අබාධ වෙළඳාම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

තරඟ ක්‍රමයේ වැඩීම අතින් වැදගත් කාලපරිච්ඡේදයක් වන දහනවන සියවසට අයත් අබාධ වෙළඳ උද්ඝෝෂණය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලෙහි වැඩී ආ විශාල තරඟ ව්‍යාපාරයෙහි අවසාන අවස්ථාව වුව ද, එය එතනින් නිමාවට පත් නොවීය. එම නිසා ලෝක ආර්ථික ඉතිහාසයේ "අබාධ වෙළඳාම" යනුවෙන් ඒ ඒ අවස්ථාවන්හි දී වෙනස් වෙනස් අර්ථ ප්‍රකාශ විය. එංගලන්තයෙහි තම වෙළඳ බලය පිහිටුවා ගැනීමට ආශා කළ මධ්‍යතන යුගයේ විදේශීය වෙළඳුන් විසින් අබාධ වෙළඳාම යනුවෙන් අදහස් කරන ලද්දේ ඔවුන් අසාධාරණ බදුවලට යටත් කරනු නොලැබීමත් සාමාන්‍ය තීරුබදු පමණක් ගෙවීමෙන් වෙනත් බාධාවන් නොමැතිව ඉංග්‍රීසි වරායවලත් වෙළඳනගරවලත් වෙළඳාම පිණිස ඔවුන්ට නිදහස ලැබීමත් වේ. සොළොස්වන සියවසේ අගහරියේ දී එංගලන්තයේ "අබාධ වෙළෙන්දා" යථොක්ත පදයෙන් අදහස් කළේ "ම’චන්ට් ඇඩ්වෙන්චරර්ස්" (Merchant Adventurers) වැනි වෙළඳ සමායතනවලට දී තුබුණු විශේෂ වෙළඳ වරප්‍රසාදයන් අවලංගු කර දැමීමයි. දහහත්වන සියවසේ දී ඉන් අදහස් කරන ලද්දේ පහසු කොන්දේසි අනුව ඕනෑ ම කෙ‍නකුට වෙළ ද සමාගම්වලට ඇතුළු විය හැකි පරිදි යථෝක්ත ආයතනවල සංවිධානය පුළුල් කිරීමයි.

තීරුබදු සලාක ක්‍රම, හුවමාරු භාණ්ඩ පාලනය, (commodity control) සංකීර්ණ තීරුබදු ක්‍රම, රජයේ වෙළඳ ඒකාධිකාර හෝ අන්‍ය වෙළඳ ඒකාධිකාර ආදි වශයෙන් වෙළඳාම සීමා කිරීම් වස් පනවනු ලබන නීත්‍යනූකූල බාධාවන්ගෙන් තොරව ස්වතන්ත්‍ර රාජ්‍යයන් අතර කෙරෙන භාණ්ඩ විනිමය සඳහා අබාධ වෙළඳාම යන අලුත් ව්‍යවහාරය ඇතිවූයේ අටළොස්වන සියවසේ දීය. හුදෙක් රජයේ අය සඳහා පනවනු ලබන තීරුබදු ක්‍රම අබාධ වෙළඳාම හා පටහැණි නොවේ. වර්තමාන අබාධ වෙළඳ සිද්ධාන්තය ප්‍රථමවරට ස්ථීර ලෙස ක්‍රමානූකූලව සකස් වූයේ ප්‍රංසයේය. මෙයට හේතු වූයේ රජය විසින් වෙළඳ රජය විසින් වෙළඳ නිදහස සීමා කරමින් පැනවූ දැඩි නීතිවලට විරුද්ධව නැගුණු උද්ඝෝෂණයයි. සමාජයේ ස්වාභාවික පිළිවෙත රැකීම පරමාර්ථ කොටගත් ෆිසියොක්රැට් වාදීහු (Physiocrats) රජයේ අවිචාරවත් මැදිහත්වීම් නිසා ස්වකීය පරමාර්ථය ඉටුවීමට බාධා පැමිණෙනු දැක රටක ධනය උපදින්නේ කෘෂිකර්මාන්තයෙන් හෙයින් කෘෂිකර්මාන්තයට පූර්ණ නිදහස තිබිය යුතු යයි තරයේ කියා සිටියහ. මෙහි ලා ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ අභ්‍යන්තර වෙළඳාම පිළිබඳව පැවැති සියලු බාධාවක් ම අස්කරවීමයි. ඔවුන් පිළිගත් සිද්ධාන්තයන්ට අනුව විදේශීය වෙළඳාමෙන් වාසියක් ඇති නැති තරම්. මුළු වාණිජ්‍ය ක්‍රමය ම නිරර්ථකය යනු මේ නිසා ඔවුන් තුළ ඇති වූ අදහසයි. රාජ්‍ය දේශසීමාවන් ගැන කිසිදු තැකීමක් නොමැතිව රටවල් අතර නිදහසේ බඩු එහා මෙහා ගෙන යෑමේ සිද්ධාන්තය පිළිගැනීමට ඔවුන් මැළි නොවූයේ එහෙයිනි.

‍ෆිසියොක්රැට් සාම්ප්‍රදායිකයන්ගෙන් පසු අබාධ වෙළඳාම පිළිබඳ උද්ඝෝෂණය තවදුරටත් ගෙන ගොස් එයට සිද්ධාන්තයක තත්ත්වය ලබාදීමට ප්‍රමාණවත් වන සේ ඒ පිළිබඳ අදහස් ක්‍රමානූකූලව සකස් කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික දේශපාලන අර්ථශාස්ත්‍රඥයකු වූ ඇඩම් ස්මිත් විසිනි. 1976 පළකරවන ලද "ජාතීන්ගේ ධනයේ ස්වභාවය හා හේතූන් පිළිබඳ විමර්ශනය" (Inquiry in to the Nature and causes of the Wealth of Nation) නම් වූ ඔහුගේ ග්‍රන්ථයෙහි විවිධ කාර්‍ය්‍යන්හි මෙන් ම භූමි ප්‍රදේශයන්හිද විශිෂ්ටකම් ඇතිවීම කරණකොටගෙන හෙවත් ශ්‍රම විභජනය සහ අබාධ වෙළඳාම හේතුකොටගෙන ධන නිෂ්පාදනය බෙහෙවින් වැඩි කළ හැකියැයි සඳහන්වේ. වෙළදාම කෙරෙහි බලපවත්වන සෑම අවහිරයක් ම අඩු ඵලදායී නිෂ්පාදනය කෙරේ ආර්ථික ශක්තිය යොමු කරවයි. මේ නිසා නිෂ්පාදනය කරනු ලබන මුළු ධනයේ ප්‍රමාණය අඩුවේ. එහෙත් අබාධ වෙළඳාම පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් ඇතිකර නොගත්තේ දොම්නසට සහ ප්‍රකෝපයට පත් ඒකාධිකාරීන් ඒකරාශී වී පැරණි ක්‍රමය රැක ගැනීමට ක්‍රියා කළ හැකි බැවිනි.

ස්මිත්ගේ ග්‍රන්ථය ප්‍රකාශයට පැමිණි නොබෝ කලකින් තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයන්ගේ ශ්‍රේෂ්ඨත්වය කරණකොටගෙන විදේශීය වෙළඳපොළවල් දිගට ම අල්ලා සිටීමට හැකිවේ යැයි බ්‍රිතාන්‍ය වෙළෙන්දන්ට අවබෝධ වන්නට විය. එම නිසා වඩා ලිහිල් වෙළඳ ප්‍රතිපත්තියක් ඇති විය යුතුය යන අදහස සාමාන්‍යයෙන් පිළිගැනෙන්නට විය. වෙළඳාම නතරවන තරමේ අධික තීරුබදු රාශියක් ඉවත්කොට මධ්‍යම ප්‍රමාණයේ තීරු ගාස්තු අයකරන සේ වෙළඳ ගිවිසුමක් 1786 දී ප්‍රංසය සමඟ ඇති කර ගැනීමට විලියම් පීට් සමර්ථ වුයේය. ප්‍රංස විප්ලවකාරී යුද්ධ නිසා මෙකී අත්හදා බැලීම ඉක්මනින් ම ඉබේ ම නතර වුණ නමුදු වෙළඳාම පිළිබඳ වැඩි නිදහසක් ඇතිවීම තමන්ගේ වාසිය පිණිස වේය යන බ්‍රිතාන්‍ය නිෂ්පාදකයන්ගේ මතය 1786-93 අතර කාලය තුළ දී ලබාගත් අත්දැකීම්වලින් තවදුරටත් සනාථ විය.

නැපෝලියානු යුද්ධවලට අනතුරුව ඇතිවූ පුනරුත්ථාපන සමයේ දී අනුගමනය කළ යුතු වූ වෙළඳ ප්‍රතිපත්තිය කිනම් විය යුතු ද යන්න නිරාකරණය කිරීමේ ප්‍රශ්නයට බොහෝ යුරෝපීය රටවල් මුහුණපාන්නට වූහ. මහා බ්‍රිතාන්‍යයෙහි කාර්මික දියුණුව ඉතා ශීඝ්‍රයෙන් ඇති වූ හෙයින් එරට විසින් නිපදවනු ලැබූ බඩු අලෙවි කිරීම සඳහා වෙළඳපොළවල් සෙවීම විසඳිය යුතු වැදගත් ම ගැටලුව විය. එහෙත් යුරෝපා මහාද්වීපික රටවල් අධික තීරු බදු ක්‍රම පවත්වාගෙන ආ හෙයින් වෙළඳපළවල් සොයා ගැනීම සුකර නොවීය. තම රටේ තීරු බදු පරිමාණය අඩු කරන ලෙස බ්‍රිතාන්‍ය නිෂ්පාදකයන් සහ වෙළෙන්ඳන් ඉල්ලා සිටින්නට වූයේ අඩු තීරු බදු ක්‍රමයක් ඇති කිරීමෙන් අන් රටවල් විසින් ගෙන්වනු ලැබූ බ්‍රිතාන්‍ය භාණ්ඩ කෙරෙහි පවත්නා තහනම ලිහිල් කරවීමට එම රටවල් ද පෙලඹවිය හැකිය යන අපේක්ෂාවෙනි. වර්ෂ 1815 යුද්ධයෙන් පසු මව් රටේ තිරිඟු කාර්තුවක මිල සිලිම් 80 දක්වා වැඩිවෙනතුරු පිටින් තිරිඟු ගෙන්වීම තහනම් කිරීමෙන් එහි මිල අධිකව තබාගැනීමට උත්සාහ දැරූ පිරිසක් වූ ඉඩම්හිමි රදල පාලකයන් සමඟ යටකී යෝජනාව නිසා ඝට්ටන ඇතිවීමේ තත්ත්වයක් උද්ගත විය. මේ දෙපක්ෂය අතර ඇති වූ දික් ගැසුණු එකක් විය. අවසාන වශයෙන් සමථයක් ඇතිවූයේ තිස්‌ වසකට පසුවය.

යාත්‍රා පනත්: ආරක්ෂණ ක්‍රමයට විරුද්ධ ප්‍රථම ආක්‍රමණය ඇති වූයේ විලියම් හස්කිසන් වාණිජ මණ්ඩලයේ සභාපති ධූරය දැරූ කාලය වූ 1823-1827 යන වර්ෂ තුළ දී ය. තීරුබදු ලයිස්තුවේ සඳහන් බඩු විදේශීය නැව්වල පටවාගෙන ගිය විට එබඳු බඩු වෙනුවෙන් අධික තීරුබදු අයකර ගැනීම් වස් එකල පනවන ලද යාත්‍රා පනත් (Navigation Acts) ආරක්ෂණ ක්‍රමයෙහි ඉතා වැදගත් කොටසක් විය. වර්ෂ 1832 දී සම්මත කරන ලද තීරුබදු අන්‍යෝන්‍යතා පනතින් යථෝක්ත පනත්වල පැවති දැඩි බව ලිහිල් කරන ලදි. ඒ සමඟම ආයතනිර්යාත පිළිබඳ තීරුබදු ගාස්තු ද අඩු කරන ලදි. මෙකී ප්‍රතිසංස්කරණ නිසා ධාන්‍ය නැවත සැකසීමේ ප්‍රශ්නය ද මතු විය. තිරිඟුවල ආයාත තීරුබද්ද මව් රටේ මිල හා අනුක්‍රම පරිමාණයෙන් වෙනස් වන සේ සකස්කොට වර්ෂ 1828 දී ක්‍රියාත්මක කරන ලද නමුත් ඉන් ඇතිවූ ප්‍රතිඵල එතරම් සතුටුදායක නොවීය.

ඊළඟ දශකයේ දී තවදුරටත් පහසුකම් සැලසීම් වශයෙන් දියුණුවක් නොවීය. එහෙත් කෘෂිකාර්මික බලවතුන් හා කර්මාන්ත හිමි බලවතුන් අතර උග්‍ර සටනක් ඇතිවීමට අවශ්‍ය පොරපිටිය ක්‍රමයෙන් සකස් වෙමින් පැවතුණි. වර්ෂ 1832 දී සම්මත වූ ප්‍රතිසංස්කරණ පනතින් කර්මාන්ත හිමි මධ්‍යම පන්තියට ද ඡන්ද බලය ලැබීමෙන් ඉඩම්හිමි රදලයන් සතුව පැවති පාර්ලිමේන්තුවේ තනි බලය බිඳ වැටුණි. මීට හත් වසකට පසු ඇති වූ කාර්මික අර්බුද නිසා රිචඩ් කොබ්ඩන් සහ ජෝන් බ්‍රයිට් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ධාන්‍ය නීති විරෝධී සංගමය නම් වූ සංවිධානයක් බිහිවුණි. එංගලන්තයේ නිෂ්පාදිත භාණ්ඩ විදේශීය වෙළඳපොළවල අලෙවි කළ නොහැක්කේ ධාන්‍ය නීති නිසායැයි ප්‍රකාශ කරමින් මෙකී සංගමය අබාධ වෙළඳ ප්‍රතිපත්තිය වෙනුවෙන් මහත් වියදමකින් කළ යුතු වූ විශාල ව්‍යාපාරයක් ඇරඹීය. 1842, 1845 යන වර්ෂවල දී පීල් අගමැවරයා විසින් තීරුබදු ලැයිස්තුවෙහි සඳහන් වූ ද්‍රව්‍යයන් ගණනාවක් ම ඉන් ඉවත් කිරීම සහ ඛනිජ ද්‍රව්‍යයන් සහ නිෂ්පාදිත භාණ්ඩයන් පිළිබඳව පැවති බොහෝ තීරු ගාස්තු අඩු කිරීම මෙම ව්‍යාපාරය නිසා ලත් සමහර ප්‍රතිඵලයෝයි. අවුරුද්කට අනතුරුව, කෘෂිකර්ම රක්ෂණ නීති තවමත් එසේම පවතිද්දී අගමැති පීල් විසින් හදිසියේ ධාන්‍ය නීති අවලංගු කරන ලදි. කාර්මික රටක් වෙමින් ආ එංගලන්තයේ අවශ්‍යතාවන් ද නිෂ්පාදකයන්ගේ වැඩෙමින් ආ දේශපාලන බලය ද වටහාගත් අගමැතිවරයාට මෙකී නීති අවලංගු කිරීම නොවැළැක්විය හැක්කක් බව පැහැදිලි විය. ධාන්‍ය නීති අවලංගු කිරීම නිසා විදේශීය ධාන්‍ය සම්භාරයක් තම රටට ගලා ඒය යන ඉඩම් හිමි රදලවරුන්ගේ භීතිය හේතු විරහිත බව ද විදේශීය තතු හැදෑරීමෙන් ඔහු වටහා ගත්තේය. පිට යැවීම සඳහා යුරෝපා රටවල තිබුණු අතිරික්ත ධාන්‍ය ප්‍රමාණය ඉතා සුළු වූ අතර ධාන්‍ය නීති අවලංගු කිරීම නිසා සිදුවන්නේ අන් කිසිවකින් නොවැළැක්විය හැකි විප්ලවකාරී ප්‍රතිඵල ගෙන දෙන සේ බඩුමිල ඉහළ යෑම වැළකීම පමණි. එම නිසා තම පාක්ෂිකයන් වැඩිදෙනෙකුගේ විරෝධය නොතකා, ධාන්‍ය නීති අවලංගු කිරීමට ඔහු නොපැකිල සූදානම් විය.

කලින් පැවති නීති නියම අබාධ වෙළඳාම බවට පෙරළීම සපුරා සිදුවූයේ ඩබ්ලිව්.ඊ. ග්ලැඩ්ස්ටන් අතිනි. තීරුබද්ද රජයේ අය උපයන මාර්ගයක් මිස ආරක්ෂණ මාර්ගයක් නොවේය යන්න අවබෝධ කොට ගත් ග්ලැඩ්ස්ටන් වර්ෂ 1853 දී තමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයෙහි අර්ධනිෂ්පාදිත භාණ්ඩ තීරුබද්දක් නොමැතිව ගෙන්වීමට අවසර දුන් අතර තීරුබදු ලැයිස්තුවේ සඳහන් වූ බදුවලට අයකරනු ලැබූ තීරුගාස්තු නියම වටිෛකමට වැඩියෙන් සීයට දහයේ පරිමාණය නොඉක්මවිය යුතු බවද සඳහන් කළේය. ඔහු විසින් අරඹන ලද මෙම වැඩ පිළිවෙළට ක්‍රිමියන් යුද්ධයෙන් (1854) බාධා පැමිණි නමුත් නැවතත් එය ආරම්භ කොට වර්ෂ 1860 දී සම්පූර්ණ කරන ලදි.

මේ වන විට අතිශයින් ව්‍යාප්ත වී ගිය මෙම ව්‍යාපාරයට බෙහෙවින් අනුබල ලැබුණේ එතෙක් වැඩි වශයෙන් කෘෂිකාර්මික ව පැවැති ලොවක අතිශයින් ම කාර්මික රටක් වූ එංගලන්තයේ සිද්ධීන් හැඩගැසුණු ආකාරයෙනි. විදේශීය වෙළඳපොළට පිවිසෙන මං ඇරෙතොත් නිෂ්පාදකයන්ට වාසි ඇතිවන පරිදි බ්‍රිතාන්‍යයේ වාසියට වෙළඳ තුලනය වෙනස් කිරීම අතිශයින්ම යෝග්‍ය විය. එබඳු ප්‍රවේශ මාර්ග ලබා ගත හැකි හොඳම ක්‍රමය වූයේ අන් රටවල කෘෂිකාර්මික භාණ්ඩ ද බ්‍රිතාන්‍යයට වැද්ද ගැනීමයි. එහෙත් මෙබඳු වැඩ පිළිවෙළක් අන් රටවලට ද ප්‍රයෝජනවත් බැව් පෙන්වා දීම අපහසු කරුණක් විය. එම රටවලට කාර්මික දියුණුවක් සලසා ගැනීමට ඉඩකඩ තිබුණු විට එය විශේෂයෙන් ම දුෂ්කර විය. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ එබඳු රටවලට වැද්ද ගැනීම හිතකර නොවන බැව් ප්‍රත්‍යක්ෂ විය.

කොබ්ඩන් ගිවිසුම: මේ කාලය වන විට ප්‍රංසයේ ද සැලකිය යුතු තරමක කාර්මික දියුණුවක් ඇති වූ නමුත් දෙවන අධිරාජ්‍යය ගොඩනගන තුරු අධික තීරුබදු ක්‍රමයක් පවත්වා ගෙන යනු ලැබීය. රොබට් පීල් ලත් සාර්ථක ප්‍රතිඵල දැක සතුටු වූ තුන්වන නැපෝලියන් ද රාජාඥා මාර්ගයෙන් තීරුබදු අඩුකොට යම් යම් අත්හදා බැලීම් කළේය. ව්‍යවස්ථා සම්මතයෙන්, 1856 දී ආරක්ෂණ නීති අවලංගු කිරීමට ගත්උත්සාහය ඊට පටහැණිව නැඟී ආ තදබල විරෝධය නිසා අතහැර දමන්නට සිදුවිය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ අනුමැතිය නොලැබ වුව ද වෙළඳ ගිවිසුම් මාර්ගයෙන් තීරුබදු වෙනස් කිරීමට බලය ඇතැයි අධිරාජයා විසින් ඊළඟට ප්‍රකාශ කරන ලදි. එහෙයින් වර්ෂ 1860 දී එංගලන්තය සමඟ සුප්‍රසිද්ධ කොබ්ඩන් ගිවිසුමක් ඇති කර ගන්නා ලදි. මේ අනුව බ්‍රිතාන්‍ය බඩු වෙනුවන් තීරුබද්ද සියයට 30 දක්වා අඩු කරන ලදි. මීට පසු වෙනත් ජාතියකට දෙනු ලබන අඩු තීරුබදු සහනයක් වී නම් එය එංගලන්තයටත් ලැබෙන සේ "වැඩි සැලකිල්ලට භාජන වූ ජාතිය" යන වගන්තිය ඇතුලත් කරන ලදි. බ්‍රිතාන්‍යය ද නිෂ්පාදිත භාණ්ඩ වෙනුවෙන් අය කරනු ලැබූ තීරුබදු අවලංගු කොට තීරුබදු අයකරනු ලබන භාණ්ඩවල සංබ්‍යාව 48 දක්වා අඩු කළේය. මෙම සහන ප්‍රංසයට ම පමණක් සීමා නොකොට, සියලු රටවලට ම සාධාරණ වූ පොදු අබාධ වෙළඳ පහසුකම් බවට පමුණුවන ලදි. තමා ආරම්භ කළ වැඩ පිළිවෙළ ග්ලැඩ්ස්ටන් මෙසේ නිමාවට ගෙන ගියේය.

කොබ්ඩන් ගිවිසුමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් බලාපොරොත්තු වූ පරිදි පොදු අබාධ වෙළඳ ක්‍රමයක් යුරෝපයේ ඇති නොවීය. එහෙත් සුළු කලක දී එබඳු ක්‍රමයක් දෙසට නැඹුරු වූ ගතියක් ඉන් ඇතිවිය. ඉන් පසු නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය තම විද්‍යාවෙහි සිද්ධාන්තයක් වශයෙන් බොහෝ අර්ථශාස්ත්‍රඥයන් විසින් සලකන ලදි. ජර්මන් ජාතික සුප්‍රකට අර්ථශාස්ත්‍රඥයකු වූ ෆෙඩ්රික් ලිස්ට් මෙයට වෙනස් මතයක් දැරීය. නිදහස් වෙළඳාම පරමාර්ථය වියයුතු යයි පිළිගත් මොහු එබඳු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුත්තේ ඒ ඒ රට කර්මාන්ත අතින් මුහුකුරා ගියායින් පසුව යැ යි පළ කළේය. ක්‍රියාත්මක ප්‍රතිපත්තියක් වශයෙන් මින් අදහස් වූයේ කාර්මික වශයෙන් වඩා නොදියුණු රටවල් බොහෝ කාලයක් ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බවය. ලිස්ට්ගේ මතය අනුව ජර්මනිය ද එම ගණයට වැටුණු රටක් විය. එහෙත් මොහුගේ අදහස්වල බලපෑමක් වහා ඇති නොවීය. මහා බ්‍රිතාන්‍යයේ ඇති වූ යම් යම් සිද්ධීන් නිසා අබාධ වෙළඳ මතයට වඩාත් සැලකිලි ලැබිණි. ජර්මන් වෙළඳ බලවතුන් අතර පැවතුණු සමබර තත්වය අනුව ධාන්‍ය වෙළඳාමට විවෘත වෙළඳ පොළක් ඇතිවීම ඔවුන්ගේ වාසිය පිණිස වූ අතර ගෙන්වනු ලබන නිෂ්පාදිත බාල බඩුවලින් අන්තරායක් වේදෝ යි යන භීතිය ද ඇති නොවීය. ජර්මන් තීරුබදු සංගමය යටතේ උතුරේ ඉඩම්හිමියන්ගේ හා වෙළෙන්ඳන්ගේ බලපෑම දකුණේ යකඩ හා කපු නිෂ්පාදකයන්ගේ බලපෑමට වඩා බෙහෙවින් ප්‍රබල විය. ඇඩම් ස්මිත්ගේ අදහස් පළ කෙරෙන නිදහස් තීරුබදු ක්‍රමයක් වර්ෂ 1818 දී ප්‍රසියාව සම්මත කළා ය. මෙකී තීරුබදු ක්‍රමය අනුගමනය කළ ජර්මන් තීරුබදු සංගමය එහි ආරම්භයේදී (1834) මධ්‍යම ප්‍රමාණයේ තීරුබදු අය කිරීමේ ප්‍රතිපත්තිය පිළි ගත්තේය. 1860 ගණන්වල දී ඇති වූ නොදැඩි වෙළඳ ගිවිසුම් පිලිබඳ සාකච්ඡාවන්ට සහභාගී වී තම යුතුකම ඉටු කිරීමට තීරුබදු සංගමය අනවරතයෙන් සුදානම් විය.

අබාධ වෙළඳාම සඳහා මෙයට සමාන ව්‍යාපාරයක් ස්වීඩනයේ ඇති වූ අතර ආරක්ෂණයෙන් තොර තීරුබදු ක්‍රමයක් ස්විස්ටර්ලන්තය අනුගමනය කළේය. නිෂ්පාදිත භාණ්ඩවලින් රජයේ අය සඳහා ගනු ලබන 5% තීරුබද්ද හැර අන් තීරුබදු සියල්ල (වර්ෂ 1845 න් ආරම්භ වී වර්ෂ 1877 දී කෙළවර වූ බදු අඩුකිරීම් මාලාවකින්) ඕලන්දය විසින් අවලංගු කරන ලදි. එමෙන් ම වර්ෂ 1850 දී ධාන්‍ය නීති ඉවත් කළ බෙල්ජියම ද 1857 වන විට අබාධ වෙළඳ රටක තත්වයට පත්වුණි.

විරුද්ධකම්: මෙකී ව්‍යාපාරයට විරුද්ධකම් ඇතිවන්නට වූයේ 1870 පමණ කාලයේ දී ය. 19 වන ශතවර්ෂය කෙළවරවත් ම එම විරෝධය බලවත් වන්නට විය. මෙයට හේතු වී යයි කිව හැකි ප්‍රධාන කරුණු දෙකක් සඳහන් කිරීම වටනේය. රටවල් කාර්මික කිරීමේ අදහස වැඩිදියුණුවීම එක් හේතුවකි. බඩු ඔබ මොබ ගෙනයාම අතින් ඇති වූ දියුණුව නිසා මිල අඩු ඇමරිකානු ධාන්‍ය මාර්ගවලින් යුරෝපා වෙළඳපළ පිරී ඉතිරී යෑම අනිත් හේතුවයි. එහෙයින් ප්‍රංසය ක්‍රමයෙන් ආරක්ෂණ ප්‍රතිපත්තිය කරා ස්ථිර වශයෙන් ම යළිත් ඇදී යන්නට වන. වර්ෂ 1892 දී අධික වූ මේලින් (Meline) තීරුබද්ද පැනවීමෙන් මේ පියවර මුදුනින් ම පිළිගනු ලැබූ බව පෙනේ.

ජර්මනියේ තත්වය මීට වඩා ආකූල විය. 1879 දක්වා තීරුබදු මණ්ඩලයේ නිදහස් තීරු බඩු ක්‍රමය ජර්මන් අධිරාජ්‍යය විසින් නොකඩවා ක්‍රියාත්මක කරන ලදි. නමුත් මේ අවස්ථාව වන විට බ්‍රිතාන්‍ය බඩුවලින් වෙළඳපොළ පිරී ඉතීරී ඇතැයි යකඩ සහ කපු නිෂ්පාදකයෝ ඉතා තදින් පැමිණිලි කරන්නට වූහ. අත්ලාන්තික් සාගරය හරහා එන මිල අඩු තිරිඟු නිසා පැන නැඟුණු තරගයේ ප්‍රතිඵල වශයෙන් ඇති වූ අමාරුව ප්‍රසියන් ඉඩම් හිමියන්ට ද දැනෙන්නට විය. අභිනව එක්සත් ජර්මනියට විශාල අදායමක ඇති අවශ්‍යකම ගැන බිස්මාර්ක් ද සැලකිලිමත් වන්නට විය. එම නිසා වක්‍ර බද්දෙන් ලැබෙන ආදායම ද වැඩිවන පරිද්දෙන් ස්වදේශීය නිෂ්පාදකයන්ට හා කෘෂිකාර්මිකයන්ට එක්තරා ප්‍රමාණයක ආරක්ෂණයක් සැලසෙන සේ තීරුබදු ක්‍රමය වෙනස් කරන්නට ඔහු තීරණය කළේය. අබාධ වෙළඳාම පිළිබඳව කරගෙන යනු ලැබූ අත්හදා බැලීම් නවත්වන ලෙස ඇමරිකාව ද උද්ඝෝෂණය කළාය. දහනව වන ශතවර්ෂයේ අවසාන දශකද්වයේ දී සම්මත කරන ලද තීරුබදු පනත් මාලාවක් නිසා ඇමරිකාව ලෝකයේ බෙහෙවින් ආරක්‍ෂිත රටවලින් එකක් වූවාය.

මෙසේ අනෙක් රටවල් ආරක්ෂණය දෙසට හැරෙන අතර බ්‍රිතාන්‍යය තම නිදහස් වෙළඳ සම්ප්‍රදාය පවත්වගෙන ම ගියාය. කාර්මික දියුණුව සඳහා සිය කෘෂිකර්මය කැප කිරීමට පවා බ්‍රිතාන්‍යය සතුටු වූවාය. එහෙත් මෙම ප්‍රතිපත්තිය නැවත වෙනස් කළ යුතු දිනය එතරම් ඈත් නොවීය. ජර්මනියේ ද ජපානයේද ඇති වූ කාර්මික සංවර්ධනය නිසා ප්‍රථම ජගත් සංග්‍රාමයට පූර්ව වර්ෂයන්හි දී බ්‍රිතාන්‍යයේ කාර්මික ශ්‍රේෂ්ඨත්වය ක්‍රමයෙන් පරිහාණිය කරා ගමන් කරන්නට විය. වර්ෂ 1918 දී ඇති වූ සාමයෙන් පසු, අබාධ වෙළඳ මහා බලකොටුව වූ බ්‍රිතාන්‍යය තම අසල්වැසි ඕලන්දය හා බෙල්ජියම ආදර්ශයට ගනිමින් ආරක්ෂණ තීරුබදු ක්‍රමයක් කෙමෙන් සකස් කරන්නට වූවාය. 1920 පමණ කාලයේ දී පනවන ලද බ්‍රිතාන්‍ය තීරුබදු කොතරම් සුළු වූයේ දැයි තරගකාරී අනිත් රටවල තීරුබදු හා එය සසඳන විට පෙනේ. එය ද පැවතුණේ ඉතා සුළු කලකට පමණි. වර්ෂ 1929 දී ඇති වූ ජගත් ආර්ථික අර්බුදයේ බලපෑම කෙතරම් වී දැයි කිවහොත් වර්ෂ 1931 දී බ්‍රිතාන්‍යය නැවත ආරක්ෂණ ප්‍රතිපත්තියට ම බැසගත්තාය.

කර්තෘ:අයි.එච්. වැන්ඩන්ඩ්රීසන්

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබාධ_වෙළඳාම&oldid=2054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි