අබින් යුද්ධ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉතිහාසයෙහි මෙනමින් යුද්ධ දෙකක් ගැන සඳහන් වේ. 1839 නොවැම්බර් මාසයේ සිට 1842 අගෝස්තු මාසය දක්වා චීනයේ දී චීනුන් හා ඉංග්‍රීසින් අතර සිදු වූ සටන ප්‍රථම අබින් යුද්ධය නමින් ගැනේ. මේ යුද්ධයට ප්‍රධාන හේතුව වූයේ අබින් පිළිබඳව ඇතිවූ අර්බුදයක් බැවින් මෙයට "අබින් යුද්ධය" යැයි නම් කරන ලදි. මෙය ප්‍රථම ඉංග්‍රීසි-චීන යුද්ධය වශයෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රථම අබින් යුද්ධයට මූලික හේතුව වූයේ අබින් පිළිබඳ ප්‍රශ්නය යයි චීන ඉතිහාසඥයන් දක්වන අතර චීන ආණ්ඩුව වරින්වර බ්‍රිතාන්‍යයන්ට අවමාන සහ අපහාස වන අන්දමට ක්‍රියා කිරීම මේ යුද්ධයට ප්‍රධාන හේතුව ලෙස බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෝ දක්වති. කෙසේ වුව ද, යුද්ධය ඇරඹීමේ සමීප හේතුව වූයේ චීනුන් විසින් බ්‍රිතාන්‍යයන් සතුව තිබුණු විශාල අබින් තොගයක් කැන්ටන්හි දී විනාශ කර දමනු ලැබීමය.

අටළොස් සියවස පමණේදී අබින් පාවිච්චිය චීනයේ සමාජ දුෂණයක් බවට පත්වී තිබිණි. මේ දුශ්චරිතය සමාජයෙන් තුරන් කිරීම සඳහා 19 වැනි සියවසේ මුල සිට ම චීන රජය මගින් තහනම් නීති කිහිපයක් ම පනවනු ලැබීය. 1800 දී පැන වූ නීතියකින් චීනයට අබින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන ලදි. ඒ කාලයේ දී චීනයට අබින් ගෙන එන ලද්දේත්, අබින් වෙළඳාම කරගෙන යන ලද්දේත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. 1800 දී පනවනු ලැබූ නීතිය නිසා හොරෙන් චීනයට අබින් ගෙන ඊමත් හොර අබින් ජාවරමත් ශීඝ්‍ර ලෙස දියුණු වීමට පටන් ගති. 1839 දී අබින් පෙට්ටි 40,000ක් (රාත්තල් 533,000ක්) පමණ චීනයට ගෙන එන ලද බව කියති. මෙයින් වැඩි කොටසක් ගෙන එන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. එබැවින් ඒ වර්ෂයේ දී චීන අධිරාජයා අබින් ගෙන එ්ම හා විකිණීම සම්පුර්ණයෙන් නවත්වා දැමීම සඳහා දැඩි පියවරක් ගත්තේය. මේ පිණිස ලින් ෂෙසු නම් නිලධාරියෙක් පත්කරනු ලැබීය. 1839 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් සතුව චීනයේ තිබුණු අබින් තොග සියල්ල ම බලෙන් මෙන් ඔවුන්ගෙන් ලබාගෙන විනාශ කොට දමනු ලැබීය. ඉංග්‍රීසිහු තමන්ට සිදු වූ පාඩුව නිසා දරුණු ලෙස කෝපයට පත්වූහ. අධික ලාභ සහිත අබින් ජාවාරම නැවත අරඹන අධිෂ්ඨානයෙන් පසු වූ ඔවුහු යුද්ධයක් පිණිස චීනුන් ප්‍රකෝප කරවන්නට වෙර දැරූහ. මේ අතරතුරෙහි දී බීමත්ව සිටි බ්‍රිතාන්‍ය නාවික භටයන් කීපදෙනෙකුන් විසින් ලින් වෙෂී නමැති චීන ජාතිකයෙකුට පහර දී මරනු ලැබීම නිසා චීන ජාතිකයෝ කුපිත වූහ. දෙපක්ෂය අතර යුද්ධයක් නොවැළැක්විය හැකි වූයේ මේ හෙයිනි. 1839 නොවැම්බර් මස 3 වනදා බ්‍රිතාන්‍ය නාවික හමුදාවක් මගින් චෙනුපී නම් ස්ථානයේ දී වෙඩි තැබීමෙන් ආරම්භ වුණු මේ සටන 1842 අගෝස්තු මස 29 වන දා නැන්කින් සාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අවසන් විය. මේ සටනින් චීනුන්ට පරාජය අත්විය. බලෙන් චීනයට අබින් ගෙන ඊම උදෙසා ඉංග්‍රීසින් ගෙන ගිය මේ "අබින් යුද්ධයෙන්" නාවික බලය හා ආයුධ බලය නිසා ඉංග්‍රීසින්ට ජය ලැබුණේය.

නැන්කිං ගිවිසුම වගන්ති 13කින් යුක්ත විය. මේ ගිවිසුමට අනුව චීන රජය විසින් විනාශ කරනු ලැබූ අබින් තොගයට අලාභ ගෙවීමට ද, හොංකොං ප්‍රදේශය බ්‍රිතාන්‍යයන්ට පවරා දීමට ද, කැන්ටන්, පූචෝ, අමොයි, නිංපො හා ෂැංහයි යන වරායවල බ්‍රිතාන්‍ය වෙළඳ ගබඩා පිහිටවා ගැනීමට ඉඩදීමට ද, සාධාරණ තීරු බද්දක් පමණක් බ්‍රිතාන්‍ය වෙළඳුන්ගෙන් අය කිරීමට එකඟ වීමට ද, චීන හා බ්‍රිතාන්‍ය නිලධාරීන් මෙන් ම දෙරට අතර හුවමාරු වන ලියකියවිලි ද සම තත්වයේ ලා සැලකීමට ද චීනුන්ට සිදු විය.

දෙවන අබින් යුද්ධය: 1983 දී චීනුන් විසින් විනාශ කරන ලද අබින් තොගය වනුවෙන් ඉංග්‍රීසින්ට වන්දි ගෙවීමට නැන්කින් ගිවිසුමෙන් තීරණය වීම අබින් ජාවාරම නැවත නීත්‍යනුකූල කිරීමක් බඳු විය. මේ නිසා 1842 සහ 1850 අතර කාලයේ දී චීනයට අබින් ගෙන ඒම කීප ගුණයකින් ම වැඩි විය. එමෙන් ම අබින් මිල ද බෙහෙවින් අධික විය. චීන රජයේ විරෝධය නොතකා බලහත්කාරයෙන් ම ඉංග්‍රීසින් අබින් ගෙන ඒම නිසා රටට මුහුණ පාන්නට දරුණු ජාතික විපත ගැන සඳහන් කරමින් මෙවක චීන අගරජු එංගලන්තයේ වික්ටෝරියා මහරැජින වෙත ඉතා ගෞරවයෙන් කරුණු සැලකර සන්දේශයක් යවන ලද නමුත් එයට පිළිතුරක් පවා නොලැබුණේය. අබින් උවදුර නිසා ද විදේශිකයන් තොටමුණු බද ප්‍රදේශවල දැරූ වරප්‍රසාද සහිත තත්වය නිසා ද විදේශික මිෂනාරී ක්‍රියා නිසා ද මෙවක චීනයේ අභ්‍යන්තර නොසන්සුන්කම අතිශයින් උත්සන්න විය. 1850 පමණේ දී චීන රජයට විරුද්ධව චීන ඉතිහාසයේ සඳහන් ඉතා දරුණු කැරැල්ලක් වශයෙන් සැලකෙන තායිපිං කැරැල්ල ඇති විය. මේ කැරැල්ල නිසා ඇති වූ අභ්‍යන්තර අවුල් තත්වයෙන් ද අයුතු ප්‍රයෝජන ගැනීටම සිතූ ඉංග්‍රීසින් ප්‍රමුඛ බටහිර ජාතීහු වැඩි වැඩියෙන් චීනය ගසාකෑම පිණිස නැන්කිං ගිවිසුම තවදුරටත් තම වාසිය උදෙසා සංශෝධනය කිරීමට චීන රජය සමග සාකච්ඡා ඇරඹූහ. එහෙත් මෙම වෑයම අසාර්ථක වූයෙන් 1856 දී ව්‍යාජ හේතූන් උඩ බ්‍රිතාන්‍ය ජාතිකයෝ කැන්ටන් නගරයට පහර දුන්හ. ඉංග්‍රීසි චීන දෙපක්ෂය අතරේ ඇවිලුණු මෙම යුධයේ දී ප්‍රංස ජාතිකයෝ ඉංග්‍රීසින්ට සහය දුන්හ. දෙවන අබින් යුද්ධය නමින් මෙම සටන හැදින්වේ. බටහිර ජාතීන්ගේ නා නා නවීන අවි ආයුධ සහ යුද්ධෝපක්‍රම ඉදිරියේ නැවත ද චීනයට හිස පහත් කරන්නට සිදු විය. දෙවන අබින් යුද්ධය 1858 ටියන්සිං සාම ගිවිසුමෙන් අවසන් විය. මෙම ගිවිසුම බටහිර ජාතීන්ට අතිශයින් වාසිකර වූ එකක් විය. බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ අබින් ජාවාරම චීන රජයට වඩ වඩාත් දරුණු හිසරදයක් ද චීන ජාතියට බලවත් උවදුරක් ද වූ අතර බටහිර ජාතීන්ට එය චීනයෙන් මුදල් කඩා ගැනීමට පහසු මගක් විය.

අබින් නිසා ඇති වන සමාජ විපත්තිය ද, රටේ ධනය පිටරට ඇදීයාම ද වළකාලීමේ අදහස චීන රජය අත්හළේ නැත. 1907 සිට දශවර්ෂයක් ඇතුළත අබින් ගෙන්වීම සම්පුර්ණයෙන් නැවැත්වීමේ පරමාර්ථයෙන් චීන රජය එම වර්ෂයේ දී අබින් උපදවන ඉන්දියාව සමඟ දශවාර්ෂික ගිවිසුමක් අත්සන් කළේය. ඉන් පසු අබින් වෙළඳාම ක්‍රමයෙන් පිරිහී ගියේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබින්_යුද්ධ&oldid=2058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි