අභ්‍යන්තර දහන ඇන්ජිම
අභ්‍යන්තර දහන ඇන්ජිමක් ප්‍රධාන කොට ම ස්ථාවර වූ සිලින්ඩරයෙකින් ද ඒ තුළ සර්පණය වන පිස්ටනයෙකින් ද යුක්ත වෙයි. මේ දෙකින්, විචල්‍ය පරිමාවක් සහිත දහන කුටිරයක් සෑදෙයි. පිස්ටන් අත (rod) යනුවෙන් හැඳින්වෙන අවයවයක් මඟින් දඟර කඳට (crank shaft) හා ජව රෝදයට (fly weel) ඒ පිස්ටනය සම්බන්ධ කොට ඇත. දඟරකඳ කැරැකෙන විට පිස්ටනය සිලින්ඩරය තුළ ඉහළට පහළට සර්පණය වෙයි. ඇන්ජිම ක්‍රියාකරවන කාරක චක්‍රයෙහි ඒ ඒ අවස්ථා ප්‍රධාන කොට ම පාලනය වන්නේ සිලින්ඩරයට ඇතුළුවන හා ඉන් පිටවන දොරටුවල පිහිටි කපාටවල හෙවත් වෑල්වයන්හි ක්‍රියාකාරීත්වයෙනි. සාමාන්‍යයෙන් එක් එක් සිලින්ඩරයෙහි චූෂණ (inlet) කපාටයක් ද පිටාර කපාටයක් ද බැගින් ඇත. මේ කපාට ක්‍රියා කරවනු ලබන්නේ දඟරකඳට සම්බන්ධව ඇති කපාට ගියර ක්‍රමයක් මඟිනි.
බොහෝ අභ්‍යන්තර දහන ඇන්ජිම්වල කාරකචක්‍රය සිවුපහරෙකින් යුක්තය. මෙය ඔටෝ (Otto) චක්‍රය හෙවත් සිවුපහරේ චක්‍රය යනුවෙන් හැඳින්වෙයි. දෙපහරේ කාරකචක්‍රයක් ද යෙදිය හැකි වුව ද වැඩිපුර ම යෙදෙන්නේ සිවුපහරේ චක්‍ර ඇන්ජිමයි. සිවුපහරේ පැට්රෝල් ඇන්ජිමක ඇති චූෂණ (suction), සම්පීඩන (compression), බල (power), ශුන්‍යාකාරක (exhaust) යන සතරපහර රූපසටහනෙහි පෙන්වා ඇත.
දඟරකඳ කැරැකෙන විට චූෂණ පහරේ දී චූෂණ කපාටය විවෘතව වාතයත් පැට්රෝල් වාෂ්පයත් අන්තර්ගත මිශ්‍රණයක් කාබියුරේටරය ඔස්සේ සිලින්ඩරය තුළට ඇදී එයි. කාබියුරේටරය වනාහි නියම සමානුපාතයට වාතයත් මිශ්‍ර කිරීම සඳහා යෙදෙන උපක්‍රමයෙකි. සම්පීඩන පහරේ දී පිස්ටනය සිලින්ඩරය දිගේ ඉහළට ගමන් කරයි. මෙවිට කපාට දෙක වැසී ඇති හෙයින් වායුමිශ්‍රණය එහි මුල් පරිමාවෙන් පහනේ එකක තරමේ ප්‍රමාණයකට සම්පීඩනය වෙයි.මෙසේ සම්පීඩනය වීමේ දී වායුමිශ්‍රණය සැලකිය යුතු තරමකට රත් වෙයි. රත් වී ඇති මේ වායු මිශ්‍රණය, දඟරකඳට ගියර රෝද මඟින් අමුණා අති ජ්වලය (ignition) ක්‍රමයට සම්බන්ධ කළ පුළිඟු පේනුවක් ( spark plug) මඟින් ඇති කැරෙන පුලිඟුවෙකින් ගිනි දල්වනු ලැබෙයි. ගිනි දැල්වීම නිසා සිලින්ඩරය තුළ ස්ඵෝටනයක් ඇති වී ස්ඵෝටනයෙහි දී හෙවත් බලපහරේ දී පිස්ටනය පහතට තල්ලු කර යැවෙයි. මේ පහරේ දී ජවරෝදයට ලැබෙන ශක්තිය (energy) ඉතිරි තුන් පහරේ දී ඇන්ජිම ක්‍රියා කැරවීමට ප්‍රමාණවත්ය. ශුන්‍යක පහරේ දී පිස්ටනය ආපසු එන විට ශුන්‍යයක වෑල්වය ඇරී දැවුණු වායුව සිලින්ඩරයෙන් පිටතට පලවා හරිනු ලැබේ.
වාත-පැට්රෝල් මිශ්‍රණයෙහි බර අනුව පැට්රෝල් එක් කොටසකට වාත කොටස් දහ හතරක තරමේ සමානුපාතයක් ඇත. ද්‍රවය ඉතා සියුම් සීකරයකට (spray) හැරී නියම සමානුපාතයට වාතය හා මිශ්‍ර වීමෙන් මේ මිශ්‍රණය සෑදෙන්නේ කාබියුරේටරයෙහි දීය.
ඩීසල් ඇන්ජිම ද අභ්‍යන්තර දහන ඇන්ජිමකි. එහෙත් ඉන්ධන (fuel) දල්වන ක්‍රමයෙන් මෙය පැට්රෝල් ඇන්ජිමට වෙනස්ය. ඩීසල් ඇන්ජිමක ජ්වලන ක්‍රමය හැටියට යෙදෙන්නේ සිලින්ඩරය තුළ හිර වී ඇති වාතයේ සම්පීඩනයයි. මේ ක්‍රමය සම්පීඩන ජ්වලනය යනුවෙන් හැඳින්වේ. පැට්රෝල් ඇන්ජිමේ දී ඇතිවනවාට වඩා බෙහෙවින් අධික පීඩනයකට ඩීසල් ඇන්ජිමක සම්පීඩනය සිදුවන හෙයින් සම්පීඩනය අවසානයේ දී උෂ්ණත්වය ඉන්ධනයේ ජ්වලන උෂ්ණත්වයට වැඩි වෙයි. මෙය සිදුවීමට නම් සම්පීඩනයට පෙර වූ පරිමාවෙන් දහහතරෙන් එකක් පමණ විය යුතුයි. එහෙත් පැට්රෝල් ඇන්ජිමේ දී මෙය පහෙන් එකක් පමණය. ඩීසල් ඇන්ජිමේ දී කපාටවල කෘත්‍යය පැට්රෝල් ඇන්ජිමේ දී මෙනි. චූෂණ පහරේ දී තනිකර වාතය පමණක් සිලින්ඩරයට ඇදී ගොස් වර්ග අඟලකට රාත්තල් 500කට අධික පීඩනයක් ඇති වන තෙක් සම්පීඩන පහරේ දී සම්පීඩනය වෙයි. මේ නිසා උෂ්ණත්වය පැ.800ට පමණ නැඟෙයි. රත් වූ වාතය කෙරෙහි ඉතා සියුම් සීකරයක් වශයෙන් ඉන්ධනය එවිට විදිනු ලැබේ. වාතයේ උෂ්ණත්වය අධික හෙයින් ඉන්ධනය එක්වරම ගිනි ගනි. මේ නිසා සිලින්ඩරය තුළ ස්ථෝටනයක් ඇති වී බලපහරේ දී පිස්ටනය පහළට තල්ලු වී යයි. ඉන්ධන තෙල් විදින්නේ දඟරකඳට ගියර කොට ඇති ඉන්ධන පොම්පය මඟිනි. මේ සඳහා යෙදෙන ඉන්ධන තෙල් වනාහි අමුතෙල් ආසවනය කිරීමේ දී පැට්රෝල්, භූමිතෙල් සහ සැහැල්ලු ආසුත (distillates) ඉවත්ව ගිය පසු ඉතිරි වන කොටසයි. විදුලිය නිපදවීම සඳහා අශ්ව-ක්ෂමතා 100 සිට 500තෙක් ප්‍රාථමික චාලකයක් (prime mover) වශයෙන් ඩීසල් ඇන්ජිම ඉතා අගනේය.
වඩාත් සමරූපී ලෙස බලය නිපදවා ගැනීම සඳහාත්, ජවරෝදවල ප්‍රමාණය පමණට වඩා විශාල කර නොගැනීම සඳහාත්, සිලින්ඩර එකකට වැඩි ගණනක් ඇති අභ්‍යන්තර දහන ඇන්ජිම් තැනීම සාමාන්‍ය සිරිතයි. මෙසේ සිලින්ඩර හතර, හය, අට ඇති ඇන්ජිම් සාමාන්‍යයෙන් දක්නට ලැබේ. අද දවසේ දක්නට ලැබෙන මෝටර් රියවල යොදා ඇත්තේ පැට්රෝල්වලින් වැඩකරන අභ්‍යන්තර දහන ඇන්ජිම්ය. මේවායේ සිලින්ඩර ගණන සතරේ සිට අට තෙක් වෙයි. බර වැඩ කිරීම සඳහා යෙදෙන මෝටර් ට්‍රක් රිය, බස්රිය, ඩීසල් විදුලි දුම්රිය ආදිය සඳහාත් විදුලි බලය නිපදවීම සඳහාත් යෙදෙන්නේ ඩීසල් ඇන්ජිම්ය. ශුන්‍යකරණයේ දී සැලකිය යුතු තරමේ තාප හානියක් ඇති වුව ද මෙතෙක් නිපදවා ඇති ප්‍රාථමික චාලකයන් අතුරෙන් ඉතා ම කර්‍ය්‍යක්ෂම වනුයේ අභ්‍යන්තර දහන ඇන්ජිමයි.
කර්තෘ:ඩබ්ලිව්.ජී.ඇල්. සොයිසා.
(සංස්කරණය:1963)