අබ්ද් අල් අසීස් ඉබ්න් අබ්ද් උර්රහුමාන් ඉබ්න් ෆයිසාල් ඉබ්න් සාවුද්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1880-1953). සාවුදි අරාබි රාජ්‍යය ගොඩනැඟූ ප්‍රතාපවත් සෛවරී රජතුමාය. අරාබියේ නෙයිද් නම් වූ වහාබි රාජ්‍යයේ සුල්තාන් අබ්දුර් රහුමාන්ගේ පුත්‍ර මෙතෙම නෙයිද්හි අගනුවර වූ රියාද්හි දී 1880 දී ජන්මලාභය ලැබුවේය. ඔහුගේ උත්පත්තියට ද පෙර පටන් මධ්‍ය අරාබියේ මෙම පෙදෙසෙහි මහත් වියවුල් තත්ත්වයක් පැවැත්තේය. 1891 දී රියාද් නගරය ඉබ්න් රෂීද් ප්‍රමුඛ සතුරු පක්ෂය අතට පත්ව වහාබි බලය සිඳී ගියේය. මේ නිසා අබ්දුර් රහුමාන් සිය මුළු පවුල ද සමඟ පර්සියානු බොක්කේ කුවයිට් නම් ස්ථානයට පලා ගියේය. 1900 දී ඔහු සිය දෙටුපුත් ඉබ්න් සාවුද් වෙනුවෙන් සිංහාසන අයිතිය අත්හැරියේය.

1901 දී ඉබ්න් සාවුද් සිය ජාතභූමිය මුදාගැනීම පිණිස දෙසියයක පමණ සුළු පිරිසක් ද සමඟ රියාද් නුවරට ඇතුළුව බලවත් පරිශ්‍රමයෙන් එනුවර අල්ලා ගත්තේය.

ඉක්බිති තමා නෙයිද්හි රජු හැටියට ප්‍රකාශ කළ හෙතෙම අවට ප්‍රදේශය ද ඈඳාගෙන තම රාජ්‍යය විශාල කර ගැනීමට ඉටා ක්‍රියා කෙළේය. 1904 දී ඔහු තම ප්‍රතිමල්ලයා වූ ඉබ්න් රෂීද් හා ඔහුගේ ආධාරක තුර්කි සේනා පැරදවිය. 1906 දී ඉබ්න් රෂිද් මියගියෙන් සාවුද්ගේ සිංහාසන උරුමය වඩාත් තහවුරු විය. 1912 වන විට මුළු නෙයිද් ප්‍රදේශයේ ම අසහාය නායකයා වූ ඔහු ඉක්බිති වෙහෙසුණේ තම සතුරු තුර්කිවරුන් අරාබියෙන් පන්නා හැරීමටය. 1913 දී පර්සියානු බොක්කේ හාසාහි හුන් තුර්කීන් පලවා එම ප්‍රදේශය ද ඈඳාගත් ඔහු ප්‍රථම ලෝක සංග්‍රාම කාලයේ දී මධ්‍යස්ථ ප්‍රතිපත්තිය රැකි නමුත් ඉංග්‍රීසින්ට හිතවත් බව දැක්විය. 1915 දී ඉංග්‍රීසින් සමග මිත්‍ර ගිවිසුමක් ද ඇති කර ගත්තේය. එහෙත් හේජාස්හි හුසේන් රජු ඉංග්‍රීසි ආධාරය ලබා තමාට විරුද්ධව බලය තහවුරු කරගනු දුටු ඉබ්න් සාවුද් බලවත් කැළඹීමකට පත් විය. 1919 දී ඛූර්මා ප්‍රදේශය ඉංග්‍රීසින් විසින් හුසේන් රජු වෙත පවරන ලද නමුත් ඉබ්න් සාවුද් රජ ඉංග්‍රීසි තර්ජන ගැන කිසිත් නොතකා එපෙදෙස අයත් කරගති. ඊළඟ අවුරුද්දේ දී ඔහු අසීර් නම් ප්‍රදේශය ද 1921 දී හායිල් ප්‍රදේශය ද යටත් කරගෙන මුළු මධ්‍ය අරාබිය ම එක්සත් කෙළේය. 1922 වන විට දකුණු දිග අරාබිය ද ඔහුට අත්පත් විය.

1924 දී ඔහු මක්කම පිහිටි හේජාස් ප්‍රදේශයේ පාලක හුසේන් රජුට පහර දී ඒ ප්‍රදේශය තමා යටතට ගත්තේය. මෙය වැළැක්වීමට හුසේන් රජුගේ මිත්‍ර ඉංග්‍රීසින් මැදහත්ව සාකච්ඡා පැවැත්වූ නමුත් ඒ ව්‍යර්ථ විය. 1925 දී මෙදීනා හා ජිද්දා යන ප්‍රදේශ ද ඉබ්න් සාවුද්ට යටත් විය. 1926 දී මක්කම මහා පල්ලියේ දී හේජාස්හි රජු හැටියට ඔටුනු පලන් හෙතෙම ඊළඟ වර්ෂයේ දී නෙයිද්හි හා යටත් ප්‍රදේශවල සුල්තාන් යන පදවි නාමය අතහැර ඒ වෙනුවට 'රජ' නාමය ගත්තේය. ඉබ්න් සාවුද් 1932 දී තමා යටතේ පැවති මුළු ප්‍රදේශය ම 'සාවුදි අරාබි රාජ්‍යය' යන නමින් ප්‍රකාශ කොට තමා එහි ස්වෛරී රාජයා හැටියට ප්‍රකාශ කළේය.

ඉබ්න් සාවුද් නෙයිද් ප්‍රදේශය මුදාගත් කාලයේ (1912) සිට ම ස්ථාවර පාලනයක් ඇති කොට, විවිධ සංචාරක ගෝත්‍රයන් තුළ පැවති බද්ධ වෛර නැති කිරීමෙන් ජාතික හැඟීම වර්ධනය කිරීමත් රටේ දියුණුවත් පිණිස කටයුතු ආරම්භ කෙළේය.

හෙතෙම නිත්‍ය පොලිස් හමුදාවක් හා යුද්ධ හමුදාවක් ඇති කෙළේය. සංචාරක ගෝත්‍ර කාන්තාරයේ තැනින් තැන හදිසියේ කඩාපැන කළ පහරදීම්, මං පැහැරීම් ආදිය දැඩි නීති මගින් මර්දනය කෙළේය. ඒ සමඟ ම ජනපද පිහිටුවා ඔවුන් ගොවිතැන්හි යොදවා අරාබි බැඩුවින්වරුන් තුළ කාලාන්තරයක් තිස්සේ පැවති සංචාරක ඇබ්බැහිකම් ද ගෝත්‍රාන්තර කලහයන් ද මැඩීය. මක්කම ආදි ඉස්ලාම් පූජනීය ස්ථාන කරා යන වන්දනාගමන් භයානක මං පහරන්නන්ගෙන් වන උපද්‍රවයන්ගෙන් මුදා ප්‍රවේසම් සහිත බවට පත් කරන ලද්දේ ඉබ්න් සාවුද් විසිනි. 1933 දී ඇමෙරිකානු වෙළෙඳ සමාගම් දෙකකට අරාබියේ තෙල්කර්මාන්තය කරගෙන යාමට අවසර දී ඊට පහසුකම් ද සැලසීය. තෙල් ආකර හිමියා හැටියට ඔහුට ඉන් පසු අතිවිශාල ධනස්කන්ධයක් ගලා එන්නට විය.

දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දී ද මධ්‍යස්ථව සිටි ඉබ්න් සාවුද් ඉංග්‍රිසි ඇමෙරිකානු මිත්‍ර පක්ෂයට ලැදිව සිටියේය. යුදෙව් ජාතිකයන් වෙනුවෙන් පලස්තීනයේ ඊශ්‍රායෙල් රාජ්‍යය ඇති කිරීමේ ව්‍යාපාරයට විරුද්ධව හෙතෙම ක්‍රියා කෙළේය. අරාබි සංගමයේ (අරාබි සංගමය බ.) ප්‍රබල සාමාජිකයකු වූ ඔහු අරාබි ජාතීන් අතර ඉමහත් බලයක් දැරූවෙකි.

ඉබ්න් සාවුද් විවාහය හා දික්කසාදය පිළිබඳව නම් දැරූවෙකි. ඔහු එකසියපනස් වතාවක් පමණ විවාහ වූ බව කියනු ලැබේ. 1953 දී ඔහු මිය ගියෙන් අබ්දුල් අසීස් අල් සාවුද් නම් වූ ඔහුගේ දෙටු පුතාට රජකම හිමි විය.

(සංස්කරණය: 1970)