අපොස්තුලුවරයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යැවීම්වාචී "අපොස්ටෙල්ලයින්" යන ග්‍රීක ආඛ්‍යාතයෙන් බිඳී අවුත් "යවන ලද්දා" "ප්‍රේරිතයා" හෙවත් "නියෝජිතයා"යන අර්ථයෙන් ශුද්ධ බයිබලයේ අලුත් ගිවිසුමේ සඳහන් වන මෙම පදය එම අරුතින් ක්‍රිස්තියානි ආගමට විශේෂ වූවකි.

යම් කිසි උසස් තැනැත්තකු තමා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඨානන්තරයක් සහිතව නිලධාරියකු පත් කළ විට පත්කළ තැනැත්තාගේ බලතලවලට අනුරූප බලපුළුවන්කම් පත් කරනු ලැබූ තැනැත්තා කෙරෙහි ද පැවරෙන්නාක් මෙන් තෝරා ගන්නා ලද අපෝස්තුලුවරුන් කෙරෙහි ද ඔවුන් පත් කළ අයගේ අධිකාරය පැවරේය යනු ක්‍රිස්තියානි සභාවේ පිළිගැනීමයි.

ශුද්ධ බයිබලයෙහි අපොස්තුලු යන වචනයෙන් තරාතිරම් කිහිපයක පුද්ගලයන් වාච්‍යවනු දක්නට ලැබේ. ප්‍රථම කොට එයින් ගැනෙනුයේ යේසුස් වහන්සේ විසින් තම සේවයට උපකාර පිණිස බඳවා ගන්නා ලද ගෝලයන් දොළොස්දෙනායි. මොවුහු නම් යේසුස්වහන්සේ විසින් තමන් වහන්සේගේ ආදර්ශය හා පැවතුම් මගින් හික්මවන ලදුව ගෝලකමට පත් කරනු ලැබුවාවූ ද උන් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු එම පැවතුම් හා හික්මීම ලෝකයාට ප්‍රකාශ කරනු වස් යවනු ලැබුවාවූ ද අය වෙත්. උන්වහන්සේ ගෝලයන් දොළසක් තෝරා ගත්තේ ඊශ්‍රායෙල් වංශයෙහි පැවති ගෝත්‍ර දොළොස නිමිති කොට ගෙන යයි සිතිය හැකිය. එම නිසාදෝ, දොළොසගෙන් කෙනකු වූ යුදස් ද්‍රෝහිකම් කොට සිය දිවි නසාගත් පසුව, යේසුස්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් ද පසුව, උන්වහන්සේ සමඟ "ආවාවූ ගියාවූ" හෙවත් "ඉගැන්වීම දත්", උන්වහන්සේගේ නැවත නැගිටීමට සාක්ෂි දරන්නට පුළුවන් වූ මත්තියස්තුමා ඒ වෙනුවට යාච්ඤා මහිමයේ අධිකාරයෙන් පත් කරන ලදි.

පාවුල් තුමා ද මෙම ගණයට ම අයත් අපොස්තුලුවරයකු හැටියට ගැනේ. හෙතෙම යේසුස්වහන්සේ දුටුවේ දමස්කස් පාරේ දර්ශනයකිනි (ක්‍රියා 9, 1-9). එසේ උන්වහන්සේ දැකීමට පොහොසත් වීම සෑහෙන සුදුසුකමක් යැයි ද (i කොරින්ති 9, 1) උන්වහන්සේගේ නියමයෙන් තමා අපොස්තුලු යයි ද (i‍ කොරින්ති 9, 2; ii කොරින්ති 12,12) පාවුල්තුමා ප්‍රකාශ කළේය.

දෙවනුව, යේසුස්වහන්සේ විසින් තෝරා යවන ලද සැත්තෑ දෙනාගෙන් ඇතැම් අයට ද අපොස්තුලු යන නාමය ව්‍යවහාර විය. ‍රෝම 16, 7 හි සඳහන් අන්ද්‍රෝනික්ස් හා ජූනියස් මෙම ගණයට අයත් යැයි සැලකිය හැක. මොවුන්ට අපොස්තලික ගති ගුණ ඇති නිසා දෝ මෙසේ ව්‍යවහාර වන්නට ඇත.

තුන්වනුව, යම්කිසි ක්‍රිස්තියානි සභාවකින් යවන ලද්දවුන්ට ද ඇතැම් විට අපොස්තුලු යන නම ව්‍යවහාර වේ. තීතස්තුමා මීට නිදර්ශනයකි (ii කොරින්ති 8, 23). සභාවේ පණිවිඩයක් සඳහා යවන ලද හෙයින් ‍එතුමාට අපොස්තුලු නාමය ව්‍යවහාර වන්නට ඇත.

සිව්වනුව, මුල් අවදියේ ධර්මදූත වැඩ සඳහා විශේෂයෙන් යවන ලද අයට ද මෙම නම භාවිත වේ. ක්‍රියා 14,4 හි සඳහන් බාර්නබස් ඊට නිදසුනකි. මේ භාවිතය අනුව පසු කාලවල දී ද ධර්මදූත කටයුතු සඳහා ගියවුන්ට ක්‍රිස්තියානි සභාව විසින් අපොස්තුලු යන නම ව්‍යවහාර කරන ලදි. ඉහත සඳහන් පළමුවන ගණයට අයත් අපොස්තුලුවරයකු වන තෝමස්තුමා ධර්මදූත කටයුතු සඳහා ඉන්දියාවට වැඩි නිසා එතුමාට "ඉන්දියාවෙහි අපොස්තුලු" යන නම ව්‍යවහාර කරනු ලැබේ.

අ‍පොස්තුලුවරයන්ගෙන් පැවත එන්නන්ට ක්‍රිස්තියානි සභාවෙහි සාමාන්‍ය පරිපාලනය මුල් කාලවල පටන් හිමිව ආයේය. අපොස්තුලුවරු අත් තැබීමෙන් හා යාච්ඤාවෙන් අපොස්තුලු පරපුර අඛණ්ඩව පවත්වාගෙන ආහ. එම අඛණ්ඩ පරපුරට මෙකල ක්‍රිස්තියානි සභාවෙහි සිටින බිස්කොප්, පූජක, ද්‍යාකොන් යන දේවගැති පදවි දරන්නෝ අයිති වෙත්.

කර්තෘ:ලක්දාස ද මැල් අග්‍ර රාජගුරු ප්‍රසාදි

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපොස්තුලුවරයා&oldid=2034" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි