අබ්බාස්, ෆර්හාට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කලක් ඇල්ජීරියානු නිදහස් කාමීන්ගේ රජයේ හෙවත් පිටමං රජයේ අගමැතිවරයාව සිටියේය. 1899 දී උපන් ෆර්හාට් අබ්බාස් ඇල්ජිය’ස් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. 1933 දී ඇල්ජීරියානු ජන සංගමය සංවිධානය කිරීමෙහි ප්‍රමුඛව ක්‍රියා කළ අබ්බාස් ප්‍රංස යටත් විජිතවාදයටත්, අධිරාජ්‍යවාදයට හා ජාතිවාදයටත් විරුද්ධව නොකඩවා සටන් කළ හෙයින් 1943 දී ප්‍රංස ආණ්ඩුව විසින් සිර කරනු ලැබීය. සිරෙන් නිදහස් වූ නොබෝ කලකින් ම ඇල්ජීරියාවේ නිදහස පතා සටන් කළ සංවිධානයක සභාපති ධුරයට පත් වූ අබ්බාස් ඇල්ජීරියානු මන්ත්‍රණ සභාවෙහි සභික ධුරයක් ද ලැබීය. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී නාට්සිවාදය හා ෆැසිස්ට්වාදය බිඳ දැමීම සඳහා සිය සේනාවන් කැප කර ප්‍රංසය වෙනුවෙන් සටන් කළ ඇල්ජීරියානු ජනයා, අත්ලන්තික් ප්‍රඥප්තිය යටතේ වෙනත් ජාතීන් සම්බන්ධයෙන් ප්‍රංසය පිළිගත් ප්‍රතිපත්ති අනුව, තමන්ට ද නිදහස දෙන ලෙස පෙළපාළියක් දක්වා ඉල්ලා සිටි අවස්ථාවේ දී ප්‍රංසය එම පෙළපාළියට සහභාගී වූ ඇල්ජීරියානුන් නිර්දය ලෙස ඝාතනය කළ නිසා සාමකාමීව සිය නිදහස දිනා ගැනීමට නොහැකි බව ඇල්ජීරියානු ජනයාට පැහැදිලිව ම අවබෝධ විය. එතැන් පටන් සිය නිදහස උදෙසා යුද කිරීමට ඇල්ජීරියානු ජනයා මෙහෙයවීම ගැන අබ්බාස්ට නැවත වරක් සිර දඬුවම් විඳින්න සිදු විය.

ඉන්පසුව අබ්බාස්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ඇල්ජීරියානු ජාතික විමුක්ති පෙරමුණ මඟින් සංවිධානය වූ ඇල්ජීරියානු විප්ලවවාදී ජාතික සංගමය වෙනුවෙන් 1958 දී අබ්බාස් ඇල්ජීරියාවේ ආණ්ඩුවක් පිහිටුවා තමා එහි අගමැති විය. අබ්බාස්ගේ ආණ්ඩුව විප්‍රවාස රජයක් වශයෙන් ක්‍රියා කරන්නට සිදු විය. සිය රජයට සහයෝගය ලබා ගැනීමේ අදහසින් ඇමරිකා එක්සත් ජනපදය, යුගොස්ලාවියාව, සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය, චීනය ආදී රටවල් බොහෝ ගණනකට ගිය අබ්බාස් අග්නිදිග ආසියාතික රටවල සංචාරයේ දී 1961 ජනවාරි 30 දා ලංකාවට පැමිණියේය. අබ්බාස්ගේ නායකත්වය යටතේ වූ ඇල්ජීරියා රජයට සහයෝගය දැක්වීම සඳහා 1961 දී පවත්වන ලද කැසබ්ලන්කා සම්මේලනයට සහභාගී වූ එකම ආසියාතික දේශය ලංකාව විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබ්බාස්,_ෆර්හාට්&oldid=2098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි