අභයාකරගුප්ත
(1084–1138?). මහායානික භික්ෂූන්ට නායක වූද "සිද්ධමහාපණ්ඩිත" උපාධිය ලැබුවා වූ ද උසස් පඬිවරයෙකි. වික්‍රමශිලා මහා විශ්වවිද්‍යාලයෙහි ආචාර්යවරයෙකුව සිටි මෙතුමා විසින් ග්‍රන්ථ රාශියක් රචනා කරන ලදි.
සිද්ධමහාපණ්ඩිත අභයාකරගුප්ත උපන්නේ වංග දේශයෙහි ගණ්ඩ නුවර යයි සලකති. ටිබැට් වාර්තා අනුව ඔහු නව වැනි සියවසේ මැද කොටසේ පමණ උපන්හ යනු ඇතැමකුගේ මතය වුවද , එකොළොස්වන ශතවර්ෂයේ දී පමණ ඔහු උපන් බව ඔහුගේම කෘතියක් වූ මුනිමතාලංකාරයෙන් සිතාගත හැකිය.
මගධයෙහි දී ඉගෙනීම කොට එහි දී ම පැවද්ද ලැබූ අභයාකරගුප්ත නොබෝ කලෙකින් මහා පඬිවරයකු බවට පැමිණියේය. එකල මගධ දේශය පාලනය කළ රාමපාල රජු තම රජවාසල ආගමික කෘත්‍යයන් සඳහා අභයාකර තෙරුන් වැඩම වූ බව පැවසේ. ඕදන්තපුර විශ්වවිද්‍යාලයෙහි අභයාකරගුප්ත වෙත නේවාසික භික්ෂූන් දහසක් පමණ ඉගෙනීම කළ බව ද එතුමා නාලන්දාවෙහි නැවතී සිටිමින් ග්‍රන්ථ කීපයක් ටිබැට් බසට පෙරලූ බව ද සඳහන් වේ. මේ පරිවර්තන සියල්ලකම වාගේ තන්ත්‍රයානයට අයත්ය.
වික්‍රමශීලාව ශුභශ්‍රී රජුගේ ආරක්ෂාව යටතේ පවත්නා කාලයෙහි මුස්ලිම්වරුන් සමඟ යුද්ධයක් ඇති වූයේය. එම යුද්ධයෙහි දී අභයාකරගුප්ත තෙරුන් ධර්මාරක්ෂක දෙවිවරුන්ට යාච්ඤාකොට පූජා වස්තූන් ගිජුලිහිණියන් බවට පමුණුවා ඔවුන් ලවා සතුරන් පලවා යැවූ බව ටිබැට් වාර්තාවල එයි. මේ හැර වෙනත් අවස්ථාවල දී ද එතුමා මන්ත්‍ර බලයෙන් පුදුම දේ කළ බැව් සඳහන්ය. අභයාකර තෙරුන් පොත් කීපයක් ටිබැට් බසට පරිවර්තනය කොට ඇතත් එතුමාගේ ටිබැට් සංචාරයක් ගැන සඳහන් නොවේ. එතුමා විසින් සංස්කෘතයෙන් ලියන ලද අභිෂේකප්‍රකරණ නම් ග්‍රන්ථය හා තවත් පොත් සතක් ද එතුමා විසින් ම ටිබැට් බසට නඟන ලදි. එතුමාගේ තවත් පොත් රාශියක් ම ටිබැට් භාෂාවට පරිවර්තනය කොට තිබේ. තිබ්බතයන් විසින් මෙතුමාට භාවිත කරන ලද්දේ Zආර්‍ය්‍ය මහාපණ්ඩිත" යන නාමයයි. ස්වාධිෂ්ඨාන කර්මොපදේශ, බොධිපද්ධති ආදි තන්ත්‍රයානයට අයත් ග්‍රන්ථ රාශියක් ම අභයාකර ගුප්තාචාර්‍ය්‍යයන් විසින් රචිතය. ආර්‍ය්‍යාෂ්ට සාහස්රිකා ප්‍රඥාපාරමිතා වෘත්තිමර්ම කෞමුදී, මුනිමතාලංකාර යන ග්‍රන්ථ දෙක සූත්‍ර පිළිබඳ ග්‍රන්ථයෝය.
(සංස්කරණය:1963)