අභයදානය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සත්වයන්ට භයහේතුවක් එළඹ සිටි කල්හි රැකවරණ සලසා අස්වසාලීම අභයදාන නම් වෙයි. "අභයදානං පන රාජතො චොරතො අග්ගිතො උදකතො වෙරිපුග්ගල තොසීහබ්‍යග්ඝයක් ඛරක් ඛසාදිතො සත්තානං භයෙ පච්චුපට්ඨිතෙ තතො පරිත්තාණභාවෙන වෙදිතබ්බං" යනු අටුවායැ. සත්වයන්ට රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් දියෙන් වෛරී පුද්ගලයන්ගෙන් සිංහව්‍යාඝ්‍ර යක්ෂරාක්ෂසාදීන්ගෙන් සිත තැතිගැනීම් සංඛ්‍යාත භය පැමිණෙයි. එබඳු අවස්ථායෙහි ඒ භයින් හාත්පසින් ම ආරක්ෂා කොට සිතට සැනසුම් දෙන හෙයින් එය අභයදාන නමැයි යනු අර්ථයි. අංගුත්තර පඤ්චක නිපාතයෙහි ප්‍රාණඝාතාදි පඤ්ච දුෂ්චරිතයෙන් වැළැකී සිටීම ද අභය දානයෙකැයි දක්වන ලද්දේය. එකකුගේ දුශ්චරිතක්‍රියාව අන්‍යයන්ට භය පීඩා පිණිස පවත්නා හෙයිනි.

තවද වධයට නියම වූ මිනිසුන් හෝ සිවුපා ආදී සත්වයන් මරණයෙන් මුදා දිවි රැකීම ද අභයදානයෙකි. අසුවල් සතුන් නොමැරිය යුතුය, මේ ස්ථානයෙහි සතුන් නොමැරිය යුතුය ආදි වශයෙන් මාඝාතය පැනවීම හෙවත් සතුන් නොමරන සේ නීති පැනවීමද යටත් පිරිසෙයින් මැදිරි ආදියෙන් බඳනා ලද සත්වයන් නිදහස් කොට හැරීම ද අභයදානයෙහි ම සංග්‍රහ වේ. අභයදානය පිළිබඳ විවිධ අවස්ථා ජාතකකතාදියෙහි බෙහෙවින් දක්නට ලැබේ. බරණැස් ආදි නගරවල පැවති මිගදාය නම් උද්‍යාන ද අභයදානය නිසා ගොඩනැගුණු බව සැලකිය යුතුය.

බිම්බිසාර රජතුමා බුදුසසුන්හි පැවිදි වූවනට සිරබන්ධනාදි කිසිවක් නොකළ හැක්කැයි ස්වකීය විජිතයෙහි ආඥා පැනවිය. එකල සොරකම් ආදිය කළ අපරාධකරුවෝ භික්ෂූන් වෙත පැමිණ පැවිදි වන්නට වූහ. මනුෂ්‍යයෝ ඔවුන් දැක "අභයූවරා එතෙ සමණාසක්‍යපුත්තියා"යී මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ අභය ලද්දාහු යයි කිසිවක් කියන්නට අසමර්ථ වූහ. පැවිද්දනට ලැබුණු මේ අභයදානය හේතුකොටගෙන ඇතැම් කෙනකුන් අයුතු ප්‍රයෝජන ගත් බව ද ඒ නිසා ම පබ්බජ්ජාක්ඛන්ධකයෙහි අමුතු ශික්ෂා පද ගණනක් පැනවුණු බව ද පෙනේ.

රජ්ජුරුවන්ට විරුද්ධව කැරලි ගැසූ තැනැත්තන්ට හෝ මරණීය දඬුවම නියමව සිටින අයට හෝ සමාජයට විරුද්ධව යම්කිසි වරදක් කළවුනට හෝ මරුමුවට පත්විය හැකි අසරණ තිරිසන් සතුන්ට හෝ අභයදානය දී ඔවුන් මරණයෙන් හෝ ශාරීරික පීඩනයෙන් හෝ වස්තු විනාශයෙන් හෝ මුදාගැනීමට එවක රජ්ජුරුවන්ට බලය තිබුණේය. පණ්ඩුකාභය රජු (ක්‍රි.පූ.377-307) තමාගේ මයිලන් අටදෙනෙකු මරා දැමූ නමුත් වැඩිමහලු මයිලණුවන් වූ අභයරජුට ද ගිරිකණ්ඩ සිව නම් මයිලන්ට ද ජීවිත දානය දුන් බව මහාවංශයේ සඳහන් වෙයි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ.161-137) හා එතුමාගේ සොහොයුරු තිස්ස කුමාරයා අතර වූ යුද්ධයෙන් පසු සංඝයාගේ ඉල්ලීම නිසා එතුමා තම සොහොයුරාට දඬුවම් නොකොට නිදහස් කිරීම ද අභයදානය දීමක් ලෙස සැලකිය හැකිය. සිරිසඟබෝ රජු (ක්‍රි.ව.247-249) මං පහරන්නන් හා සොරුන් අසුවූ විට ඔවුන්ට පවා දඬුවම් නොකොට අවවාද කොට නිදහස් කර හැරීම ද එක් ක්‍රමයක අභය දීමක් ලෙස ගත හැක.

රජුගේ ජන්මෝත්සව දිනයේ දීත්, ඔටුන්න හිමි කුමාරයා උපන් දිනයේ දීත්, රාජාභිෂේක දිනයේදීත් අලුතෙන් රටක් ආක්‍රමණය කොට ජයගත් අවස්ථාවේ දීත් තම රටේ සිරකරුවන්ට අභයදානය කළ යුතු බව කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රයෙහි සඳහන් වෙයි.

අශෝක රජතුමාගේ සවිසිවන රාජ්‍යාභිශේක වර්ෂයේ දී කොටවන ලද පස්වන දිල්ලි තෝප්‍රා ටැම් ලිපියෙහි එතුමා එවකට පස්විසි වාරයක් සිරකරුවන්ට අභය දුන් බව පළවේ. අනුරාධපුරයේ රජ කළ මහාදාඨික මහානාග (7-19) රජතුමා ද මෙසේ ම වරක් සිරකරුවන්ට අභය දානය දුන් බැව් මහාවංශයේ සඳහන් වෙයි. අශෝක රජතුමා තිරිසන් සතුන්ට ද අභයදානය කළ බැව් පස්වන දිල්ලි- තෝප්‍රා ටැම් ලිපියෙහි ම දැක්වෙයි. බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකු විසින් මුව යෝනියේ උපන් බෝධිසත්වයන්ගේ ඉල්ලීම නිසා, ඒ රටේ සියලු ම තිරිසන් සතුන්ට අභය දෙන ලද බැව් නිග්‍රෝධමිග ජාතකයෙන් පෙනේ.

සතුන්ට අභයදානය කළ අවස්ථා කිහිපයක් ගැන අනුරාධපුර යුගයේ ඉතිහාසයේ ද සඳහන්ව ඇත. අමණ්ඩගාමිණි රජු (19-29) ලක්දිව මුළුල්ලෙහි සතුන් මැරීම නීතියෙන් තහනම් කොට ප්‍රාණීන්ට අභය දුන් බව මහාවංශයෙන් පෙනේ. සිලාකාල රජු (518-531) ද, සිව්වන අග්බෝ රජු (667-683) ද, තුන්වන කාශ්‍යප රජු (718-724) ද, මෙවැනිම නීති පනවා සතුන්ට අභයදානය කළ බව චූලවංශයෙහි සඳහන් වෙයි.

පොළොන්නරු යුගයේ දී සහ ඊට පසු කාලවල දී ද දුන් අභය දාන ගැන ශිලාලේඛනවල හා චූලවංශයෙහි සඳහන් වෙයි. මේ ලිපි අතර යම් යම් පුද්ගලයන් රජු වෙනුවෙන් කරන ලද වටිනා සේවය තකා රජු විසින් ස්වේච්ඡාවෙන් කරන ලද අභයදාන ගැනද රටවැසියා තුළ තමා කෙරෙහි යම් යම් දේ ගැන ඇති සැකය දුරු කිරීම පිණිස රජු විසින් සිය කැමැත්තෙන් කෙරුණු අභයදාන ගැන ද එමෙන් ම යම් යම් පුද්ගලයන්ගේ හෝ රටවැසියන්ගේ ඉල්ලීම නිසා කෙරුණු අභයදාන ගැන ද සඳහන්වන ඒවා වෙයි. මහාවිජයබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නසෙහි සඳහන්වන පරිදි එතුමා රූණු දණ්ඩනායක සිත්නරුබිම් බුදල්නාවන්ට හා ඔහුගෙන් පැවත එන්නන්ට අභය දී වදාළේ බුදල්නාවන් තමා කුඩා කල සොළීන්ගෙන් රැකගෙන පසුකල රාජ්‍යයෙහි පිහිටුවීමෙන් තමාට කළ සේවයට ගරු කිරීමක් වශයෙනි. මෙහි දී රජතුමා අභය දී ඇත්තේ, බුදල්නාවන් රජුට හෝ සමාජයට විරුද්ධව කරන ලද්දා වූ වරදක් නිසා නොවේ. මතුවට ඔවුන්ගෙන් විය හැකි වරදට දෙන අනාගත අභය දීමක් වශයෙනි. මහපැරකුම්බාවන්ගේ පියා වූ "මාණාභරණ රජතෙමේ ......... සිය පුතුන් (පැරකුම්බා කුමරු) උපන් අස්න අසා අමාවෙන් අබිසෙස් ලද්දකු සේ ප්‍රීතියෙන් පිරුණාවූ මනෝරථය ඇත්තේ, එකල සිරගෙයි බඳ බොහෝ ජනයන් මුදවා, ඔවුන්ට අභය දුන්” බව චූලවංශයෙහි (62,41) දැක්වේ. නිශ්ශංකමල්ල රජතුමා (බ.) වනාන්තරවල වෙසෙන තිරිසන් සතුන්ටත් වැව් ආදියෙහි ජීවත් වූ මසුන්ටත් අභයදානය කළ බැව් "වල් මහවෑ තැනැ ප්‍රාණීන්ට අභය දි" (ලංකා ශිලාලිපි සංග්‍රහය II, 87 පිට, 10-11පෙළ), "බොහෝකල් අපවත් මහවැව් ඇළ අමුණු බඳවා ඒ ඒ රටැ සුභික්ෂ කොටැ එහි සත්වයනට අභයදාන දී" (එහි මII, 105 පිට, 20 පෙළ) "මහ වෑ තැනැ ඇතුළු වූ නොඑක් වෑ තැනැ අශේෂ ප්‍රාණීන්ට අභයදාන දී" (එහිම II, 154 පිට, 26-27 පෙළ) යනාදී එරජුගේ ම ශිලා ලේඛන කිහිපයක සඳහන් වේ. "බෙලිගල් කෝරළය බද දැතිගම් පුරයට පැමිණ සතරකෝරළයත් සමන්වා ගත්තාට පසු සරණාන්වේෂී වූ ජනපදවාසින් විසින් උඩරට කාරියත් තැන්පත් වූ කල ගිය දවස තම තමන් කළාවූ අක්‍රමය මුල් කොට නිග්‍රහ පැමිණෙත්ය යන සැකය දුරුවන පිණිස වශගුව පවතිනා යම්ම කෙනකුන්ට සිංහළ සංගේදී මට එකුන් කළ අපරාධ මූලකව අර්ථහානි, අංගහානි, ජීවිතහානි, නොකරනු, නොකරවනුවත්..........තුනුරුවන්ගේ ආඥාය, දළදාපාත්‍ර ධාතුන්වහන්සේගේ ආඥාය, ලෝකපාල දෙවියන්ගේ ආඥායයි ගිවිස බුවනෙකබාහු (VI) මහරජාණන් වහන්සේ වදාළ මෙහෙවරින් දැදිගම අභයදාන ශිලාලේඛ්‍යය ලියූ (ලං.ශි.ස III, 279-280 පිටු ) යනුවෙන් සඳහන් වෙයි. "දොඩම්වෙල පරාක්‍රමබාහු ඈපාණන්ගේ බෑන මේණවර තුණයන් හා..................පස්රට වාසය කරන බොහෝ ජනයාත් ..................... දොළොස්වක ස්වර්ණාභිෂේක මංගල්‍යයට පළමුව කළ දිග්විජයෙහි දී භය පත් වැ අභය දාන ඉල්වා සිටිනා හෙයින් ඉදිරියේ දවස මේ යථෝක්ත ජනපදයෙහි උත්තමමධ්‍යමාධම සියලු මනුෂ්‍යන්ට අර්ථහානි, අංගහානි, ජීවිතහානි, නොකරනු නොකරනුව තුනුරුවන්ගේ ආඥාය.............. කියා දළදා සාමීන්ගේ සම්මුඛයෙහි දී සත්‍ය ප්‍රතිඥා කොටැ" (ලං.ශි.ස IV, 21-22 පිටු) අභයදී ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු රජතුමා විසින් ගඩලාදෙණි පුවරු ටැම් ලිපිය කර වූ බව සඳහන් වෙයි.

මෑතකදී ද ලංකාවේ මෙවැනි අභයදාන කිහිපයක් සිදු විය. 1948 පෙබරවාරි මාසයේ 4 වනදා ලංකාවට නැවත නිදහස ලැබුණු අවස්ථාවේ දී එය සිහිවීම පිණිස සිරකරුවන් 1855 දෙනෙකුන් සිරදඬුවමින් නිදහස් කොට ඔවුන්ට අභයදානය කරන ලදි. එදින මරණ දඬුවමට නියම ව සිටි කිහිපදෙනෙකුන්ට ද, ඒ දඬුවම වෙනස් කොට ඔවුන්ට ජීවිත දානය දී, ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමෙන් අභයදානය කරන ලදි. 1956 වර්ෂයේ දී පවත්වන ලද දෙදහස් පන්සියයේ බුද්ධජයන්ති උත්සවය සිහිවීම වෙනුවෙන් ද මෙසේ ම සිරකරුවන් 1005 දෙනෙකුන් සිරෙන් නිදහස් කිරීම නිසා ඔවුන්ට ද අභයදානය ලැබිණි.

යුරෝපා රටවල ද අභය දීම (amnesty) පැවතුණු බැව් පෙනේ. ඒ රටවල ද මෙය කෙරුණේ රජුගේ අනුග්‍රහයන් හෝ පාර්ලිමේන්තුවේ නියෝගයන් අනුවය. ඉන්දියාවේ මෙන් ම මේ රටවල ද අභයදානය දී ඇත්තේ රාජාභිෂේකය වැනි වැදගත් අවස්ථාවලදීය. ලංකාවේ මෙන් රජයට විරුද්ධව කැරලි ගැසුවන්ට අභයදානය කළ අවස්ථා කිහිපයක් ම යුරෝපීය ඉතිහාසයේද පෙනේ. යුරෝපයේ රටක සිදුවුණු අභය දීමක් ගැන මුලින් ම සඳහන් වන්නේ ග්‍රීක ඉතිහාසයේය. එනම් ක්‍රි.පූ.403 වර්ෂයේදී ත්රැසිබුලුස් (411-389) නමැති පාලකයා විසින් දුෂ්ට මන්ත්‍රීන් තිස්දෙනෙකුට හා සෑම නගරවැසියෙකුට ම අංගහානි, ජීවිතහානි හා දේපළ හානි නොකරන ලෙස පොරොන්දු වී අභය දීමය. එංගලන්තයේ දෙවන චාල්ස් රජතුමා (1660-85) කැරලිකරුවන්ට කළ අභයදානය ද 1815 දී නැපෝලියන්තුමා විසින් කරන ලද අභයදානය ද ජැකෝබි කැරලිකරුවන්ට මහා බ්‍රිතාන්‍යය විසින් 1747 දී කළ අභයදානය ද මෙහි ලා සඳහන් කළ හැකිය. (සමාව දීම බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභයදානය&oldid=2112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි