අබු අල් අතාහියා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(748-828) පොදු ජනයාගේ ව්‍යවහාර භාෂාව ශ්‍රේෂ්ඨ කවියෙකු විසින් උත්කර්ෂවත් පරිදි නිබන්ධනයෙහි ලා උපයෝගී කර ගත හැකි බව පළමුවරට අරාබි සාහිත්‍යයෙහි පිළිබිඹු කෙළේ මේ කීර්තිධර අරාබි කිවියාය.

මැඩීනව අසල හෙජාස්හි අයින් උත්-තමාරයේ (Ain Ut-Tamar) උපන් මොහු අනාසා නම් අරාබි ගෝත්‍රයට අයත් වූවෙකි. ඔහුගේ ජීවිතය ගතවූයේ කැෆාවේ සහ බැග්ඩෑඩ්හිය. බෙහෙවින් ම ආගමික විෂයයන් මාතෘකා කොට විරචිත මොහුගේ පද්‍ය නිබන්ධයෝ කෘත්‍රිමතාවෙන් තොරව අතිශයින්ම නෛසර්ගික ස්වරූපයක් ඉසිලූහ. කාන්තාර පරිසරයෙහි හැඩගැසුණු කවීන් අනුකරණය කිරීම ඒතාක් පැවති සිරිත වුව ද එම සම්ප්‍රදාය නගරයට නොගැළපුණු හෙයින් මොහු අමුතු මගක් ගත්තේය. අරාබියේ පැරණිත ම දාර්ශනික කවියෙකු වූ අබු අල් අතාහියා පැරණි ශෝක ගීත නිර්මාණයේ පුරෝගාමියෙක් විය.

කඩවුණු ප්‍රේමබන්ධනයක් නිසා මොහු තවුස් වතට නැඹුරු වූ බව ජනකථාවකින් කියැවේ. ඇතැම් විට ඔහුගේ රචනාවල අශුභවාදී හැඟීම් දක්නට ලැබේ. එහෙත් ඔහුගේ රචනාවලින් බොහොමයක් පොදු ජීවිතය ද සුචරිතය ද නිරුපණය කිරීමට කැපවී තිබේ. ඔහු විචාරාත්මක අදහස් උදෙසා දර්ශනය උපයෝගී කර ගත් බව ද ඇතැමුන්ගේ පිළිගැනීමයි. ඒ කෙසේ වුවද කාව්‍ය මාධ්‍යයෙන් ආගමික මත ප්‍රකාශ කළ කවීන් අතර මොහු ගන්නේ උච්ච් ස්ථානයකි. අරාබි සාහිත්‍යයේ කීර්තියෙන් වැජැඹෙන අතටහියාගේ කවි දේවධර්මය පිළිබඳ ඉගැන්වීම්වලින් හා දෙවියන් පිළිබඳ පිරිපුන් හැඟීම්වලින් පරිපුෂ්ටය. මහ්දි සහ හරූන් අල් රෂීද් යන කාලිෆ්වරුන්ගේ අනුග්‍රය ලබමින් ජීවිතයේ අවසාන භාගය ගෙවූ අතාහියා මිය ගියේ බැග්ඩෑඩ් නුවර දී ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබු_අල්_අතාහියා&oldid=2062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි