අභ්‍යඤ්ජක සහ අභ්‍යඤ්ජනය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Lubricants and Lubrication ) යත්‍ර සූත්‍රවල එකට එක ගැටී චලනය වන පෘෂ්ඨ අතර පවතින ඝර්ෂණය හැකිතාක් අඩු කිරීමට අභ්යඤජක යොදනු ලැබේ. ඉංජිනේරු කර්මාන්තවල දී අභ්‍යඤ්ජක සාමාන්‍යයෙන් පාවිච්චි කරනු ලබන්නේ චලනය වන යන්ත්‍ර කොටස්වල පෘෂ්ට අතර පවතින ඝර්ෂණය අඩු කිරීම ද යම්කිසි ද්‍රව්‍යයක් කැපීමේ දී ඒ කපන ද්‍රව්‍යයත් කැපීමට යොදන ආයුදයත් අතර පවතින ඝර්ෂණය අඩු කිරීමෙන්, ඉපදිය හැකි තාප ප්‍රමාණය අඩු කොට උෂ්ණත්වය ඕනෑවට වඩා වැඩිවීම වැළැක්වීම ද යන කරුණු දෙක සඳහාය. ඒ අතරම යන්ත්‍රය ක්‍රියාකරන විට උපදින තාපය විසුරුවා හැරීමට ද අභ්‍යඤ්ජක උපකාරී වේ.

අභ්‍යන්ඤ්ජකයන්ගේ ස්වරූපයට අනුව ඒවා මිනිරන් වැනි ඝන අභ්‍යඤ්ජක හා ග්‍රීස් වැනි අර්ධඝන අභ්‍යඤ්ජක යයි කියා ද තෙල් වැනි ද්‍රව අභ්‍යඤ්ජක යයි කියා ද කීප ආකාරයකින් වර්ග කළ හැකිය. එක් එක් අභ්‍යඤ්ජකයක් උපදින ආකාරය අනුව වර්ග කළහොත් ඛනිජ, ශාක සහ සත්ව අභ්‍යඤ්ජක වශයෙන් බෙදා දැක්විය හැකිය. පොළොවෙන් ලබා ගන්නාවූ අශුද්ධ තෙල් වර්ග (Crude oils) පිරිසිදු කිරීමේ දී එක කොටසක් වශයෙන් ඛනිජ අභ්යඤ්ජක ලැබේ. කපු ඇට තෙල්, එඞරු තෙල්, ලින්සීඩ් තෙල් යනාදිය ශාක අභ්‍යඤ්ජකයන්ට නිදසුනි. සත්වයන්ගෙන් ලැබෙන තෙල් සත්ව අභ්‍යඤ්ජකයි. මේවා දැඩි මේ (stearin) හා මෘදු මේද (lard) වශයෙන් දෙවැදෑරුම් වේ.

යන්ත්‍රයක බෙරයරිංබෝල ‍නොයෙක් අයුරින් අභ්‍යඤ්ජනය කළ හැකිය. වරින් වර අභ්‍යඤ්ජනය සිදු කරන්නේ ග්‍රීස් හෝ තෙල් පාවිච්චි කිරීමෙනි. සමහර තැන්වල විටින් විට අභ්‍යඤ්ජකය ගල්වනු ලැබේ. තවත් තැන්වල නොකඩවා ම එය ගැල්විය යුතු වේ. සමහර ඇන්ජිම්වල කෑම් දණ්ඩට හෝ මහන යන්ත්‍රවල චලනය වන කොටස් වලට හෝ කරත්තයක අලවංගුවට හෝ තෙල් පෝච්චිකින් විටින් විට තෙල් වත් කරනු ලැබේ. නැත්නම් ග්‍රීස් කවනු ලැබේ. ‍මෝටර් රථ දුනු අභ්‍යඤ්ජනය කරන්නේ ද මෙසේයි. දිගට ම තෙල් ගැල්වීමට යොදන එක් උපක්‍රමයක් නම් "තෙල්ඔරු ගියර් කොපුව" (oil bath gear case)යි. මෙහි වූ තෙලෙහි, ගියර රෝද එක්කෝ එහෙම පිටින් ම ගිල්වා ඇත. නැත්නම් බයිසිකලයක එවැනි කොපුවක මෙන් කැරකෙන දම්වැලේ කොටසක් හැම විට ම තෙලෙහි ගිලී එමඟින් දැති රෝදවලට තෙල් නිරන්තරයෙන් ම ගෙන යනු ලැබේ. බෙයරිං දරන "බෙයරිං පෘෂ්ඨයට ගෙන යනු ලැබෙන්නේ කැරකෙන අක්ෂ දණ්ඩ වටා ඇති බුරුලට යන වළල්ලක් මඟින්ය.

මෙවැන්නකට "තෙල් බෙරිං පාෂ්යට ගෙන යනු ලැබෙන්නේ කැරකෙන අක්ෂ දණ්ඩ වටා ඇති, බුරුලට යන වළල්ලක් මඟින්ය. මෙැවන්නකට "තෙල් වළලු බෙයරිම" (ring oil bearing) යැයි කියති. ඇන්ජිම්වල බෙයරිං වලට ද පිස්ටනත් සිලින්ඩරත් අතර පෘෂ්ඨවලට ද වෙනත්යන්ත්‍රික ව තෙල් ගල්වන තවත් ක්‍රමයකට "කෘත අභ්‍යඤ්ජනය" (forced feed lu brication) යයි කියනු ලැබේ. මෙහි දී කිසියම් ක්‍රමයකින් ක්‍රියා කෙරෙන පොම්පයක් මඟින් ද එයින් පිටවන නළ මඟින් ද අවශ්‍ය තැන්වලට වුවමනා අන්දමට තෙල් යවනු ලබන්නේ පීඩනය උපයෝගී කොට ගෙනය. සමහර විට මෙවැනි පොම්පයකින් තෙරපා යවනු ලබන තෙල්, බින්දු වශයෙන් ජලය තුළින් ගොස් නළයකට වැස්සී බෙයරිං පෘෂ්ඨ වෙතට යෑමට සැලැස්වීම ඇතැම් තෙල් එන්ජිම්වල භාවිත කරනු ලබන තවත් උපක්‍රමයකි. තවත් සමහර ඝර්ෂණ පෘෂ්ඨවලට තෙල් යවනු ලබන්නේ තෙල් බෝතලවලට සම්බන්ධ කළ කපාට තුළින් නැත්නම් නූල් තිර ඔස්සේය. තිර තුළින් තෙල් කාන්දු වන්නේ කේශාකර්ෂණය (capillarity) මඟින් ය.

අභ්‍යඤ්ජකයක් පාවිච්චි කිරීමෙන් ඝන ද්‍රව්‍ය අතර පවතින ඝර්ෂණය අඩු කිරීමෙන් යන්ත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි වේ. ස්වභාවධර්මයට අයත් වස්තුවල සුදුසු පිළිවෙළට අභ්‍යඤ්ජක යෙදී තිබෙනු දැකිය හැක. සත්වයකුගේ සැකිල්ලෙහි සන්ධි කිහිපයක් තිබේ. මේවා ද්‍රව අභ්‍යඤ්ජකවලින් ඉතා හොඳට අභ්‍යඤ්ජනය කරනු ලැබේ. සත්වයාගේ මුළු ජීවිතය තුළ දී මේ සන්ධි මැනැවින් ක්‍රියා කරයි. සත්ව ශරීරයෙහි තිබෙන සන්ධි මේ අන්දමින් ක්‍රියා කරන්නේ ස්වාභාව ධර්මය සුදුසු අභ්‍යඤ්ජක ලබා දී, ඒවායේ ගෙවී යෑම වළකාලන නිසාය. ශරීරයේ එක් එක් කොටසෙහි වෙනස් වෙනස් අභ්‍යඤ්ජක දක්නා ලැබේ. තැනට සුදුසු අභ්‍යඤ්ජකය තෝරා යෙදීමට ස්වභාවධර්මය සමත් වේ.

යන්ත්‍රවල ඇතැම් තන්හි තෙල්, ග්‍රීස් වැනි අභ්‍යඤ්ජක භාවිත කිරීම සුදුසු නොවන්නේය. අධික උෂ්ණත්වය හටගන්නා තැන්හි ද (මෙහි දී තෙල් වර්ග "තුනී" වී ක්‍රියා විරහිත වෙයි; නොඑසේ නම් ගිනිගන්නට ද ඉඩ තිබේ.) මෝටර් රථවල දොර අඟුල් වැනි දූවිලි බැඳීම වැළැක්විය යුතු තැන්හි ද තෙල් වර්ග වෙනුවට මිනිරන් භාවිත කෙරේ. මේ මිනිරන් විශේෂයෙන් පිළියෙල කරනු ලබනනේ ඇචිසන් (Acheson) නිපැදූ ක්‍රමය අනුවයි. ජලයෙහි විසරි වර්ගයක් වන අක්වාඩැග් (Aquadag) ද තෙලෙහි විසිරී ඔයිල්ඩැග් (Oildag) යන දෙවර්ගයක් වෙළඳපොළේ තිබේ. තෙලෙහි දිය වන රබර් වැනි පෘෂ්ඨවලට යෙදිහ යුතු වන්නේ කලින් කී වර්ගයයි.

අභ්‍යඤ්ජකයක ගුණ මැනීමේ දී විශිෂ්ට ගුරුත්වය, දූස්ස්‍රාවිතාව (Viscoty), දුස්ස්‍රාවිතා අංකය (V.Index), ජ්වලනාංකය (flash point). පෙනුම වැනි මාන උපයෝගී කරගනු ලැබේ. මෑතක සිට මොලිබ්ඩිනම් ඩයිසල්පයිඩ් (MoS2 ) ද සිලිකන් ඇතුළත් කොට කෘත්‍රිම වශයෙන් සංයෝග කරන ලද කාබනික ද්‍රව්‍ය වර්ගයක් වන සිලිකෝන (Silicones) ද අභ්‍යඤ්ජක වශයෙන් භාවිත කරනු ලැබේ. ඛනිජ තෙල් වර්ග සුදුසු නොවන අධික උෂ්ණත්වය පවතින තන්හි දී ද එසේ ම තෙල් වර්ග කැටි ගැසීමට හෝ උකු වීමට හෝ බලන පහත් උෂ්ණත්වවල දී ද අභ්‍යඤ්ජක වශයෙන් සිලිකෝන් යෙදීම සුදුසු වේ.

රෝදය හා අක්ෂදණ්ඩ අලුතෙන් නිපදමීමත් සමග අභ්‍යඤ්ජනය පිළිබඳ ශිල්පය ආරම්භ වී යයි සිතිය හැකිය. ඈත අතීතයෙහි දී කරත්තවල තිබුණේ නියම හැඩය නැති ලී රෝදයි. මේ රෝදක හඞ නගන වියළි කොටස්වල සත්ව තෙල් ආලේප කළ විට රෝදය හඞ නොනගා පහසුවෙන් ක්‍රියා කරන බව පෙනුණි. ඝර්ෂණය ඉවත් කිරීමට ග්‍රීස් වැනි දෙයක් පාවිච්චි කළ යුතු බව පුරාතනයන් පවා දැන සිටි කරුණකි. යකඩ, තඹ, ආදියෙන් යන්ත්‍ර සූත්‍ර සාදා ගැනීමට පටන් ගත් කළ ශුද්ධ නොකරන ලද තෙල් අභ්‍යඤ්ජක වශයෙන් එතරම් ප්‍රශස්ත නොවන බව මිනිසුන්ට වැටහිණි. එතෙක් භාවිත කැරුණු මේද වර්ග සියල්ල ම ශාකයන් ගෙන් හෝ සතුන්ගෙන් ලබා ගන්නා ලදි. යන්ත්‍ර සූත්‍රවල අභ්‍යඤ්ජක ලෙස පැට්‍රෝලියම් තෙල් යොදන්නට පටන් ගතතේ 19වැනි ශතවර්ෂයේ මැද භාගයේ දීය. නව යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරමත් ම අලුත් අභ්‍යඤ්ජක වර්ගත් නිෂ්පාදනය කළයුතු බව පැහැදිලි විය. අභ්‍යඤ්ජනය පිළිබඳ ශිල්පය දැන් විද්‍යාවේ වැදගත් අංශයක් ලෙස සලකනු ලැබේ.

(සංස්කරණය:1963)