අපිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Apis). මිසර දේශවාසීන් විසින් දේවත්වයෙහි ලා සලකනු ලැබූ ගවයෙකි. හාප් සහ හාපි යන නම්වලින් ද මේ ගවයා හඳුන්වනු ලැබීය. විද්‍යුල්ලතාවක් හෝ සඳරැස් දහරක් නිසා ගැබ් ගත් තරුණ ගවදෙනකගෙන් මේ ගවයාගේ උත්පත්තිය සිදුවිය. කාල වර්ණ සිරුරකින් යුත් මේ ගවයාගේ නළල මැද සුදුපාට සතරැස් සටහනක් ද පිටේ රාජාලියකුට බඳු සටහනක් ද දිව මැද කුරුමිණියකු වැනි ගැටයක් ද දකුණු පාර්ශ්වයේ අඩසඳක් වැනි සටහනක් ද විය. අපිස් දෙවියාගේ අවතාරයක් වශයෙන් සලකනු ලැබූ මේ ගවයාගේ අභාවයෙන් පසු ඒ වෙනුවට යථෝක්ත ශරීර ලක්ෂණයන්ගෙන් හෙබි ගවයකු බැගින් නැවත නැවතත් තෝරා ගැනීමෙන් පුද පූජා පැවැත්වීමේ සිරිත නොකඩවා කරගෙන යන ලදි. හැම විටෙක ම මේ විශේෂ ශරීර ලක්ෂණ සහිත ගවයා අපිස්ගේ අවතාරය වශයෙන් සලකනු ලැබීය. අපිස් දෙවියා සිහිකිරීම් වස් වර්ෂයක් පාසා පවත්වනු ලැබූ උත්සවය දින හතකට සීමා විය. අලංකාර පෙරහැරක් සමඟ ගවයා වීථි සංචාරයෙහි යෙදවීම සඳහා පූජකවරු මූලිකව ක්‍රියා කළහ. සෑම රටවැසියකු ම තම තමන්ගේ ගෘහ කරා ගවයා පමුණුවා ගැනීමට අභිරුචියක් දැක්වීමට හේතු වූයේ උගේ නාසයෙන් පිටවන වාතය ආඝ්‍රාණය කළ බාලයන්ගේ අනාගත ඥානය දියුණු වේය යන විශ්වාසයයි. උත්සවය අවසන් කරන්නේ ගවයා නයිල් ගඟ කරා ගෙන යෑමෙනි. මිසර දේශවාසීන්ගේ ආගමික ග්‍රන්ථවලට අනුව මේ දේවගවයා ජීවත්විය යුතු කාලය සම්පූර්ණ වී තිබේ නම් ඌ නයිල් ග‍ඟේ ගිල්වා මරා මළ සිරුර නොදිරන අයුරු ඖෂධ ගල්වා ශුද්ධ වූ කූපයක භූමදාන කරනු ලැබේ. ඉන්පසු අපිස්ගේ අවතාරය වශයෙන් සැලකෙන, විශේෂ ලක්ෂණ සහිත අන් ගවයකු සොයා ගන්නාතුරු මුළු රට වැසියා ම ශෝකයෙන් වැලපෙති. අලුත් ගවයාගේ උත්පත්තිය ගැන සැලවූ වහා ම පූජකවරු එහි ගොස් නැගෙනහිර දිශාවෙහි ගෙයක් තනා සිවුමසක් ගතවනතුරු ගවපැටවාට කිරි දී පෝෂණය කරති. ඉන්පසු සරසන ලද නැවකින් ඌ මෙම්පිස් නගරය කරා ගෙනයති. එහි දී ආහාර පානාදිය හා දෙනුන් ඇති මන්දිරයක අපිස් ගවයා වාසය කරවයි. එතැන් සිට රටවැසියාගේ පුදපූජා ලබන මේ ගවයා වර්ෂයක් පාසා පවත්වන උත්සවයට ද සහභාගි වේ. මිසර දේශවාසීහු අනාගතය පිළිබඳ ශුභ විනිශ්චය කරගැනීම සඳහා ද යථෝක්ත ගවයාගේ චේෂ්ටාවන් උපයෝගී කරගත්හ.

අපිස් නමින් පුදපූජා පැවැත්වුණේ මිසරදේශවාසීන්ට කාෂිකර්මය ඉගැන්වූ අයිසිස්ට හා ඔසයිරිස්ට යයි ඇතැමෙක් සලකති. ඔසයිරිස්ගේ ආත්මය ගවයකු කරා ගිය බව මිසරවැසියන්ගේ විශ්වාසයයි. අපිස් චන්ද්‍රයාගේ ආදරයට ලක්වූ සතකු ලෙස ද ප්ටා (ptah) ගේ මූර්තියක් ලෙස ද සූර්‍ය්‍යයාගේ චිහ්නය වශයෙන් ද ඇතැමෙක් සලකති. මොහු ඇදහීමේ සිරිත මිසර දේශයෙහි සිව්වන රාජවංශයේ (ක්‍රි.පූ. 2600 පමණේ දී) පටන් ජුලියන් අධිරාජයාගේ කාලය (ක්‍රි.ව. 331-363) දක්වා පැවතියේය. සෙරපිස් නමින් ග්‍රීකයන් විසින් හඳුන්වනු ලැබූ මෙම ගවයා පිදීම රෝම අධිරාජ්‍යය මුළුල්ලේ ද පැතිර තිබුණේය. රන් වස්සා ඇදහීමේ සිරිත හීබෲවරුන් අතර ඇති වූයේ ද මේ අනුව යයි ඇතැමෙක් සලකති.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපිස්&oldid=2026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි