොළේ රැකවලෙහි යෙදුණු අප්පුහාමිලා රන්ආවුද අප්පුහාමිලා යනුවෙන් ද හැඳින්වුණෝය. (මුරපොළ බ.)
අතපත්තු අප්පුහාමිලාගේ රාජකාරිය වූයේ රජුගේ පණිවුඩ ගෙන යෑම හා රජු වෙනුවෙන් රාජ ආයුධ උසුලාගෙන යෑමය. මහ හැතපෙනගෙයි සේවය කළවුන්ට පැවරී තිබුණේ රාජාභරණ ආදිය මුර කිරීමයි. රන් ආවුද මුරපොළේ අප්පුහාමිලා විසින් රාජ ආයුධ ලැයිස්තුවක් පිළියෙල කොට තබා අබලන් වූ ආයුධ අලුත්වැඩියා කරවා රැක බලා ගත යුතු විය.
වැලන්ටයින් පවසන අන්දමට, මුහුදුබඩ (මාතර දිසාවේ) අප්පුහාමිලා රදලයන්ගේ හෙවත් ප්‍රධානීන්ගේ පුත්‍රයෝය. නියමිත කාර්යයක් නොතිබුණු ඔවුහු නිති රජවාසල හැසුරුණාහ. ගම් හේවා කණ්ඩායම් දෙකක් තබාගෙන සිටි අප්පුහාමිලා ද වූහ. මුහන්දිරම්වරුන්ටත් වැඩි උසස් තත්වයක් දැරූ ඔවුහු මාරුවෙන් මාරුවට මුර සේවය කළාහුය.
ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ ඕලන්දකාරයන් ද අප්පුහාමි තනතුර පවත්වාගෙන ගිය බව පෙනේ. ඔවුහු ගොවිවංශයේ නානායක්කාර හා නම්බුකාර අප්පුහාමිලා වංශාධිපතීන් හැටියට සැලකූහ. ඕලන්ද ආණ්ඩුකාරවරුන්ගේ හා දිසාපතිවරුන්ගේ වාසල මුර කරන ලද්දේ සපරමාදු අප්පුහාමිලා විසිනි. තානාපතිවරුන් කැඳවා ගෙන යන පෙරහැරවල දී ඔවුන්ට කුඩ ඇල්ලුවේ ද මේ අප්පුහාමිලාය.
අප්පුහාමි යන්න මුහුදුබඩ පළාත්වල දී සතර ආකාරයකින් භාවිත විය. එනම්:
1. ගොවිවංශයේ ප්‍රභේදයක් අඟවන පදයක් වශයෙන්,
2. පෙළපත් නාමයක් වශයෙන්,
3. සංඥා නාමයක් හෝ සංඥා නාමයකට පරව යෙදෙන ගෞරව නාමයක් වශයෙන් හා
4. පොදු ගෞරව නාමයක් වශයෙනි.
ගොවි වංශයේ ප්‍රථම ස්ථානය අප්පුහාමිල්ලාට ද ද්විතීය ස්ථානය සපරමාදු අප්පුහාමිල්ලාට ද හිමි යයි මහමුදලි තැන්පත් ඒ. ද සේරම් විසින් 832 දී ලියන ලද කෘතියක සඳහන් වේ. මේ අනුව, අප්පුහාමිල්ලා වූකලී ප්‍රධානීන්ගෙන් හා මුලාදෑනින්ගෙන් පැවතෙන්නෝය. සපරමාදු අප්පුහාමි යනු පාරම්පරික පටබැඳි නමකි.
කුල භේදය සම්බන්ධයෙන් පහතරට ආණ්ඩුවට වාර්තාවක් සැපයූ එක්තරා මහමුදලිවරයෙක් ගොවිවංශය මුල් තැන ගන්නේ යයි ද එහි ප්‍රභේද පහක් ඇත්තේ යයි ද සඳහන් කරයි. මේ අනුව ගොවිවංශයේ ප්‍රමුඛස්ථානය හිමි වූයේ අප්පුහාමිල්ලාටය. නම්බුකාර, නානායක්කාර යන නම් ද මොවුන් සඳහා යොදන ලදි. මොව්හු වූකලී මුදලි, මහවිදාන, මුහන්දිරම් ආදි උසස් නිලධාරීන්ගෙන් පැවතෙන්නෝය.
"සපරමාදු අප්පුහාමිල්ලා ද්විතීය ස්ථානය ලබති. ඔව්හු සාමාන්‍යයෙන් ස්ථිර සේවයෙහි යෙදී සිටිති. තම මුරය අනුව ආණ්ඩුකාරතැනගේ හා දිසාවේගේ වාසල රැක බලා ගැනීම මොවුන්ගෙන් අපේක්ෂිතය"යි යටකී වාර්තාවෙහි සඳහන් වේ.
අප්පුහාමි යන්න පහතරට පෙළපත් නාමයක් වශයෙන් ද යෙදෙයි. යාපා අප්පුහාමිල්ලාගේ, ගනේගොඩ අප්පුහාමිල්ලාගේ ආදි වශයෙනි. මෙය උඩරට මුදියන්සේ යන්නට බෙහෙවින් සමානය. සංඥා නාමයක් හෝ සංඥා නාමයකට පරව යෙදෙන ගෞරව නාමයක් වශයෙන් ද අප්පුහාමි යන්න යෙදෙයි. පළමුවැනි විමලධර්මසූරිය නමින් මහනුවර රජ බවට පැමිණි දොන් ජෝන් කුමාරයා දොන් ජෝන් අප්පුහාමි යන නමින් ද හැඳින්විණැයි රිබෙයිරෝ කියයි.
කුලවතුන්ට ආමන්ත්‍රණය කිරීමේ දී අප්පුහාමි යන්න පොදු ගෞරව නාමයක් වශයෙන් භාවිත විණි. දැනුදු භාවිත වෙයි. උඩරට පෙදෙස්වල දී මේ සඳහා රාළ, නිලමේ, බණ්ඩා යන ගෞරව නාම උපයෝගී කර ගනු ලැබේ. සංඥා නාමය කුමක් වුව ද වැදගත්කම සලකා මෙසේ ඇමතීම සිරිති.
කර්තෘ:ටී. විමලානන්ද
(සංස්කරණය:1963)