අබ්දුල් හමීද් ලාහෝරි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(?-1654). මෝගල් අධිරාජයකු වූ ෂා ජහාන් (බ.)ගේ රාජසභාවේ විසූ ඉතිහාසඥයෙකි. මොහු අබුල් ෆසල් (බ.) නමැති ඉතිහාසඥයාගේ අනුගාමිකයෙකු බව ද කියති. ලාහෝරී රාජ සභාවේ ඉතිහාසඥයෙකු හැටියට පත් වූයේ මහලුවියට පා තබා සිටි අවස්ථාවේදීය.

"පාද්ෂා-නාම-ඉ-ෂා ජහානි" යන ෂා ජහාන් චරිත කථාවේ කර්තෘවරයා අබ්දුල් හමීද් ලාහෝරිය. ඔහුගේ මේ කෘතියෙන් ෂා ජහාන් රජුගේ රාජ්‍ය කාලයෙහි මුල් අවුරුදු විස්ස තුළ සිදු වූ සිද්ධි විස්තර වෙයි. මොහුට මේ කෘතියෙන් ඒ රජුගේ අවසාන කාලය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට නොහැකි වූයේ මහලු වයස කරණකොටගෙනය. ක්‍රි.ව.1654 අගෝස්තු මස 30 වන දා මොහු අවසන් හුස්ම හෙලූ බව මුහම්මද් වාරිස් නමැති ඉතිහාසඥයා කියයි.

(සංස්කරණය:1963)