අබ්බාස් II

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1874 -1944) මිසරයේ මුහම්මද් අලිගේ පරම්පරාවට අයත් සත්වන පාලකයාය. අවසන්වරට මිසරයේ ඛිදිව් (ප්‍රති රාජ) තනතුර දරූ මෙතෙම අබ්බාස් හිල්මි අලි යනුවෙන්ද හැඳින්වේ. මොහුගේ පියා තෞපික් පාෂාය. ක්‍රි.ව.1874 ජූලි මස 14 වනදා කයිරෝහි දී උපන් අබ්බාස් මුලික අධ්‍යාපනය ලැබූයේ ලෝසාන්හි දී හා වියනාහිදීය. තුර්කි, අරාබි, ඉංග්‍රීසි, ප්‍රංස හා ජර්මන් යන භාෂා කථා කිරීමෙහි මොහු සමර්ථ වේ යැයි කියති.‍

1892 ජනවාරි මාසයේ 8 වනදා තම පිය මිය ගියෙන් අබ්බාස් ඛිදිව් ධුරයට පත්විය. බලයට පත්වීමෙන් පසු මෙතෙමේ රටේ අධ්‍යාපනය, වාරිමාර්ග හා ගොවිතැන් දියුණු කිරීමට වෙහෙසුණේය. 1913 ජූලි මස 24 වනදා මොහු විසින් ප්‍රකාශයට පමුණුවන ලද අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අනුව සාමාජිකයන් 81 දෙනෙකු ගෙන් යුක්ත වූ පාර්ලිමේන්තුවක් මඟින් මිසරය පාලනය විය. එහෙත් අබ්බාස් කෙරෙහි රට වැසියා තරමක කලකිරීමක් ඇතිව සිටි බව පෙනේ. 1914 දී කොන්ස්තන්තිනෝපල් නගරයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ජීවිතයට හානි කිරීමට මිසර ශිෂ්‍යයෙකු තැත් කළේ මේ නිසා විය හැකිය.

අබ්බාස් හා බ්‍රිතාන්‍යයන් අතර මිත්‍ර සම්බන්ධයක් නොපැවැත්තේය. මොහුගේ පාලන කාලයේ දී බ්‍රිතාන්‍ය බලය මිසරයේ නොකඩවා පැතිරෙමින් තිබුණු අතර, මිසරවැසියන්ගේ දේශානුරාගය හා බ්‍රිතාන්‍යය පාලනය කෙරෙහි තුබූ විරුද්ධත්වයද වැඩෙමින් පැවැත්තේය. ප්‍රථම ලෝක මහා සංග්‍රාමයේ දී මහා බ්‍රිතාන්‍යය තුර්කියට විරුද්ධව 1914 දී යුද්ධ ප්‍රකාශ කළ අවස්ථාවේ දී, අබ්බාස් තුර්කි සුල්තාන්වරයාගේ අමුත්තකු ලෙස කොන්ස්තන්තිනෝපල් නගරයේ නතර වී සිටියේය. යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසුව ඉංග්‍රීසීහු අබ්බාස්ට පෙරළා මිසරයට ඒම තහනම් කළහ. ඉක්බිති ඔහු රට හැරගිය, මිසරයේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කුමන්ත්‍රණ කළ තැනැත්තකු හැටියටත් ප්‍රකාශයක් කොට ඉංග්‍රීසීහු 1914 දෙසැම්බර් 19 වැනිදා සිට මිසරය බ්‍රිතාන්‍යයන්ගේ ආරක්ෂාව යටතේ පවත්නා විජිතයක් බවට පත් කළහ. අබ්බාස් ඛිදිව් තනතුරෙන් පහකරනු ලැබීය. ඉන්පසු ඉංග්‍රීසීහු මිසරය පාලනය කිරීම සඳහා හුසේන් කමාල් (1854-1917) නමැත්තකු පත් කළහ. මේ නව පාලකයා හැඳින්වුණේ මිසරයේ සුල්තාන් හැටියටය. එබැවින් ඛිදිව් යන තනතුරු නාමය භාවිත කිරීම අබ්බාස්ගෙන් පසු අවසන් විය. තනතුරෙන් පහ කරන ලද අබ්බාස් තමාගේ ජීවිතයේ ඉතිරි කොටස ස්විට්සර්ලන්තයේ ගත කොට ක්‍රි.ව.1944 දෙසැම්බර් මාසයේ 21 වනදා ජිනීවාහිදී මළේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබ්බාස්_II&oldid=2097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි