අභයදාන විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
583.jpg
බුරුමයේ පගාන් රාජධානියෙහි පිහිටි පැරණි බෞද්ධ විහාරයකි. මෙය ක්‍යාන්සිත්තා රජු (1084-1112) විසින් සිය මෙහෙසියගේ නමින් කරවන ලද බව විශ්වාස කරනු ලැබෙතත් ක්‍යාන්සිත්තා රජුගේ අගමෙහෙසිය විසින් ම එය ගොඩනංවන ලදැයි විහාරයෙහි වූ ශිලා ලේඛනයක සඳහන්වේ.

අභයදාන විහාරය සමචතුරස්‍රාකාර අඩිතාලමකින් යුක්ත වේ. විහාරයේ මධ්‍යභාගයෙහි පිහිටි ප්‍රදක්ෂිණාපථයකින් වට වූ ඝන කුලුනේ උතුරු පාර්ශ්වයෙහි ඇති පඤ්ජරය පිළිමගෙය වශයෙන් ගැනේ. මෙහි ගඩොළින් නිමවන ලද විශාල වැඩසිටි බුදු පිළිමයක් වේ. එකිනෙකට කුඩා වූ වේදිකාවලින් සැදි පියස්සේ මුදුන ඝණ්ටාකාර ස්තූපයකින් සමන්විතය. වේදිකා කෝණයන්හි ද මෙවැනි ස්තුපයෝ වෙති. අභයදාන විහාරය තුළ වූ බිතුසිතුවම් බෞද්ධ චිත්‍ර අතුරෙහි ඉතා වැදගත් තැනක් ගනී. නැගෙනහිර ඉන්දියානු චිත්‍ර සම්ප්‍රදාය පිළිබිඹු කෙරෙන මෙම සිතුවම්වලින් නිරූපණය වන මහායාන දෙවිදේවතාවුන්ගේ පිළිරූ බුරුමයේ අන්කිසි තැනකින් සොයාගෙන නොමැති බව කියනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභයදාන_විහාරය&oldid=3654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි