අභයගිරි නිකාය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනුරාධපුරයෙහි පිහිටි පැරණි සුප්‍රසිද්ධ ආයතනයක් වූ අභයගිරි විහාරයට අයත් භික්ෂූන් ආරම්භ කළ නිකායකි. ඉන්දියාවේ සිට වරින්වර ලක්දිවට ආ විතණ්ඩවාදයන් පිළිගත් අභයගිරි නිකාය ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ සිට දොළොස්වන සියවස දක්වා ථෙරවාදි මහා විහාරිකයන්ට විරුද්ධව වෙන ම ම නිකායක් වශයෙන් පැවැත්තේය.

සිංහල පුරාවෘත්තයන්ට අනුව අභයගිරි නිකායේ මූලාරම්භය ඇති වූයේ අභයගිරි විහාරය කර වූ වළගම්බා රජුගේ කාලයෙහිම කුල සංසර්ගයෙහි ඇලුණු මහාතිස්ස නම් තෙර කෙනෙකුන් මහා විහාරයෙන් පලවා හැරීම හේතුකොටගෙනය.මෙම සිද්ධියෙන් කෝපයට පත් මහාතිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයකු වූ බහලමස්සුතිස්ස තෙරණුවෝ මහාවිහාරය අත්හැර අභයගිරි විහාරයට පැමිණ වෙන ම නිකායක් ඇති කළහ. වළගම්බා රජු විසින් දක්වන ලද අනුග්‍රහය නිසා අභයගිරි නිකායේ ශීඝ්‍ර දියුණුවක් ඇතිවිය. අනතුරුව දඹදිව පල්ලරාරාමයෙන් පැමිණි ධර්මරුචි ආචාර්යයන්ගේ ශිෂ්‍ය වූ වජ්ජිපුත්තක භික්ෂූහු අභයගිරි විහාරයෙහි විසූහ.

වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව.209-231) සමයේ දී අභයගිරිවාසීහු වෛතුල්‍යවාදය පිළිගත්හ. මිථ්‍යාධර්මයක් බව ඔප්පු වූ හෙයින් රජු විසින් එය මඩින ලදි. එහෙත් ගෝඨාභය රජු කල නැවත වෛතුල්‍යවාදය පැතුරුණි. රජු විසින් අභයගිරිවාසීහු සැටනමක් වෙර ලකුණු තබවා දඹදිවට පිටුවහල් කරන ලදහ. අභයගිරි නිකායිකයන්ට කරන ලද නිග්‍රහයන්ගෙන් බියට පත් උස්සිලියා තිස්ස තෙරුන් ප්‍රධාන තුන්සියයක් භික්ෂු සංඝයා අභයගිරිය අතහැර ගොස් දක්ඛිණගිරි විහාරයෙහි විසූහ.

පිටුවහල් කරනු ලැබූ භික්ෂූහු දඹදිව දී භූතවිද්‍යාදියෙහි හසළා වූ සංඝමිත්ත නම් සොළී භික්ෂුවක් හා එක්වී ප්‍රතිසංවිධානය වූහ. මෙම සොළී භික්ෂුව නිසා ඔවුහු වඩාත් දූෂිත වූහ. සංඝමිත්ත තෙර මහාවිහාරිකයන් කෙරෙහි එරෙහිව ලක්දිවට පැමිණියේය. එකල ථූපාරාමයෙහි නායක ධුරය ඉසුලූ රජුගේ මයිලණු සංඝපාල තෙරුන් රජුහට නම කියා කථා කිරීමේ නොසරුප් බව පෙන්වා හේ රජු හා කුලුපග විය. ඒ භික්ෂුව කෙරෙහි පැහැදී ගෝඨාභය රජ තම පුත් දෙටුතිස් හා මහසෙන් යන කුමරුවන්හට ශාස්ත්‍රෝද්ග්‍රහණය කරවීම ඔහුට භාර කළේය. දෙටුතිස් කුමරු සංඝමිත්තයන් කෙරෙහි නොපැහැදුණි. එහෙත් ඔහුට මහසෙන් කුමරුන් සිත දිනා ගැනීමට හැකිවිය. එහෙයින් දෙටුතිස් කුමරු සිහසුනට වන් කල සංඝමිත්ත තෙමේ රටින් පිට වී සිට මහසෙන් කුමරු රජ පැමිණි කල නැවත ලක්දිවට අවුත් අභයගිරියෙහි විසීය. ඔහු මහාවිහාරයට රාජානුග්‍රහය නොලැබෙන තැනට කටයුතු සලස්වා එපමණකින් නොසෑහී රජු ලවා මහාවිහාරය හා තදනුබද්ධ විහාරාරාමයන් 364ක් පමණ විනාශයට පත් කර වූ බව මහාවංශයේ සඳහන් වේ. මහාවිහාරය අවුරුදු නවයක් ගෙවෙන තුරු භික්ෂුශූන්‍ය විය. මහාවිහාරයට අයත් ගොඩනැගිලි උපකරණ අභයගිරි විහාරය වැඩිදියුණු කිරීම සඳහා යෙදවිණි. අභයගිරිය එවක ලක්දිව තිබූ උසස්ම ආයතනය බවට පත්විය.

කෙසේ වුව ද මහසෙන් රජු කල දී ම අභයගිරිය නැවතත් මහත් ව්‍යසනයකට මුහුණ පෑය. රජුගේ අග බිසව විසින් සංඝමිත්ත තෙර ජීවිතක්ෂයට පමුණුවා වෛතුල්‍යග්‍රන්ථ ද ගිනිබත් කරවන ලදි. මේඝවර්ණාභය නමැති ඇමතියෙකුගේ මැදිහත්වීම නිසා රජ තෙමේ කඩා බිඳ දැමූ විහාරාරාම නැවත ගොඩනංවා මහාවිහාර භික්ෂූන් හට පිළිගැන්වීය.

පාහියන් භික්ෂුව ලක්දිවට පැමිණි කාලයේදී (ක්‍රි.ව.412–414) අභයගිරිය නැවතත් මහාවිහාරයට වඩා සමෘද්ධිමත්ව තුබූ බව පෙනේ. පාහියන් ලංකාවෙන් රැගෙන ගිය දීර්ඝාගම, සංයුක්තාගම, සංයුක්තසංචය පිටකය සහ මහීසාසක සම්ප්‍රදායට අයත් විනය පිටකය යනාදී සංස්කෘත ග්‍රන්ථ ලබා ගන්නා ලද්දේ අහයගිරි විහාරයෙන් යයි ඇතැමෙක් සිතත්. අභයගිරිවාසීන් සේ සලකනු ලබන ධර්මරුචික භික්ෂූහු ධාතුසේන රජු (ක්‍රි.ව.455-473) දවස මහාවිහාරයෙහි පවා විසූහ. ඒ රජු අම්බත්ථල විහාරයද ඔවුනට දුන් බව පැවසේ.

සිලාකාල රජු (ක්‍රි.ව.518–531) සමයෙහි මෙරටින් කසී රට ගිය පූර්ණ නම් වෙළඳකු විසින් "ධර්මධාතු" නමින් හැඳින්වූ (මහායානික) වෛපුල්‍ය සූත්‍ර ග්‍රන්ථයක් ලක්දිවට ගෙන එන ලදි. එම ග්‍රන්ථය මහත් හරසරින් පිළිගත් සිලාකාල රජ ඊට සත්කාර කරන ලෙස අභයගිරි භික්ෂූන්ට විධාන කෙළේය. පළමුවන අග්බෝ රජු සමයෙහි ජෝතිපාල නමැති මහතෙර කෙනෙක් අභයගිරි විහාරවාසී වෛතුල්‍යවාදීන් හා විවාද කර ඔවුන් පරදවා වෛතුල්‍යවාදය නිඃශෝභ කළහ.

සත්වන සියවසේ දී රජ පැමිණි කිත්සිරිමෙවන් රජු දවස අභයගිරියට රාජානුග්‍රහය ලැබිණි. මෙම ආයතනයට අලුතින් ගොඩනැගිලි ආදිය ද එක්විය. එහෙත් මෙම රජුන් කල ම අභයගිරිවාසීන්හට අයහපත් දශාවකට මුහුණ දෙන්ට සිදුවිය. අභයගිරි භික්ෂූන් දහම් පිළිවෙත් අනුගමනය නොකර පිරිහීම ගැන බෝධි නම් වූ සද්ධිවිහාරිකයකු විසින් රජුට පැමිණිලි කරන ලදි. ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට බෝධිහට රජුගෙන් අණ ලැබිණි. එහෙත් බෝධිගේ උත්සාහය නිෂ්ඵල විය. දෝෂයට භාජන වූ භික්ෂූන් විසින් බෝධි ජීවිතක්ෂයට පත් කැරිණි. මින් කෝපයට පත් රජ අලජ්ජි භික්ෂූන්හට නොයෙක් වධ පමුණුවා ඔවුන් සසුනෙන් පහ කෙළේය. ශාසන ශුද්ධිය සම්පූර්ණ කිරීම පිණිස රජු විසින් අභයගිරි විහාරය සමඟ උපෝසථකර්මය සිදුකිරීමට මහාවිහාරිකයන්ගෙන් ඉල්ලා සිටි නමුත් මහාවිහාරිකයෝ රජුගේ ආරාධනය ප්‍රතික්ෂේප කළහ. මහා විහාරිකයන් එසේ කරන ලද්දේ දෙපක්ෂය අතර පැවති ආගමික අසමතාවන් නිසා විය හැකිය. පසුව රජ පැමිණි දෙටුතිස්, දෙවන දාඨෝපතිස්ස යන රජවරු විහාරද්වයට ම අනුග්‍රහ කළහ.

නවවන සියවසේ දී දඹදිව වජ්‍රපර්වත නිකායිකයෙක් ලක්දිවට පැමිණ අභයගිරියෙහි වීරාංකුර අරම්හි වෙසෙමින් වාජිරියවාද (වජ්‍රයාන) ධර්මය ප්‍රචලිත කිරීමෙහි නිරත විය. අභයගිරිය අසලින් සොයාගනු ලැබූ තාන්ත්‍රික සූත්‍රයන් අඩංගු ගල් පුවරු කිහිපයක් නිසා අභයගිරිය වරින් වර දඹදිවින් ගෙන එන ලද විපරීත ධර්මයන්ට ලැදි බවක් දැක්වීය යන මහාවංශ ප්‍රවෘත්තිය වැඩි දුරටත් සනාථ වෙයි. දොළොස්වන සියවසේ දී ලක්රජය කළ පළමුවන පැරකුම්බා රජු සමයෙහි මහාවිහාරය, අභයගිරිය හා ජේතවනය අතර නිකාය භේදය ඉතා උග්‍ර විය. පැරකුම්බා රජ සංඝසාමග්‍රිය ඇති කිරීමට මහත් සේ ආයාස දැරීය. ආරම්භයේදී මෙය අතිශය දුෂ්කර කාර්යයක් විය. මහාවිහාරික භික්ෂූන් සමගි කරවීම පිණිස "ලාභාපේක්ෂාවෙන් ශාසනය නොනසත්වා"යි දුසිල් මහණුන් සිවුරු හරවා ඔවුනට තනතුරු දීම ද සිදුවිය. මෙසේ පළමුකොට මහා විහාරය ශුද්ධ කොට අනතුරුව මහාවිහාරය හා අභයගිරි ජේතවන දෙපාර්ශ්වය අතර පැවති වාදභේද සංසිඳුවීම ආරම්භ කරන ලදි. දුසිල් මහණුන් සසුනෙන් පහකරවා ඔවුනට ලෞකික තනතුරු දෙවා මහරජ තෙමේ වළගම්බා රජු කල සිට ම දූෂණය වෙමින් පැවති සසුන ශුද්ධකොට සංඝයා අතර සාමග්‍රිය ඇති කළේය. මේ පිළිබඳ තොරතුරු පොළොන්නරුවේ ගල්විහාර (පුර්වාරාම) කතිකාවතෙහි දැක්වේ. මෙතැන් සිට අභයගිරි නිකාය වෙනම නිකායක් වශයෙන් නොපැවැත්තේය.

අභයගිරි නිකායික ග්‍රන්ථ: අභයගිරි නිකායට අයත් ධර්මග්‍රන්ථ කිසිවක් ආරක්ෂා වී නැත. එසේ වුවද උපතිස්ස නමැති ස්ථවිර කෙනෙකුන් විසින් රචනා කරන ලදුව චීන බසට පරිවර්තනය කොට ඇති විමුක්තිමාර්ග ශාස්ත්‍ර (චි-තො-තොඕ -ලුං) නමැති ග්‍රන්ථය අභයගිරි නිකායට අයත් වූවක් සේ පී.වී. බාපට් මහතා සලකයි. බුද්ධඝෝෂ හිමියන් විසින් විරචිත විසුද්ධිමග්ගය බුද්ධ ධර්මය විවරණය කෙරෙන මහාවිහාර ග්‍රන්ථය වන්නාක් මෙන් මේ විමුක්තිමග්ගයද බුද්ධධර්මය විවරණය කෙරෙන අභයගිරි ග්‍රන්ථය වේ යැයි පී. සී බග්චි මහතා අදහස් කරයි. මේ දෙක අතර ධර්මය අතින් එතරම් වෙනසක් නොදැක්වේ. එහෙත් චිත්ත දමනය හා ධ්‍යාන වැඩීම ගැන යම් යම් අසමානකම් දක්නා ලැබේ. අභයගිරිවාසීහු "ආලෝක" "පරිච්ඡින්නාකාස" යන ආලම්බනයන් අත්හැර කමටහන් 38ක් පිළිගත්හ. බ්‍රහ්මවිහාර නිමිත්ත වැඩීම උපතිස්සයන් පිළිගන්නා අතර බුද්ධඝෝෂ තෙරණුවෝ ඊට තදින් විරුද්ධ වෙති. ජාතකට්ඨ කථාව හා සහස්සවත්ථුප්පකරණය ද අභයගිරි නිකායට අයත් භික්ෂූන්ගේ කෘති දෙකකැයි ඇතැමෙක් අනුමාන වශයෙන් ප්‍රකාශ කරති. අභයගිරිවාසීන්ගේ උත්තරවිහාරට්ඨකථා නම් අටුවා ද උත්තරවිහාරමහාවංස නම් මහාවංශයක් ද වූ බව මහාවංස ටීකායෙන් පෙනී යයි. භාවනාක්‍රම විස්තර කිරීමේ දී පමණක් නොව රූප ධර්මයන් දාර්ශනික ලෙස විග්‍රග කිරීමේ දීත් අභයගිරිවාසීහු ථෙරවාදයට වෙනස් පිළිවෙතක් අනුගමනය කෙරෙති. ඔවුහු අටවිසි රූපයට ජාතිරූප මිද්ධරූප යන අමතර රූප දෙකක්ද එකතු කොට ගත්හ. බුද්ධඝෝෂ මාහිමියෝ මෙයට ඉඳුරා විරුද්ධ වෙති. අභයගිරිවාසීන්ගේ මතය අනුව රහතුන් කෙරෙහි පවා මිද්ධරූපය පවත්නා බැවින් ථීනරූපය පමණක් නිවාරණයක් වේ. එහෙත් ථෙරවාදයෙහි පඤ්චනීවරණයන් අතර ථීන,මිද්ධ යන දෙක ම එක්කොට ගනු ලැබේ. කෙසේ වුවද, ප්‍රධාන ධර්ම විෂයයන් සම්බන්ධව නිකායද්වය අතර සම්පූර්ණ එකඟ බවක් දක්නා ලැබේ.

අභයගිරිවාසීන් වරින්වර චෛතුල්‍ය ධර්මයන් පිළිගත් බව කියවෙතත් ලෝකොත්තරවාදීන් අදහස් කරන පරිදි බුද්ධ ශරීරයේ මනුෂ්‍යභාවයක් නුවූ බව ඔවුහු නොපිළිගනිති. අභයගිරියෙහි විසූ ධර්මරුචිකයන්ගේ ඇතැම් ධර්ම කොට්ඨාසයන් අභයගිරිවාසීහු පිළිගත්හ. එහෙත් අනාත්මය ගැන ථෙරවාදය පිළිගත් මතයට විරුද්ධ අදහස් ඔවුහු නොපිළිගත්හ. අභයගිරිවාසීහු හුදෙක් සාම්ප්‍රදායික මතවල ම එල්බගෙන නොසිට බැහැරින් පවා සම්ප්‍රාප්ත වූ නව්‍ය සංකල්පයන් සලකා බැලීමට නොපසුබට වූහ.

මහා විහාරය හා අභයගිරිය භේද වීමේ ප්‍රධාන හේතුවක් ගැන මහාවංස ටීකාවෙහි සඳහන් වේ. වළගම්භා රජු විසින් කරවන ලද අභයගිරි විහාරයෙහි පදිංචි වූ අභයගිරි නිකායිකයෝ විනය පිටකයට අයත් පරිවාර ග්‍රන්ථය නොපිළිගත්හ. එහෙත් ථෙරවාදය ගරු කළ මහාවිහාරිකයෝ එය බුද්ධ වචනය සේ සැලකූහ. එහෙත් පරිවාර පාඨ යනු විනය පිටකයේ නොයෙක් තැනින් උපුටා ලාංකික තෙර කෙනෙකුන් විසින් සම්පාදිත ග්‍රන්ථයක් යයි සැලකෙන හෙයින් අභයගිරිවාසීහු එය පිළිගැනීමට මැළි වූහ. කෙසේ හෝ අවසානයේ දී පළමුවන පැරකුම්බා රජුගේ බලවත් ආයාසය නිසා ඒ ඒ නිකායිකයන් අතර පැවති වාදභේද දුරලීමට හැකි විය.

කර්තෘ:එච්.ජී.ඒ. වැන්සයිස්ට්

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභයගිරි_නිකාය&oldid=2108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි